කැම්පස් යන්ඩෝනි ලොකු මිනිහෙක් වෙන්ඩෝනි කියලා හීන දකින්න පටන් ගන්නේ පහ වසරේ සිස්සත්වේ ගොඩ ගියාට පස්සේ. දොස්තර වෙන්න ඕනි ඉන්ජෙක් වෙන්න ඕනි කියලා චූටි පැටව් ඒ කාලේ කියන්නේ කැම්පස් කියන්නේ කන දෙයක් ද බොන දෙයක් ද කියලවත් අවබෝධෙකින් නම් නෙවේ. ඕ ලෙවල් කාලෙදී පොඩි අයිඩියා පාරක් වැටෙනවා කැම්පස් ගැන. එහෙම තැනකට යන්න නම් මහන්සි වෙන්න ඕනි කියලත් තේරෙනවා. ඒ ලෙවල් කරන්න ගත්තා කියන්නේ කැම්පස් ගැන සතර දෙසින් හැම නිතරම ඇහෙන්න පටන් ගන්නවා කියන එකයි. අම්මා තාත්තාගෙන් පටන් ගත්තම ගුරුවරු, නෑදැයෝ, යාළුවෝ ඔක්කොම කැම්පස් ගැන එක එක කතා කියන්න පටන් ගන්නවා. සමහර කතා නම් ඇත්තමයි කතන්දර විතරයි.
1. විභාගෙට එන ඒවා කලින් කියනවා
ඉහ මොළ රත් කරගෙන පිස්සුවෙන් වගේ ඒ ලෙවල් නෝට්ස් පාඩම් කරන කාලෙට ගම් දනව් සිසාරා සුවාසක් සිසුන්ව කූල් කරගෙන වැටුණ වැස්සක් වගේ තමයි මේ කතාව. මේක රහ කර කර කිව්වේ ටියුෂන් මාස්ටර් තමයි. ඉතින් කට්ටිය කැම්පස් එන්නේ විභාගෙට කලින් පේපර් එකට එන ඒවා ආචාරී කෙනෙක් ඇවිත් කියාවි කියලා හිතාන. අන්තිමට පේපර් එකට එන ඒවා කියන්න තියා උගන්නන්නවත් කෙනෙක් නැති වෙන අවස්ථා තියනවා. භාගයක් දෙනා ඉහළ සාමාර්ථ අරගෙන ගොඩ යන්නයි අනික් ටික දෙනා හොම්බෙන් යන්නයි විදියක් නෑනේ ඉතින් එන ඒවා කලින් කිව්වා නම්. කොහෙද ඉතින්.
2. ඇති තරම් නිදහස තියනවා
මෙහෙම හිතාගෙන කැම්පස් ආපු අයට ආව දවසේ ඉඳන් අසයින්මන්ට්ස්, ප්‍රසන්ටේෂන්, එක්සෑම් වගේ දේවල් සෙට් වෙනවා. අලුත් නිදහසක් හොයන් කැම්පස් ආවාට ඒ ලෙවල් කාලේ තිබුණ නිදහසින් හතරෙන් එකක්වත් මෙතන නැතේ කියලා තේරෙනකොට පරක්කු වැඩී. හැබැයි කැම්පස්වල හරියට නිදහස ගැන කතා කරනවා. කයිවාරු වැඩි තැන ක්‍රියාවක් වෙන්න තියන ඉඩ ගොඩක් අඩුයි. කැම්පස් ඇතුළේ නිදහසට තියෙන ප්‍රායෝගික අර්ථකථනය ගැන ලොකු අවුලක් තියනවා.
3. පරම පූජනීය ප්‍රේමයට සෑහෙන තැනක්
ආදරේ කරන්න බලන් කැම්පස් ආපු අයත් ඉන්නවනේ. සින්දු අහලා, චිත්‍රපට බලලා ඉතින් ඊට පස්සේ ‘ඕනි තරම් ලව් කර කර ඉන්න පුළුවන් කවුරුත් බලන්නෙවත් නෑ’ කියන කතන්දරේ අහලා කැම්පස් ඇවිත්, මොරාල් එකෙන් ඉන්නකොට තේරෙනවා මෙතන එහෙම අමුතු දෙයක් නෑ කියලා. සාමාන්‍ය සමාජයකම තවත් එක හරස්කඩක් විතරයි. ලව් කරනවා කවුරුත් බලන්නෑ කිව්වට කෙල්ලට පැණි හලන සහෝදරයෙක් පඳුරක් අස්සට වෙලා මොකක් හරි අංචියක් අදිනවා. කැලෑ පත්තර වදිනවා. දාහක් කතන්දර යාළුවෝ අතර කියැවෙනවා. ඊළඟට ගම්වලින් ආපු අහිංසක කෙල්ලෝ කෙළවගන්නවා. කොල්ලෝ බීමට ඇබ්බැහි වෙනවා. ඔය අතරේ කීප දෙනෙක්ට සරසවි ප්‍රේමය අතිසාර්ථක වෙනවා. ඒ කීප දෙනා ගැන විතරක් සමාජය කතා වෙන නිසා ඇත්ත යට යනවා.
