දරුවාට ටියුෂන් ක්ලාස් එකක් හොයද්දි හිතා බලන්න ඕනි දේවල්

Tution Selection

දෙගුරුන් විසින් තම

දරුවන්ට දෙන නොමඳ දන නම්

වියතුන් සබා මැද

ඉන්ට ඉදිරිව ශිල්ප දෙනු මැයි…

කියා පුරාණ කවීන් කියා ඇත්තේ අධ්‍යාපනය නැමැති දායාදය දරුවන්ට ලබා දීමේ ඇති වැදගත්කම පෙන්වාදීමටය. අද කාලයේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමය අනුව ටියුෂන් යනු නැතිවම බැරි දෙයක් වී හමාරය. අධ්‍යාපන ක්‍රමයකදී දරුවන්ට ටියුෂන් බාධාවක් වුවත්, ඇතැම්විට ඇති තරඟකාරී වටපිටාව තුළ යාන්තම් ඔලුව උස්සාගෙන සිටීමට දරුවාට උදව් වන්නේ ටියුෂන් ක්‍රමය වේ. විෂයයන් ගණනාවක් සතියට හැදෑරිය යුතු දරුවාට ඒවා එක වරකින්ම අවබෝධ කරගන්නට අමාරු විය හැකිය. එවිට දෙමාපියන්ගේ වගකීම වන්නේ නිසි ලෙස ටියුෂන් මාර්ගයක් දරුවාට විවර කර දීම වේ.

 

1. පන්තිවල සිටින ළමුන් ගණන

Tuition Selection

Source – timesrilanka.com

ගුරුවරයා කොතරම් හොඳ වුවත්, දරුවන් දෙතුන්සීයක් සිටින පන්තියක අඩුම ලකුණු ගන්න දරුවන් නිතැතින්ම කැපී යෑම සිදු වේ. දරුවාගේ තත්ත්වය සහ ඔහුගේ/ඇයගේ අවබෝධ කරගැනීමේ හැකියාව අනුව දරුවා මෙහෙයවීම, කුඩා ළමුන් ගණනක් සිටින විට ගුරුවරයාට පහසුවකි. ටියුෂන් පන්තියක් සොයන විට ළමුන් අඩු ගණනක් සිටින පන්තියක් සොයා දුනහොත් එතැනදී ගුරුවරයාගේ පුද්ගලික අවධානයද දරුවාට යොමුවනු ඇත.

 

2. ගුරු ගේ චර්යාව

ටියුෂන් යනු මුදල් ලෙහෙසියෙන්ම හරිහම්බ කල හැකි මාර්ගයකි. එබැවින් සුදුසුකම් ඇති නැති සියල්ලෝම ටියුෂන් කරා යොමු වෙති. එසේ හෙයින් ඇතැම් විට විවිධාකාර විෂමාචාර චෝදනා ඇති අයද ටියුෂන් ගුරුවරු බවට පත් වෙති. එවැනි ගුරුවරුන් අතින් යම් යම් අපචාර විෂමාචාර දරුවන්ට සිදු වන බවද ඉඳහිට වාර්තා වේ. ටියුෂන් ගුරු කෙනෙක් සොයා යෑමේදී ඔහු ගැන සෑම විස්තරයක්ම සොයා බැලීමට නොහැකි වුවත්, හැකි නම් වටපිටින් ඔහුගේ චර්යාවන් ගැන ටිකක් විමසා බැලීම දරුවාගේ අනාගතය ගැන සිතන දෙමාපියන්ගේ වගකීමකි.

 

3. උගන්වන්න තියෙන සුදුසුකම්

Tuition Selection

Source – english.lk

ගණිතය වැනි විෂයකට එතරම්ම සමත් නැති, කලා විෂයයන් අන්තයට හැදෑරූ ගුරුවරුන්ට ගණිතය විද්‍යාව වැනි විෂයයන් ඉගැන්වීම අපහසුය. මන්ද ඒවා ඔවුන් ඉගැන්විය යුත්තේද නැවත ඉගෙනගෙනය. නිසියාකාර ගුරු පුහුණුවක්, අධ්‍යාපන ක්‍රමවේද ගැන දැනුමක් නැති වුවද ඇතැම් විශ්ව විද්‍යාල සිසුවෝ දරුවන්ට මැනවින් උගන්වති. උගන්වන විෂය ක්ෂේත්‍රයට අදාළ උසස් අධ්‍යාපනයක් ලැබූ අයෙකු දරුවාට උගන්වන්නට ගතහොත්, එම ගුරුවරයාට දරුවාට එන ප්‍රශ්න නිරාකරණය කර දීමට උදව් වීම පහසුය.

 

4. කලින් අයගේ ප්‍රතිඵල

Tuition Selection

Source – edulanka.lk

කලින් ගිය අයගේ ප්‍රතිඵල හොඳ නම් ඒවා ගුරුවරුන් විසින් සිය පෝස්ටර් හෑන්ඩ්බිල් සඳහාද යොදාගනු ලැබේ. එහෙත් සිසුන් කිහිප දෙනෙකු ඉහළින්ම සමත් වීම යනු නිතරම හොඳ දර්ශකයක් නොවේ. පන්තියට ගිය ළමුන්ගේ ප්‍රතිඵල සියල්ලම සතුටුදායක නම් ඒ ගුරුවරයා විසින් යම් කාර්යභාරයක් කරන ලදැයි අපිට සිතිය හැකිය. පසුගිය කාලේ ඇතැම් පාසලක ශිෂ්‍යත්ව විභාගයෙන් බොහෝ සිසුන් ගණනක් එකවර සමත් විය. එවිට ඒ පාසලේ දරුවෝ මෙහෙයවූ ගුරු කැළ සැබෑ කැපවීමෙන් කටයුතු කල දක්ෂ පිරිසක් යැයි අපිට නිගමනය කල හැකිය.

