කලා ලොව තුළ පරම්පරාවෙන් පරම්පරාවට කලාව උරුම වීම ලංකාවෙ විතරක් තියෙන මහ පුදුමාකාර දෙයක් නෙමෙයි. හින්දි සිනමාව, හොලිවුඩ් සිනමාව වගේම ගීත කලාව තුළත් ජාත්‍යන්තර වශයෙන් එහෙම පියාගෙන් පුතුට, මවගෙන් දුවට දායාද පැමිණි අවස්ථා කොතෙකුත් තිබෙනවා. අපි අද කතාකරන්න යන්නේ එහෙම උරුමයක් සහිත, ඒත් වෙනස්ම මගකින් ජනප්‍රිය වුනු ලාංකික ජනප්‍රිය ගීත තරු ගැන.
1. කසුන් කල්හාර
කසුන් කල්හාර කියන්නේ 2000න් පස්සේ තරුණ පරපුරේ සරල සංගීතයට ආසාකරන හැමෝ අතරම ජනප්‍රිය වුනු කටහඬක්. සංගීතය කියන්නේ කොත්තු දානවා වගේ කරන මියුසිකල් ෂෝ කියලා හිතන් ඉන්න අති බහුතරයක් අතරේ අදටත් ලංකාවේ ඕනෑම ටවුමක තිබෙන කසුන්ගේ ප්‍රසංගයක් බලන්න සෙනග වැඩි මිල ටිකට් අරන් පෝලිමේ එනවා. කසුන් කියන්නේ ප්‍රවීණ සංගීතවේදී එච් එම් ජයවර්ධනයන්ගෙත් මාලනී බුලත්සිංහලයන්ගේත් එකම පුත්‍ර රත්නය. කසුන් එක් අවස්ථාවකදී කියන විදියට සංගීත ලෝකයට එන්න අම්මාගේ සහ තාත්තාගේ නම වැදගත් වුනා. එහෙත් එතනින් එහා සංගීත ලොවේ පියා සලා යද්දි කසුන් කියන්නේ එච් එම් වත් මාලනී වත් නෙමෙයි. වෙනමම කලාවක්.
මේ කසුන් අම්මාගේ ගීතයක් ගයන ආකාරය.
2. ගයාන් පෙරේරා
“ටිකෙන් ටික… ටිකෙන් ටික… අපි ආවාද… මේ තරම් දුර…”
කියා ගයාන්ගේ මියුරු හඬින් වේදිකාව මත් වෙද්දි, මේ ඉන්නේ අර ටකරං බෙලෙක් සද්දෙන් බයිලා කියන සුනිල් පෙරේරාගේ පුතා නේද? කියලා හිතන්නත් අමාරුයි. ඒත් ඒ ගයාන් කියන්නේ සුනිල්ගේ ඔරිමජිනල් පුතා තමයි. සුනිල් පෙරේරා ලංකාවේ සංගීතයේ තැබූ සලකුණ නොමැකෙන එකක්. ඔහුගේ ගීත කලාව සමාජයේ අහු මුලු සිසාරා ගමන් කරන නිසා වෙළඳ දැන්වීම් වලටත් සුනිල්ට තිබෙන්නේ ලොකු තැනක්. කොහොම වුනත් තාත්තා තරම්ම විශාල වපසරියක ශ්‍රාවකයින් පිරිසක් නැතත්, වෙනමම නමක් හදාගන්න ඩැඩී බෑන්ඩ් එක එක්ක ගයාන්ට හැකි වුනා.
3. සනුක වික්‍රමසිංහ
ජනප්‍රිය තරු වල පුතණුවන් දුවණියන් එන රූපවාහිනී රේඩියෝ වැඩසටහන් වල, පියාගේ මවගේ ගීත ගායනා කරන ඉසව් එමටයි. එහෙත් එවැනි වැඩසටහන් වලදී පුතාගේ ජනප්‍රිය ගීත පියාට ගායනා කරන්නට වීමේ දුර්ලභ අවස්ථාව මෑතකදී සංගීත් වික්‍රමසිංහ උදාකරගත්තා. සංගීත්ගේ පුතා වන සනුක රූ සෝබාවයෙන් වගේම හඬ පෞරුෂයෙනුත් නව්‍ය ගීත රටාවෙනුත් යෞවනයේ රසික සිත් ඩැහැගන්නට සමත් වුනා. පෙරවදනක් වී… සංසාර සිහිනයේ… ආදී ගීත යූටියුබ් හරහා මිලියන ගණන් ප්‍රේක්ෂකයින් අන්දා බන්දා තබාගත්තේ පිටතින් ඔබන ලද නිරුවත් නාරි රූ ඇතුළත් වීඩියෝ වල බලයෙන් නම් නොවෙයි. කලක් ශක්ති සමග සිටි දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයෙක් වූ සංගීත් ගේ ‘සඳ මුවා වෙලා’ වගේ ගීත එකල වගේම අදත් අප අතර ජනප්‍රියයි.
4. චිත්‍රාල් සෝමපාල
චිටී යනුවෙන් හැඳින්වෙන චිත්‍රාල්ගේ හඬ රොක් සංගීතයටම සැදුන එකක්. ඔහුගේ පියා සහ මව හැටේ දශකයේ ජනප්‍රිය වූ පී. එල්. ඒ සෝමපාල සහ චිත්‍රා සෝමපාල යුවලයි. ඒ දෙපළගේ ‘දඹුලු ගලේ දඹුලු ගලේ’ ගීය චිත්‍රාල් නව රිද්මයෙන් ගැයුවත්, චිත්‍රාල් ගේ බර රොක් සද්දෙන් නියම පැරණි දඹුලුගලේ ගීය නම් නිරූපණය වුනේ නැහැ. වැඩිපුර ආශාවක් නැති අයට රොක් සංගීතය නිකම්ම විලාප තියන ඝෝෂාකාරී සංගීතයක් විදියට ඇසුනත්, රොක් සංගීතය කලක් තිස්සේ පුහුණු කල හඬකින් කල යුතු භාරදූර සංගීත කාර්යයක්. චිත්‍රාල් ගේ නදී ගංගා තරණය සහ මිරිඟුව පරදා මුලින්ම එන්නේ වෙළඳ දැන්වීම් ඔස්සේ. එහෙත් පසුකාලීනව මෙම ගීත තරුණයින්ගේ තුඩ තුඩ රැව්දෙන මතක සටහන් බවට පත්වීමත් සමග චිත්‍රාල්ද නූතන ලාංකික ගීත කලාවට ඇතුළත් වුනා. විවිධ ජාත්‍යන්තර මතවාද මත ඔස්සේ ලාංකික සමාජය දකින්නට යෑමෙන් ෆේස්බුක් තුළ පසුගිය කාලයේ චිත්‍රාල් ගේ මත ආන්දෝලන ඇතිකලා. කොහොම වුනත් ලංකාවේ රොක් ගී කලාවට චිත්‍රාල් ලයිට් හවුස් එකක් වගේ දැවැන්ත මග සලකුණක්…
5.රයිනි චාරුකා
“මගේ රයිනි චාරුකා දුවට ඇසෙන්නටයි” යනුවෙන් රූකාන්ත දුව වෙනුවෙන් ගැයුව ගීයක පදවැලක අවසාන කොටසක් තිබෙනවා. ඒ රයිනි චාරුකා දුව අද චන්ද්‍රලේඛාගේ කටහඬෙන් ගීත කලාවේ ඉදිරියට ඇවිත්. ඇගේ ගීත ඒ කාලයේ රූකාන්ත චන්ද්‍රලේඛා ගීත ජනප්‍රිය වූවා සේම ජනප්‍රිය වුනා. අදටත් මුලු පවුලෙන්ම ප්‍රසංගයක් කරන්න පුලුවන් ලාංකික පවුල් අතර රූකාන්ත චන්ද්‍රලේඛා සහ රයිනිගේ පවුල ඉදිරියෙන්ම සිටිනවා.
6. අමල් පෙරේරා
මල් පිට මල් සැලෙන දිගු මාවතේ… ගීතය ගායනා කරන සමය වනවිට, අමල් යනු ගුවන් විදුලි යුගයේ ජනප්‍රිය තරුවක් වූ මර්වින් පෙරේරාගේ පුතා යැයි දැන සිටියේ අතලොස්සක් පිරිස පමණයි. දැන් නම් අමල් සිය පියා වන මර්වින් පෙරේරාගේ ගීතද මැනවින් ගායනා කරනවා. එහෙත් තමුන්ටම කියා ගීත කිහිපයක් ඇති අමල් ඒ තුළින් සෑහෙන ජනප්‍රියත්වයක් මීට වසර කිහිපයකට පෙර අත් පත් කරගත්තා. කුකුල් කේන්තිකාරයෙකු වන අමල් කොස්ගොඩ සුදු කැස්බෑවා නැතිවීම වැනි සිද්ධී හරහාද මාධ්‍ය අවධානය දිනාගත්තා. අමල් පෙරේරාගේ පුතා වන නදීමාල් පෙරේරාද නව පරපුරේ ජනප්‍රිය ගායන තරුවක්.
7. කාවින්ද්‍යා අධිකාරි
කාවින්ද්‍යා කියන්නේ ජනප්‍රිය ගායක අතුලගේ සහ ගායිකා සමිතාගේ දුවණිය. ඔවුනගේ ආභාෂයෙන් ගීතයට කුඩා කල පටන්ම හුරු වූ කවින්ද්‍යා දැන් නම් තමුන්ගේම ගීත කියන තරුණ ගායිකාවක්. කවින්ද්‍යා වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙසත් ජනප්‍රියත්වයට ලක් වුනා. සමිතා ගේ ගීත රැසක් තිබුනත්, තමුන්ටම කියා අලුත් ගමනක් යන්නට සිතූ කවින්ද්‍යා රෝහිත රාජපක්ෂ සමගද ගීතයක් ගායනා කලා.
ගීතය සතු ආකර්ශනීය බව නිසා භාෂාවෙන් වෙනස් වුවත් විදෙස් ගීත පවා අප අතර ජනප්‍රිය වෙනවා. ටජිකිස්ථානයේ නසියාගේ ගේ නගෝ නගෝ ගීතය අපේ ප්‍රසංග වේදිකාවල ගැයෙන්නෙත් ඒ සංගීතයේ ඇති මිහිරියාව නිසයි. ඒ ගී ගැයීමේ හුරුව සහ සහජයෙන් එන සංගීත හැකියාව බොහෝ කලා උරුමයන් සහිත පුතුන්ට දියණියන්ට හිමි වෙනවා. ඒ අතුරින් පියාගේ මවගේ ගීත නැවත රීමේක් කිරීමෙන් නොනැවතී වෙනමම ගමනක් යන පිරිසක්ද සිටිනවා. ඒ අලුත් ගීත ගයන පිරිස හැකියාවෙන් සන්නද්ධව දියත් කරන නව සංගීතමය අවි, නව පරපුරේ ප්‍රේක්ෂක හදවත් පසාරු කරගෙන ලාංකික ගීත කලාව ඉදිරියට රැගෙන යාවි.
Cover Image Source – youtube.com
Leave a Reply