4. ජොබ අතේ
උපාධිය දෙන්නේ නිකන්. ඒ කිව්වේ උපාධියක් පෞද්ගලික තැනකින් කරනවා නම් ලක්ෂ ගාණක් යනවා. ඉතින් ඒ උපාධිය අවසානයේ රජයෙන් ම රස්සාවත් හොයලා දෙයි කියලා හිතන එක හෙනම බබා පාර්ට්. ඒක එහෙමයි කියලා හිතන්න පුරුදු කළේ ඒ ලෙවල් කාලේ. රස්සාවකට යන්න අවශ්‍ය කරන මගපෙන්වීම නම් එකෙන් ම ලැබෙනවා. රැකියා පොළවල් සහ තවත් එක එක වැඩමුළුවලට සහභාගි වෙලා හොඳ සුදුසුකම් ටිකක් එක්ක එළියට ආවොත් නම් ජොබ අතේ තමයි.
5. කැන්ටින් කෑම දිව්‍ය භෝජනයක්
මේක කියන්නේ කලින් කැම්පස් ගිහින් ඉවරවෙලා තාමත් ඒ ලෝකේ ඉන්න අහිංසක වැඩිහිටියෙක්. කැම්පස් කාලේ ජීවිතේට ආදරේ වැඩි වුණාම මේ වගේ දේවල් කියවෙනවා. එතකොට ඒවා අහන් ඉන්න පොඩි වුන් මේ කියන දේවල් සීරියස් අරන් දිව්‍යභෝජන කන්න බලන් කැම්පස් එනවා. අන්තිමට පොල්සම්බලේ පොල් නෑ ලුණුමිරිසේ ලුණු නෑ.
6. ප්‍රශ්න ඇත්තෙම නෑ. ජීවිතේ විඳින්නේ මෙතන දී විතරයි.
ප්‍රශ්න පටන් ගන්නේ මෙතෙන්ට ආවමයි. හීන ගොඩක් එක්ක කැම්පස් ආවාම ඒ හීනත් එක්කම වයසට යන්න වෙනවා. කැම්පස් වහනවා හිටපු ගමන්. අන්න එතකොට ගෙවල්වල ගිහින් හතර වටේට කට්ටියගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න වෙනවා. මහපොළ වගේ ශිෂ්‍යාධාර හැමෝටම ලැබෙන්නේ නෑ. බෝඩින්වලට යන්න වෙනවා. ඉතින් මූල්‍ය ගැටලු එනවා. විෂයන් සම්බන්ධෙන් පරිපාලනමය ප්‍රශ්න තියෙනවා. ඒත් එක්කම ජීවිතේ විඳින කෑල්ලකුත් තියෙනවා. ඒත් ඒ ලෙවල් කාලේ බන්දේසියක් උඩින් තියලා දෙනවා කිව් තරමේ ජීවිතයක් නම් එතන නෑ.
7. අපිටත් වඩා හොඳ ගුරුවරු එතන ඉන්නවා
ටියුෂන් මාස්ටර් මෙහෙම කිව්වම හිතෙන්නේ අපේ පස්සෙන්ම ඉඳලා ඒ වෙනුවෙන්ම ඇප කැප වෙච්ච ආචාර්‍ය මඩුල්ලක් මෙතන ඇතැයි කියලා. හැබැයි කැම්පස් ආවාමයි තේරෙන්නේ මෙතන ඉගෙනගන්නවා කියන්නේ තනි ගේමක් කියන එක. සමහර ආචාර්‍යවරු ලෙක්චර් එකට එන්නෙත් නෑ. අපිට තනියම දැනුම හොයාගෙන යන්න තියන තැනක් තමයි කැම්පස් එකක් කියන්නේ. අන්න ඒ නිසයි ඒකට විශ්වවිද්‍යාලය කියන්නේ.
ඔයත් කැම්පස් පොරක් නම් දෙයියන්ගේ නාමෙට පොඩි උන්ට කැම්පස් ගැන ඇත්තම කියලා දාන්න..
Cover Image Source – vozactual.com
Leave a Reply