 

5. විෂය නිර්දේශ ආවරණය

Tuition Selection

Source – graphiceye18.blogspot.com

ගණිතය සහ විද්‍යාව වැනි විෂයයන් හි විෂය කරුණු සහ පාඩම් ප්‍රමාණය වැඩිය. ඒවා ඉගැන්වීමට සැලකිය යුතු කාලයක් මිඩංගු කල යුතුය. අමාරු විෂය කරුණු ඉගැන්වීමෙන් සිසුන් අඩු වේ යැයි බියෙන් ඇතැම් ගුරුවරු අමාරු විෂය කරුණු පසුවට උගන්වන්නට තබා ගනිති. නැතහොත් ඒවා උඩින් පල්ලෙන් නිම කරති. එසේ නොමැතිව නියමිත කාල සටහනට අනුව විෂය නිර්දේශය ආවරණය කරන ගුරුවරුද සිටිති. එවැනි අය තෝරාගැනීමෙන් පසුකාලීනව මග හැරුණු විෂය කරුණු වලට තව තවත් ටියුෂන් ගැනීමේ කරදරයෙන් මිදීමට හැකි වේ.

 

6. පන්තියට ඇති දුර

Tuition Selection

Source – youtube.com

දියුණු රටවල පාසල යනු ගමේම හෝ නගරයේම තියෙන ස්ථානයකි. අපේ නම් ගම් නගර රැසක් පසුකරමින් සිය පාසල කරා ඇදෙන සිසුන් බොහෝ වෙති. ආසන්නතම නගරයේ ජනප්‍රියම ටියුෂන් ගුරුවරයාට වඩා, නිවෙස් ආසන්න නිවෙසක බංකු කිහිපයක් දමා උගන්වන ගුරුවරයා තෝරාගැනීම වැදගත් විය හැකිය. එක් පසෙකින් දරුවා ටියුෂන් හැර නිවෙසට පැමිණීමට විශාල කාලයක් ගතවීම දරුවාට හිරිහැරයකි. අනෙක් පසින් ඈතක සිටින විට නාගරික සමාජවල විවිධ විෂමාචාර ක්‍රියාවලට දරුවාව ගොදුරු වූවද දෙමාපියන්ට ඒ ගැන සොයාගැනීමට අපහසුය. එබැවින් ටිකක් ළඟපාත පොඩි තැනක් ටියුෂන් පිණිස දරුවන්ට සොයාදීම ඔහු/ඇය ගැන සෙවිල්ලෙන් සිටීමට ලේසියකි.

 

7. දරුවාගේ කැමැත්ත

Tuition Selection

Source – straitstimes.com

ඇතැම් දරුවෝ වැඩිපුර සැර පරුෂ පෙන්වා උගන්වන ගුරුවරුන් හමුවේ ඉක්මනින්ම ශිල්ප දක්වති. තවත් දරුවෝ මුදු මොළොක් ගති ඇති ගුරුවරියන් හමුවේ වැඩි ලකුණු පෙන්වති. එසේ එක් එක් දරුවාට වඩාත් ගැලපෙන ගුරුවරු සිටිති. එක් පසෙකින් ශිල්ප ශාස්ත්‍ර කා වැදීමට දරුවාට ගුරුවරයා කෙරෙහි කැමැත්තක් භක්තියක් ද තිබිය යුතුය. දරුවන් කැමති දේ පමණක් කිරීමට වඩා දරුවන් සමග සාකච්ඡා කොට, ඔවුන් ද කැමති කරවාගෙන ටියුෂන් යැවීම කල යුතුය. එසේ නැතිනම් දෙමාපියන්ගේ වදෙන් පොරෙන් කෑ ගහලා ටියුෂන් යැව්වාට අවසානයේ ලැබෙන ප්‍රතිඵලයේ වැඩි වෙනසක් වෙන්නේ නැත.

සිසු දරුවන්ට ඉගැන්වීමේදී පාසල් ගුරුවරු සේම ටියුෂන් ගුරුවරුද මනා කැපවීමක් සිදුකරති. එහෙත් නිවැරදි ගුරුවරයා සොයා බලා දුන්නේ නැති වුවහොත් දරුවාට ඒ විෂය එපා වී ඒ ක්ෂේත්‍රයම එපා වීම සිදු විය හැකිය. එබැවින් ගුරුවරයාත් ටියුෂන් පන්තියත් ගැන නැවත නැවත සිතා බලා ටියුෂන් යැවීම කල යුතුය. උසස් පෙළ වැනි මට්ටමකදී නම් දරුවන්ටම යම් සෙවීමක් කල හැකි මුත්, ඊට පහළ දී ටියුෂන් සෙවීමේ වැඩි වගකීමක් දෙමාපියන්ට බැර වේ. පාසලට යැවූ විට එහි දී දරුවාගේ වගකීම විදුහල්පති සහ ගුරු මණ්ඩලය විසින් ගනී. එහෙත් ටියුෂන් පන්ති ඊට වඩා වෙනස්ය. එබැවින් කිහිප වතාවක් හොඳින් සොයා බලා ටියුෂන් පන්ති වෙත දරුවන් යැවීමෙන් පසුකාලීනව දරුවාගේ අසතුටුදායක ප්‍රතිඵල අවම කරගත හැකිය.

 
Cover Image Source – theafronews.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *