පුංචි එකෙක් ඉන්න ගෙදරක හිනා පිරෙනව කියල පැරැන්නො කිවුවට දන්න මිනිස්සු දන්නව කන්න වෙන කට්ටෙ තරම. එනිසා මේ කතාවට අම්මලා තාත්තලා, නෑදෑ පරම්පරාව, සහෝදරියො උදවුවට නැතිව තනියම දරුවෙක් ඇතිදැඩි කරපු අය එකඟ වේවි. ඔය කියන හිනා පිරෙන ගෙවල් හතුරෙක්වවත් ගෙන්නගන්න බැරි තැනට පත් කරන්න පොඩ්ඩෙකුට යන්නෙ පැයකටත් අඩු කාලයක්.
1. මිදුලේ සිටම සෙල්ලං බඩු

Source – accordingtokatie.com
ආයෙ ඉතිං පොඩි එකෙක් ඉන්න ගෙදරකට හොරෙක් පැන්නොත් බටගම මිනිස්සු හොරු පනිනවට මිදුලට පපඩං දාලා තිබ්බට හපං වෙනවා. ඇයි යකෝ මිදුලෙ ඉඳන්ම එක එක මගුල්. කාඩ්බෝඩ් රෝල්, පොඩි පොඩි කූරු, බෝල, බිල්ඩිං බ්ලොක්ස් කෑලි. ඕවා උඩ එක්කො ලිස්සනවා. නැත්තං තුවාල වෙනවා. එහෙමත් නැත්තං බිම හැම තැනම චූ. චරස් චරස් ගගා මඩේ යනව වගේ තමයි ගේ ඇතුළෙත් යන්න ඕන. අවුරුදු විස්සක් ජීවත් වුනු තමුන්ගෙ ගෙදර වුනත් ලයිට් නිවලා යන්න බැහැ.
2. කොයි වෙලෙත් බෑඟිරි ගහන සද්ද

Source – youtube.com
සුරතල් කිරි සිනා කියල කියන්නෙ ළමයි නැති උන්ද කොහෙද? ළමයෙක් සුරතල් කිරි සිනාවක් දාන්නෙ හෙන හෙමීට. මහ හයියෙන් දාන්නෙ දෝස්මුර. පොඩි එකා කැමති නැති වෙලේක පොඩි එකාව ඉම්බොත්, කාටූන් එක ඉවර වුනොත්, කවන්න හැදුවොත්, නාවන්න හැදුවොත්, වතුර පොවන්න හැදුවොත්, හැමදාම ළඟ තියෙන බෝනික්ක නැති වුනොත් වගේ සුළු දේකින් වුනත් කිරි සිනා දෙකොනිං යන්න බෑඟිරි ගහන්න දරුවෙක් පැකිලෙන්නෙ නෑ.
3. පාට කරපු බිත්ති

Source – thislittlecreature.wordpress.com
ගෙවල් කොච්චර පාට කරල තිබ්බත් ආයෙ දරුවෙක් ඉන්නව කියන්නෙ බිත්තිය අනියතං තමයි. එක එක පාට. බිත්ති දිහා එක දිගටම බලන් හිටියොත් ඔලුව විකාර වෙන තරං චෝක් පාරවල් බිත්තිවල. බිත්ති විතරක් නං බැරිය. පුටු, ටීපෝ, ඩයිනිං ටේබල් වගේම එළිපහලියක තියල තිබ්බොත් ලැප්ටොප් උනත් පාට කරන්න පොඩි උන් පැකිලෙන්නෙ නෑ. ඒ වගේම චෝක්වල තෙල් ගතිය නිසා ඒවා යන්නෙත් නෑ.
4. කූඹි සහ කැරපොත්තෝ

Source – housemethod.com
පුතා බිස්කට් කනවද කියල ඇහුවොත් හා කියනව. එහෙම ඇහුවෙ නැතත් බිස්කට් දෙන්න කියනව. ඉතිං බිස්කට් එක අරගෙන රට වටේ ඇවිදිනව. ඇවිද ඇවිද බිස්කට් කද්දි වෙනිං ආසා දෙයක් සෙට් වුනොත් බිස්කට් එක එතනිං තියල එතන තියෙන දේ අතට අරගෙන ආයෙ ඇවිදිනවා. අම්මල තාත්තලා ඒවා දැනගන්නෙ අහුමුළුවලින් කූඹි ඇදෙන්න ගත්තම. බත් කටක් අනල කැවුවොත් හොරෙන් ගිහින් ඒක හලලා එනවා අස්සක. ඉතිං කැරපොත්තො පිරිලා ගෙදර. ආයෙ ඉතිං වසන්න බැරි තරමට කැරපොත්තො.
5. පුංචි ගේට්ටු

Source – pinterest.com
පොඩි එකෙක් ඉන්න ගෙදරක තවත් තියෙන අනිවාර්ය ලක්ෂණයක් තමයි ගේට්ටු. දොරෙන් දොරට, පඩිපෙළෙන් පඩිපෙළට පුංචි පුංචි ගේට්ටු පිරිලා. කොටිම්ම ඇඳටත් වැටවල්. හදිස්සියට අපි ගියාම දණිස් මට්ටමටත් පහළින් තියෙන නිසා හැප්පිලා වැටෙනවා. ඊට හපං පොඩි උන් ඔය පුංචි ගේට්ටුවලින් පනින්න ගිහින් වැටුනම අඬන ඇඬිල්ල. ගේට්ටු කඩල දාන්න හිතෙනව ඒ ඇඬිල්ලට.
6. රෙදි කඳු

Source – thehappiesthome.com
පොඩි එකෙක් ඉන්නව කියන්නෙ තනිකරම චූ කතාවක්. ඒ නිසා කප්පරක් රෙදි ඕන. කොච්චර තිබුනත් මදියි. මුලින්ම ගේ ඇතුළෙ තියෙන රැක් එකේ රෙදි වනනව. ඊටපස්සෙ ගෙදර තියෙන පුටු, ඇඳන් හැම එකම උඩ රෙදි වනනවා. ඊට පස්සෙ වැල් ඇදගෙන එළියෙ, වැටේ හැම තැනම රෙදි වනනව. එච්චර රෙදි වනලත් තවත් වේලෙන්න වනපු නැති රෙදි ටිකක් වොෂින් මැෂින් එකේ ඇතුළෙ ඩ්රයර් එකේ තැම්බි තැම්බි තියෙනව.
7. කෝ?

Source – youtube.com
පොඩි එකෙක් ඉන්න ගෙදරක අනිවාර්ය සාධකයක් තමයි අස්ථානගතවීම් කියන්නෙ. ආයෙ ඉතිං හොයාගන්න බෑ. පතෝල කරල දෙකට කඩල කුණු මල්ලෙ. ඉයර් ෆෝන් හාල් මල්ලෙ. රෙදි අස්සෙ තිබිලා ලුණු බෝතලේ හම්බෙනවා. කතුර ඇඳ යට. අයන් කරලා තිබ්බ ඇඳුම නාන්න යද්දි බාත්රූම් එකේ බිම තිබිලා දැක්කම පපුව වාවන්නෙ නැතුව යනව. හැම දේම කෝ කෝ කිය කිය හොයන්න තමයි වෙන්න.
Cover Image Source – huffingtonpost.com
Leave a Reply