කෝපි එකක් තොලගාන ගමන් නිදහසේ පොතක් කියවන්න කොළඹ තියෙන කැෆේ 7ක්

library cafes

දැන් ඔය පොතක් පතක් නැතිනම් සඟරාවක් වුනත් කියවන්න ආසා කරන ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි නිස්කලංක පරිසරයක්, වැහිබර හැන්දෑවක් සහ කෝපි කෝප්පයක් තියේ නම් ඒ කියවන එක තවත් ආස්වාද ජනකයි කියන එක. දැන් ඔතනින් වැහිබර හැන්දෑව නම් සිද්ධ වෙන්නේ ඉතින් ස්වභාව ධර්මයට ඕනෑ හැටියට මිසක් අපිට ඕනෑ හැටියට නෙවෙයිනේ. ඒත් අනෙක් ඒවා නම් අපිට හොයාගන්න පුලුවන්. ඒ කියන්නේ ඔය විදියේම නිස්කලංක පරිසරයක් තියෙන, නිදහසේ ඕනෑ තරම් වේලාවක් පොතක් කියවන්න ඉඩ පහසුකම් තියෙන කැෆේ හෙවත් කෝපි කඩ කොළඹ අවට තියෙනවා. ඇත්තටම මේ වෙනුවෙන්ම නිර්මාණය කරපු ලයිබ්‍රරි කැෆේ කියන සංකල්පය ලෝකේ ප්‍රචලිතයි. ලංකාවෙත් නැත්තේ නැහැ. ඒ තැන්වල කෝපි එකක් විතරක් නෙවෙයි පොත් පත් ගන්නත් පුලුවන්. ඉතින් අපි මේ කියන්න යන්නේ පොත් පත් තියෙන සහ නැති, ඒත් නිදහසේ කෝපි කෝප්පයක් එක්ක පොතක් ගෙනිහිල්ලා හරි කියවන්න පුලුවන් කොළඹ අවට තියෙන කැෆේ කීපයක් ගැන.

 

1. Chapters

library cafes

Source – facebook.com

චැප්ටර්ස්! කෝපි කඩයක්! නෑ පොත් කඩයක්!! නෑ කෝපි එක්ක පොත් කඩයක්!!! ඩුප්ලිකේෂන් පාරේ තියෙන චැප්ටර්ස් එක මුලටම සඳහන් කළේ ඇයි? පොතකුත් මිලදී අරගෙන, කෝපි එකකුත් මිලදී අරගෙන, එතනම වාඩි වෙලා ඒ පොත කියවන්න පුලුවන් තාලේ කැෆේ එකක් නිසා. ඔව්, මෙතනින් එක්කෝ පොතක් සල්ලි වලට ගන්න ඕන. එහෙම නැතිනම් ගෙදරින් පොතක් ගේන්න ඕන.

තැන ගොඩක් ලොකු නැහැ. කැෆේ එක මැද්දේ තියෙන සෝෆා එකේ නැතිනම් එළියේ තියලා තියෙන පොඩි ලී පු‍ටුවක වාඩි වෙලා කෝපි එකක් තොල ගාන ගමන් පොත් කියවන්න පුලුවන්. කම්මැලි හිතුණහම ඩුප්ලිකේෂන් පාරේ ට්‍රැ‍ෆික් එක දිහා බලාගෙන ඉන්නත් පුලුවන්!

වුවමනා නම් මේ අයගේ ඔන්ලයින් පොත් කඩේකුත් තියෙනවා.

දුරකථන අංක: 0115679495

තැන:

 

2. Pages and Coffee

library cafes

Source – facebook.com

පුංචි පහේ, නිස්කලංක ලයිබ්‍රරි කැෆේ එකක් තමයි මේ. රාජගිරියේ තියෙන මේ Pages and Coffee එක ලේසියෙන් හොයාගන්න බැරි තරම් හැංගිලා තියෙන පුංචි තැනක්. හැබැයි එතන ගහක් වගේ හදපු පොත් රාක්කෙක තියෙනවා තමන්ගේ කැමැත්තේ හැටියට අරගෙන බලන්න පුලුවන් පොත්. එතකොට ගඩොලින් බැඳපු කවුන්ටරේට ඕඩර් එක දීලා කෝපි එකක්, හොට් චොකලට් එකක් ගන්න පුලුවන්. ඉන් පස්සේ එතන තියෙන සුවපහසු සෝපාවේ වාඩි වෙලා කියවන්නයි තියෙන්නේ. මෙතන සාමාන්‍යයෙන් ගොඩක් දෙනා අතර ජනප්‍රිය ඉංග්‍රීසි පොත් වැඩි හරියක් අතරේ, ඒ තරම් ප්‍රසිද්ධ නැති පොත් කීපයක් තියෙනවා. ඔක්කොම පොත් හාරසීයක් විතර ඇති. එතකොට අර පොත් සහ හොට් චොකලට් හොයන අයට ඕන නිස්කලංක ගතියත් හොඳටම මෙතන තියෙනවා.

දුරකථන අංක: 0710190400

තැන:

 

3. The Coffee Bean & Tea Leaf Orion City Library

library cafes

Source – facebook.com

නියමාකාරයේ ලයිබ්‍රරි කැෆේ එකක් විදියට හඳුන්වමින් තමයි මීට වසර කීපයකට කලින් දෙමටගොඩ ඔරායන් සිටි එක ඇතුළේ තියෙන මේ කොෆී බීන් ඇන්ඩ් ටී ලීෆ් සමගින් බ්‍රිටිෂ් කවුන්සිල් ලයිබ්‍රරි කැෆේ එක ආරම්භ කෙරුණේ. සාමාන්‍යයෙන් අපිට මේ ආකාරයෙන් දකින්න පුලුවන් කැෆේ වලට වෙනස් විදියට මෙතන බොහොම ඉඩ කඩ තියෙනවා කියලා කියන්න ඕන. ඇත්තටම එකම අවකාශයක බ්‍රිටිෂ් කවුන්සිල් පුස්තකාලය සහ කොෆී බීන් ඇන්ඩ් ටී ලීෆ් කැෆේ එක පිහි‍ටුවීම තමයි මෙතැනදී කරලා තියෙන්නේ. මේ බ්‍රිටිෂ් කවුන්සිල් පුස්තකාලයේ ‍තෝරාගන්න පොත් අතිවිශාල ප්‍රමාණයක් තිබුණත්, මෙතන නිකම් පොත් අරගෙන බලන්න නම් බැහැ. ඒකට සාමාජිකත්වය අවශ්‍යයයි. හැබැයි වසරකට රුපියල් 3000ක් වගේ වෙනකොට බ්‍රිටිෂ් කවුන්සිල් පුස්තකාල සාමාජිකත්වය අරගන්න පුලුවන් කියලාත් මතක් කරන්න ඕන.

දුරකථන අංක: 0112678357

තැන:

 

4. Barefoot Garden Café

library cafes

Source – barefootceylon.com

කොල්ලුපිටියේ බෙයාර්ෆූට් එක නොදන්න කොළඹ සැරිසරන්නෙක් ඉන්න විදියක් නෑ. එක විදියකට බෙයාර්ෆූට් ගාර්ඩන් කැෆේ කියන්නේ කොළඹ සංස්කෘතික මධ්‍යස්ථානයක්. මෙතන ගොඩවැදුණු ගමන් තියෙන්නේ බෙයාර්ෆූට් සරම්, එක එක ශ්‍රී ලංකා අනන්‍යතාවය තියෙන අරුමෝසම් බඩු වගේ දේවල් සහ පොත් පත් විකුණන්න තියෙන තැනක්. ඔව්, මෙතන පොත් මිලදී ගන්න තියෙනවා. එතන පි‍ටුපස්සේ තියෙන උද්‍යානයට විවෘත වුණු දොරෙන් යනකොට මුණගැහෙනවා ලස්සන පසුපස උද්‍යානයක පිහිටලා තියෙන බෙයාර්ෆූට් ගාර්ඩන් කැෆේ එක. මෙතන එක ගැටළුවයි තියෙන්නේ. හැම මොහොතකම විදේශීය සංචාරකයෝ නැතිනම් කොළඹ වැසියෝ කීප දෙනෙක් හරි සාකච්ඡාවක් දාගෙන ඉන්නවා. ඒත් මේසයක් අල්ලගෙන කෝපි එකක් තොලගාන ගමන් පොතක් කියවන්න කිසිම තහනමක් නෑ. මෙතන තියෙන සංස්කෘතිය ඇත්තටම හිතට දැනෙන දෙයක්. ආන්න ඒ නිසා අපි බය නැතුව මෙතන රෙකමදාරු කරනවා.

දුරකථන අංක: 0112505559

තැන:

 

5. Whight & Co

library cafes

Source – facebook.com

මෙරීන් ඩ්‍රයිව් එකේ පිහිටලා තියෙන Whight & Co කැෆේ එකට අපි ආසා කරන හේතු තුනක් තියෙනවා. එකක් තමයි සෑහෙන ඉඩ කඩ තියන සුවපහසු අවකාශය. ඉඩ කඩ හොඳින් තියෙන කැෆේ එකක් වීම නිසාම කොයි තරම් සෙනඟ හිටියත් නැතත් තමන්ට නිස්කලංකව පොතක් කියවන්න පුලුවන් කම මෙතැන තියෙනවා. දෙවෙනියට අපි කැමති හේතුව තමයි මේ අයගේ නියම ශ්‍රී ලංකන් ගෙදර හදපු කෝපි. තුන්වෙනි හේතුව තමයි, කැෆේ එකේ පාර පැත්තේ කෙළවරේම වීදුරුව ගාව මේසෙක ඉඳගත්තහම පේන දර්ශනය. මෙරීන් ඩ්‍රයිව් එකත්, ඈතට ඈතට විහිදුණු ඉන්දියානු සාගරයත්, ඉඳ හිටලා ඇදිලා යන කෝච්චියකුත් එක්ක මේ දර්ශනය ඇත්තටම කියැවීමේ රුචිය වර්ධනය කරවනවා.

දුරකථන අංක: 0114383236

තැන:

 

6. Black Cat Café

library cafes

Source – facebook.com

මෙන්න තවත් නියම ලයිබ්‍රරි කැෆේ පන්නයේ තැනක්! ඇත්තටම කොළඹ හතේ පිහිටලා තිබුණත්, මේ දැවැන්ත දෙමහල් නිවස ළඟට යනකොටම මේක ඇතුළේ කොයි තරම් නිස්කලංකද කියලා දැනෙන්න පටන් ගන්නවා. බොහොම විශාල ඉඩකඩක් තියෙන නිසා මෙතනත් නිස්කලංක මුල්ලක් ඉතාම ලේසියෙන් හොයාගන්න පුලුවන්. මෙතන ෆෘට් ජූස් එකක් ඕන නම් ගන්න පුලුවන්. එහෙම නැතිනම් නියම විදියට, පැරණි තාලෙට කිරි, සීනි සහ කෝපි වෙන වෙනම මේසෙට එන විදියට කෝපි එකක් ඕඩර් කරන්නත් පුලුවන්. හොඳම දේ තමයි මේ කැෆේ එකේ තියෙන පොත් කාමරය. එතන සුවපහසු පු‍ටු නැති වුනත්, එතැනින් පිටත සුවපහසු සෝෆා එකක් එහෙම හොයාගන්න පුලුවන්. මෙතන සෑහෙන්න කොමික් පොත් එහෙමත් තියෙනවා!

කළු පූසෝ නං මෙතන හොයාගන්න බැරි වුනා!

දුරකථන අංක: 0112675111

තැන:

 

7. Coffee & Company

library cafes

Source – facebook.com

මෙන්න තවත් නිස්කලංක පරිසරයක්, පොතක් පතක් කියවන්නම තියෙන සුවපහසු අවකාශයක් සහිත කැෆේ එකක්. ඒ විතරක් නෙවෙයි, කොළඹ කැෆේ වලින් බොහොම අනර්ඝ කෝපි කෝප්පයක් ලබාගන්නත් පුලුවන් ස්ථානයක්. ඇත්තටම මෙතන පරණ තාලේ ගෙයක්. උදේ වරුවකට එහෙම නම් ඒ තරම් සෙනඟක් නැහැ. හවස් වරුව ගැන අපිට ඒ තරම් විශ්වාසයකින් කියන්න බැහැ. ඒත් කොයි තරම් කස්ටර්මර්ස්ලා හිටියත් පොතක් කියවන්න පුලුවන් විදියට මෙතැන පරිසරයේ තියෙන නිසංසල බව බි‍ඳෙන්නේ නැහැ කියලත් ඒ විදියටම විශ්වාසයකින් කියන්න පුලුවන්. ඇතුල් වෙනකොටම තියෙන සැපපහසු උස පු‍ටු දෙකින් එකක් හරි, සෝෆා එකේ මුල්ලක් හරි අල්ලගත්තා නම් නියම කෝපි කෝප්පයක් තොල ගාන ගමන් තමන්ගේ ප්‍රියතම පොතක් කියවන්න පුලුවන් කාගෙන්වත් කරදරයක් නැතිව.

දුරකථන අංක: 0771225567

තැන:

 
Cover Image Source – vegetusco.wordpress.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *