සිරිපාල රෙස්‍ටුරන්ට් එකකට ගියහම කොහොමද හැසිරෙන්නේ? අන්න ඒක අහලා දැනගන්න වටිනවා. මොකද සිරිපාල ඔය ෆැන්සි රෙස්‍ටුරන්ට් එකකට යන්න බයක් නැහැ. ගිහිල්ලා සිංහලෙන් කතා කරන්න පැකිලෙන්නෙත් නැහැ. ටේබල් මැනර්ස් වරද්දන්නෙත් නෑ. ඔය කියන අවන්හලකදී පිළිපදින්න ඕන යහපත් සිරිත් විරිත් වරද්දන්නෙත් නෑ. හැබැයි සිරිපාල ඔය සිරිත් විරිත් ඔලුවට කරදරයක් කරගන්නෙත් නෑ. ආන්න ඒ නිසා අපි අහලා බලමු සිරිපාලගෙන්, රෙස්‍ටුරන්ට් එකකට එහෙම ගියහම කොහොමද හැසිරෙන්න ඕන, මොනවද දැනගෙන ඉන්න ඕන කරුණු කාරණා කියලා!
1. කතා කරන්න ඕන කොහොමද?
අපි මනුස්සයෝ විදියට තවත් මනුස්සයෙක්ට ගරු සැලකිලි දක්වන්න ඕන කියන එක අමුතුවෙන් කියලා දෙන්න වුවමනා දෙයක් නෙවෙයිනේ. මේවා කොමන් සෙන්ස්. කෙනෙක්ගේ රැකියාව කොයි තරම් ඉහළ වුනත්, පහළ වුනත් ගරුසරුව සලකන්න දැනගන්න ඕනෑ. ආන්න ඒක රෙස්‍ටුරන්ට් එකකට ගියහමත් තරයේ පිළිපදින්න ඕන. දොර ඇරලා දෙන්න ඉන්න සේවකයාගේ ඉඳලා, වේටර් දක්වා, මැනේජර් දක්වා ඕනම තරාතිරමක මනුස්සයෙක්ට අපි විනීතව කතා කරන්න දැනගන්න වුවමනායි. ඒ කියන්නේ වේටර් මහත්තයාව ගෙන්න ගන්න විසිල් එකක් ගහන එක, සූවක් දාන එක අන්තිම කැතයි. “මේ”, “හලෝ”, “ඕයි” වගේ වචන වලින් වේටර්ව ගෙන්න ගන්න හදන එකත් ඒ වගේම කැතයි. කෙලින්ම “එක්ස්කියුස් මී” කියලා කියන්න. නැතිනම් “පොඩ්ඩක් මෙතනට එන්න පුලුවන්ද” කියලා අහන්න. එතකොට වේටර් මහත්තයට මහත්තයා කිවුවත්, මචං කිවුවත්, මල්ලි කිවුවත් කමක් නෑ. හැබැයි “තමුසේ”, “ඔහේ” වගේ පහතට දාන වචන වලින් ආමන්ත්‍රණය කරන්න තියාගන්න එපා. අනික දෙයක් ඉල්ලන කොට “කරුණාකරලා” කියන වචනේ කිවුවත්, දෙයක් කරලා දුන්නට, ගෙනැල්ලා දුන්නට පස්සේ “ස්තුතියි” කියලා කිවුවත් දිව ගෙවෙන්නේ නෑ!
අනික තරු පංතියේ රෙස්‍ටුරන්ට් එකකදී වුනත් ඉංග්‍රීසි බැරි නම් සිංහලෙන් කතා කරන්න පැකිළෙන්න, බය වෙන්න එපා. ඒ තැන්වල ඉන්නෙත් සිංහල දන්න මිනිස්සු!
2. ස්මාට්ෆෝන් එකේ හඬ අඩුකරලා තියාගන්න ස්මාට් වෙන්න!
අපි හැමෝම ස්මාට්ෆෝන් පාවිච්චි කරනවනේ. ඉතින් බහුතරයක් දිහා බැලුවහම කොයි මොහොතෙත් ස්මාට්ෆෝන් එක අතේ. හැබැයි ඉතින් රෙස්‍ටුරන්ට් එකකට තමන්ගේ හිතමිතුරෙක් හරි ආදරය කරන කෙනෙක් හරි එක්ක ගිහින් නිදහස් වෙලාවක් ගත කරන්න හිතනවා නම් හොඳම දේ තමයි ස්මාට්ෆෝන් එක සයිලන්ට් කරලා සාක්කුවේ දාගන්න එක. ෆෝන් එකත් මේසේ පැත්තකින් තියාගන්න එපා.
හරි ස්මාට්ෆෝන් එක සයිලන්ට් කරන්න බැහැයි කියමුකෝ. මේසේ උඩම තියාගන්නත් ඕන කියමුකෝ. එහෙමනම් අඩු තරමින් සම්පූර්ණ සද්දෙන් රින්ග් වෙන්න දාලා තියන්න එපා. හඬ උපරිම අඩු කරලා තියන්න. මොකද රෙස්‍ටුරන්ට් එකක තවත් මිනිස්සු කතා බස් කරනවා. තමන්ගේ මේසෙන් එහාට යන සද්දෙන් නාද වෙන දුරකථනයක් කියන්නේ අනික් අයට කරදරයක්.
ඒ වගේම තමයි හරි සිරිත් විරිත් වල හැටියට ඔය යතුරු, පසුම්බි, මේක් අප් කිට් වගේ දාහක් දේවල් වුණත් මේසේ උඩ තියන්නේ නෑ.
3. පොඩි එකාව ඇණයක් කරවන්න එපා
ඔව් මේක අදාළ වෙන්නේ කුඩා දරුවෝ ඉන්න අම්මලාට තාත්තලාට තමයි. තමන්ගේ කුඩා දරුවාවත් රෙස්‍ටුරන්ට් එකකට අරගෙන යන එක කිසිම ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි තමන්ගේ දරුවාව හරියට හසුරුවාගන්න එක තමන්ගේ වගකීම කියන එක මතක තියෙන්න ඕන. දරුවෝ අනවශ්‍ය විදියට රෙස්‍ටුරන්ට් එකේ දුව පනිනවා නම්, කෑ ගහනවා නම්, අනෙක් මේස වලට කරදරයක් වෙනවා නම්, දරුවොනේ, සෙල්ලමනේ, හුරතලේනේ කියලා හිනා වෙවී ඉන්න එපා. දරුවාව ළඟට කතා කරගන්න. බැරිම නම් එළියට එක්කරගෙන ගිහින් සන්සිඳවාගෙන බැරිනම් තරවටු කරලා හරි එක්කගෙන එන්න. හැබැයි තවත් කෙනෙක්ට දරුවා දිහා කරදරකාරයෙක් විදියට බලන තැනට ඉඩ තියන්න එපා!
4. මෙනු එකත් එක්ක සෙල්ලම් කරන්න එපා !
සමහරු ඉන්නවා ෆැන්සි රෙස්‍ටුරන්ට් එකකට ගිහින් මෙනු එක බලපු ගමන් හොල්මන් වෙනවා. ඉන් පස්සේ එක්කෝ කන්න බැරි කෑමක් ඕඩර් කරලා ආවට පස්සේ මාරු කරන්න අහනවා. නැත්නම් අමාරුවෙන් කන්න හදනවා. තව සමහරු මෙනු එක බලලා ඕඩර් එක දීලා, වේටර් ඒ ඕඩර් එක කිචන් එකට දුන්නටත් පස්සේ හිත වෙනස් වෙනවා. දැන් වේටර් පස්සෙන් දුවනවා ඕඩර් එක වෙනස් කරන්න. අන්න ඒවා හොඳ සිරිත් විරිත් නෙවෙයි.
මුලින්ම මෙනු එක දුන්නට පස්සේ වෙලාව අරගෙන මෙනු එක කියවන්න. සම්පූර්ණ මෙනු එකම හොඳට බලන්න. ඒකේ තියෙන කෑම මොනවද කියලා තේරෙන්නෙ නැතිනම් ‘ලැජ්ජයි ඕයි අහන්න’ කියලා ඉන්නෙ නැතුව වේටර් මහත්තයාට ළඟට කතා කරලා මේ කෑම මොනවද, මේ කෑමේ තියෙන්නේ මොනවද කියලා හරියට අහගන්න. මෙනු එකේ හොඳම ඩිෂ් එක මොකක්ද කියලා හිතාගන්න බැරි නම්, වේටර් මහත්තයාගෙන් අහන්න හොඳ මොනවද කියලා. අන්න ඊට පස්සේ තමන්ට හරියටම ඕන මෙන්න මේක තමයි කියලා ෂුවර් කරගත්තට පස්සේ ඕඩර් එක දෙන්න. පස්සේ ආයෙ ඒක වෙනස් කරන්න ගිහින් මුළු රෙස්‍ටුරන්ට් එකේ කාර්ය මණ්ඩලයටම ඇණයක් නොවන්න!
තව කාරණයක්. කරුණාකරලා මෙනු එකේ බලිකුරුටු අඳින්න, කවි ලියන්න යන්න එපා. මෙනු එක ලැබුණු විදියටම ආපිට භාරදෙන්න!
5. මැසිවිලි නගන කරදරකාරයෙක් නොවෙන්න!
එක දවසක් සිරිපාලයි එයාගෙ යාලුවෙකුයි එක්ක රෙස්‍ටුරන්ට් එකකට ගියා දෙන්නගෙම මිතුරියක්. සෑහෙන පොෂ් ලෙවල් එකකින් ඉන්න ගෑණු ළමයෙක්. මෙන්න ටික වෙලාවකින් මේ ළමයා වේටර් මල්ලිට හෝ ගාලා බණිනවා. “දුන්නු කෝක් එකේ කාබන්ඩයොක්සයිඩ් නැහැල්ලු”! හරි ඉතින්, කෝක් එක පැයක් විතර ළඟ තියාගෙන පච හල හල හිටියට පස්සේ කෝක් කෝප්පේ කාබන්ඩයොක්සයිඩ් ඉතුරු වෙන්නෙ නෑ. හැබැයි මෙහෙම පොෂ් වෙන්න රෙස්‍ටුරන්ට් එකකට ගිහින් නැති වැරදි හොයාගෙන වේටර්ටයි මැනේජර්ටයි බණින්න තියාගන්න එක හරි නෑ.
අපි කියමු ඇත්තටම තමන්ට ලැබුණු කෑම එකේ මොකක් හරි අවුලක් තියෙනවා කියලා. එතකොට වැදගත් මනුස්සයෙක් නම් කරන්නේ එතන දෙවනත් වෙන්න කෑ ගහන එක, වලි දාගන්න එක නෙවෙයි. ඇත්තටම වේටර්ට බැණලා හරියන්නෙත් නෑ. නැගිටලා යන්න මැනේජර් හොයාගෙන. ගිහින් පැමිණිලි කරන්න. එතනින් පස්සේ මැනේජර් ඔස්සේ ඒ ගැන ක්‍රියාත්මක වෙන්න.
තව කොටසක් ඉන්නවා තමන්ගේ කොල්ලත් එක්ක හරි කෙල්ලත් එක්ක හරි රෙස්‍ටුරන්ට් එකට ගිහින් දෙන්නට මොනවහරි කෑම වර්ග දෙකක් ඕඩර් කරනවා. දැන් කෙල්ල කෑම ආවට පස්සේ කොල්ලගේ කෑම එකේ ඇදමයි දකින්නේ. “අපෝ ඕක රහ නෑ”, “ඔය කෑම කන්න පුලුවන්ද?” ඔය වගේ දාහක් දේවල්. හරි තමන්ට ඕන කෑමනේ තමන් ඕඩර් කරන්නේ. ඉතින් මේ වගේ වදකාරයෙක් වෙන්න එපා රෙස්‍ටුරන්ට් එකකට ගියාට පස්සේ. ඒක කැතයි.
6. තවත් දහසකුත් එකක් මැනර්ස්
දැන් ඔය ටේබල් එටිකට් නැතිනම් ටේබල් මැනර්ස් කියන දේවල් කලින් අහලා ඇතිනේ. ඒ කියන්නේ හැන්ද ගෑරුප්පුව පිහිය ගන්නේ කොයි අතටද, කොයි වීදුරුවෙන්ද වතුර බොන්නේ, කොයි වීදුරුවෙන්ද වයින් බොන්නේ, සුප් බොන්නේ මොන හැන්දෙන්ද, අත් පිස්නාව එලා ගන්නේ කොහොමද වගේ කාරණා. ඒවා නිකං රොබෝලා වගේ පිළිපදින්න ඕන දේවල් නෙවෙයි. උදාහරණයක් විදියට කිවුවොත් හැන්ද ගෑරුප්පුව හරඹ කරන්න බෑ කියලා හිතුනොත් කරන්න තියෙන්නේ ෆින්ගර් බෝල් එකක් ගෙන්නගෙන අතින් අරන් කටින් කාලා හොඳට අත සෝදගන්න එක. ඒ වගේම තමයි කෑම බිම සහ මේසේ උඩ හලන්නේ නැතුව විනීතව ආහාර ගන්න හැකි තරම් උත්සාහ කරන එක හොඳ පුරුද්දක්. ඒ වගේම අවශ්‍ය ඕනෑම වෙලාවක කට පිසදා ගන්න නැප්කින් එක පාවිච්චි කරන්නත් පැකිලෙන්න එපා!
හැබැයි පොඩි පොඩි දේවල් තියෙනවා අතපහු කරන්න නරකයි. අපි කියමු බුෆේ එකකට ගියා කියලා. එතකොට සමහර බඳුන් වහලා තියෙන්නේ. එතකොට අපි ඒකෙන් මොනවහරි කෑමක් අරගෙන ඒක ඇරලා දාලා එන එක කැතයි. බුෆේ එකේ ඉන්න ගමන්ම මොනවහරි කටේ දාගෙන රහ බලන එක ඊටත් වඩා කැතයි. බුෆේ එක අනික් එව්වෝ කාලා ඉවර කරයි කියලා හිතාගෙන වගේ පිස්සු හැදිලා දුව දුව තියෙන හැමදේම පිඟානට බෙදාගන්න හදන එකත් ඒ වගේම කැතයි.
එතකොට මතක තියාගන්න ඕන රෙස්‍ටුරන්ට් එකේ මේසේ උඩ තියෙන්නේ තමන්ට අයිති දේවල් නොවේය කියන එක. සමහරු හැඳි, ගෑරුප්පු, සෝල්ට් ෂේකර්, පෙපර් ෂේකර් වගේ ඒවා ෂේප් එකේ සිහිවටන කියලා බෑග් එකේ දාගෙන එනවා. අන්න කැත වැඩ. සමහරු සෝස් එකක් දුන්නහම කන්නේ නැති වුනත් පිඟාන පිරෙන්න සෝස් පුරවගෙන අහක දානවා. ඒවත් කැත වැඩ. ඒ නිසා රෙස්‍ටුරන්ට් එකකට ගියහම තමන්ගේ රෙස්පෙක්ට් එකත් තියාගෙන, රෙස්‍ටුරන්ට් එකටත් රෙස්පෙක්ට් කරලා ඉන්න දැනගන්න ඕන. අන්න ඒක තමයි හොඳ ක්‍රමය.
7. ටිප් එක ටොප් එකට දෙන්න!
මේ ටිප් එක කියන එක ගොඩක් අය ප්‍රශ්නයක් කරගන්න දෙයක්. අපි හිතමු ෆැන්සි රෙස්‍ටුරන්ට් එකකට ගිහිල්ලා අපි කෑම කනවා කියලා. දැන් කෑම කාලා බිල එනවනේ. බිල අරගෙන පොඩ්ඩක් බලන්න. ගොඩක් වෙලාවට ඉහළ පෙළේ අවන්හලක නම් සේවා ගාස්තු කියලා බිලෙන් 10% ක් වෙන මුදලක් අමතරව එකතු කරලා තියෙනවා බිලටම. අන්න එහෙම වෙලාවක ටිප් එක ගැන කරදර වෙන්න දෙයක් නෑ. එහෙම සේවා ගාස්තු ගන්නෙ නැති තැනකදී නම් වේටර් මහත්තයට ටිප් එකක් තියලා එන එක හොඳ පුරුද්දක්. ලංකාවේ නම් ඔය ටිප් එක අවන්හලේ හැටියට තමයි. කොහොම වුනත් බිලෙන් 5% ත් 10% ත් අතර ගණනක් ටිප් එක විදියට තියන එක ප්‍රමාණවත්.
මේ ටිප් එක දෙන එකත් ක්‍රමයක්. ඕන නම් නියම මහත්තයෙක් වගේ වේටර් මහත්තයට අතට අත දෙන ගමන් නොදැනෙන්න ටිප් එක පාස් කරන්නත් පුලුවන්. හැබැයි පහසු සහ ගැලපෙනම විදිය තමයි බිලත් එක්ක ටිප් එක මේසේ උඩින් තියලා එන එක. එහෙම නැතුව අවන්හලේ ඉන්න දෙනෝදාහක් සෙනඟ ඉස්සරහ පිට “ආ මල්ලි ඔයා මේක තියාගන්න” කියලා වේටර් මල්ලිට සල්ලි දෙන එක කැතයි!
ඇත්තටම මේවා කියෙව්වට පස්සේ හිතෙනවද රෙස්‍ටුරන්ට් එකකට යන එකත් කරදරයක් කියලා? එහෙම නෑ. ඇත්තටම මේ වැඩි හරියක් උපදෙස් එදිනෙදා ජීවිතේදී පවා තියෙන්න ඕන හොඳ පුරුදු. දැන් සිරිපාල වුනත් මේ දේවල් කරලා කරලා පුරුදුවෙලා ඒවා ඉබේම සිද්ධ වෙන තත්ත්වෙට ඇවිත්. සිරිපාල රෙස්‍ටුරන්ට් එකකට ගිහින් කෑම කන එකට වඩා මැනර්ස් ගැන හිත හිතා, බය වෙලා, රොබෝ කෙනෙක් වගේ ඉන්නෙ නෑ. සිරිපාල හරි විදියට හැසිරෙන ගමන්ම හොඳට තමන්ගේ වෙලාව අරගෙන කාලා බීලා සතුටු වෙලා එන්නේ. ආන්න ඒ නිසා: බී ලයික් සිරිපාල!
Cover Image Source – lifie graphics
Leave a Reply