විනාඩි 15කින් හදාගන්න පුළුවන් ලේසිම සහ රසම අතුරුපස 5ක්

15 mins Desserts

ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කරන්න අපේ ලංකාවෙ මිනිස්සු පැකිලෙන්නෙ නෑනෙ. හැබැයි ඉතින් කෑමක් දුන්නට පස්සෙ කඩෙන් ගේන අයිස්ක්‍රීම් එකක් කෙසෙල් ටිකක් වගේ දෙයකින් එහා අතුරුපස ගැන ඒ හැටි අවධානයක් යොමු කරන්නෙ නෑ. ඒකට ලොකුම හේතුව උයන පිහන වැඩ වලට කාලය ගියාම ආයේ අතුරුපසක් වෙනුවෙන් වැය කරන්න තරම් වෙලාව මදිකම. මේ ගේන්නෙ ඒ ප්‍රශ්නෙට විසඳුමක්. විනාඩි දහයක් පහළොවක් වැය කරල මේ වගේ රස අතුරුපසක් හදාගෙන අමුත්තන්ට පිළිගන්වන්න අපේ ගෘහණියන් අකමැති නෑනෙ. මේ අතුරුපස සකස් කරගන්න යන්නෙ උපරිම විනාඩි 15ක් විතරයි. ඊට පස්සෙ ශීතකරන්න අවශ්‍ය ඒවා නම් පමණක් ශීතකරණයේ තියන්න අවශ්‍ය කාලය වැය වෙනව. හදාගත්තට පස්සෙ ෆ්‍රිජ් එකට දාල තියන්න අමුතු මහන්සියක් නෑනෙ නේද 😉

 

1. ස්මෝර්ස් කප්ස් (S’mores Cups)

15 mins Desserts

Source – popsugar.com

මේක හදාගන්න වැය වෙන්නෙ උපරිම විනාඩි 15ක කාලයක් විතරයි. බබාලගෙ බර්ත්ඩේ පාටි වලට වගෙත් ගැලපෙන පහසු ඩෙසර්ට් එකක්.

අවශ්‍ය ද්‍රව්‍ය

  • කුඩු කරගත් ක්‍රීම් ක්‍රැකර් කප් 1 3/4
  • බටර් කප් 1/2
  • කුඩු කරගත් සීනි මේස හැඳි 2
  • චොකලට් චිප්ස් හෝ කැබලි කරගත් කුකින් චොකලට් කප් 1
  • උඩින් දැමීමට මාශ්මෙලෝව්ස් අවශ්‍ය පමණ

 

  1. අවන් එක සෙල්සියස් 160ට ප්‍රී හීට් වෙන්න දාගන්න. ඒ අතරතුර භාජනයකට බටර් ටික දාල, ලිපේ තියන් යන්තම් රත් කර දිය කරගන්න. වෙනම භාජනයකට කුඩු කරගත් සීනි සහ ක්‍රීම් ක්‍රැකර් එකතු කරගෙන, ඒකට දිය කරගත් බටර් ටික දාල ගෑරප්පුවකින් හොඳට මිශ්‍ර කරගන්න.
  2. බටර් තවරාගත් මෆින් ට්‍රේ එකක් ගෙන, මේ මිශ්‍රණයෙන් කොටස බැගින් එක් කර අතින් තද කර ලේයර් එකක් දාගන්න. ප්‍රී හීට් කරගත් අවන් එකට මෆින් ට්‍රේ එක දාල විනාඩි 10ක් බේක් කරගන්න.
  3. අවන් එකෙන් එලියට ගත් විගසම චොකලට් චිප්ස් ටික බිස්කට් තට්ටුව උඩින් දාගෙන ඒකට උඩින් මාශ්මෙලෝව් තියල නැවත අවන් එකට දාගන්න. මාශ්මෙලෝව් උඩ දුඹුරු පාට වෙනවිටම අවන් එකෙන් ඉවත් කරගන්න.

2. චොකලට් මූස්

15 mins Desserts

Source – marthastewart.com

ලේසියෙන්ම හදාගන්න පුළුවන් චොකලට් මූස් එකක්. චොකලට් මූස් වලට ආස නැත්තෙ කවුද නේ…?

අවශ්‍ය ද්‍රව්‍ය

  • විපින් ක්‍රීම් 500g
  • කුකින් චොකලට් 250g
  • වැනිලා තේ හැන්දක්
  • අවශ්‍ය නම් අයිසින් සීනි මේස හැඳි 2

 

  1. විපින් ක්‍රීම් ටික භාජනයකට දමා, ලිප තබා රත් කරගන්න. වටෙන් පුංචියට බුබුලු මතු වෙන කොටම චොකලට් ටික එකතු කරගෙන, හෑන්ඩ් විස්ක් එකකින් චොකලට් දියවෙන තුරු හොඳින් විස්ක් කරගන්න.
  2. එයටම වැනිලා එක් කර ලිපෙන් ඉවත් කර චොකලට් භාජනය වතුර භාජනයක් ඇතුලට දමා නිවෙන්න තියාගන්න.
  3. චොකලට් භාජනයට වඩා චුට්ටක් කුඩා භාජනේකට අයිස් කැට සහ අයිස් වතුර පුරවාගෙන චොකලට් භාජනය ඒමත තබාගන්න. (චොකලට් භාජනයේ අඩිය අයිස් වල ගෑවිය යුතුයි)
  4. බීටරයකින් මේ මිශ්‍රණය හොඳින් බීට් කරගන්න. බීටරය ඉස්සුවම මිශ්‍රණයේ උඩ පොඩි කන්දක් වගේ එන තරමට බීට් උනාම ඇති. පැයක් හෝ දෙකක් ශීතකරණයේ තියාගන්න.

 

3. චීස්කේක් කුකී සැන්ඩ්විච්

15 mins Desserts

Source – spoonuniversity.com

මේකත් පොඩි දරුවන්ගෙ සාදයකට වගේ නැත්නම් වැඩි දෙනෙක් ගැවසෙන පාටියකට ෆින්ගර් ඩෙසර්ට් එකක් විදියට පහසුවෙන්ම හදාගන්න පුලුවන් ඩෙසර්ට් එකක්. විනාඩි 12ක් ඇතුළත හදාගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

  • මිල්ක් ශෝර්ට් කේක්ස් හෝ බටර් කුකීස් අවශ්‍ය පමණ
  • ක්‍රීම් චීස් කප් 1 (ඕනම සුපිරි වෙළඳ සැලකින් ලබාගන්න පුළුවන්)
  • බටර් කප් 1/2
  • දුඹුරු සීනි කප් 1/3
  • වැනිලා තේ හැඳි 1
  • කුඩු කරගත් සුදු සීනි කප් 1/2
  • මෙල්ට් කරගත් චොකලට් චිප්ස් හෝ කුකින් චොකලට් කප් 1/2
  • ස්ප්‍රින්කල්ස්

 

  1. බටර් ටික බඳුනකට දමා යන්තම් රත් කර, දියකරගෙන නිවෙන්න තියන්න. ඒකට දුඹුරු සීනි සහ වැනිලා එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න.
  2. වෙනම බඳුනක ක්‍රීම් චීස් වලට කුඩු කරගත් සීනි එක් කර හෑන්ඩ් විස්ක් එකකින් හොඳින් මිශ්‍ර කරගන්න. දැන් මේ චීස් මිශ්‍රණය බටර් මිශ්‍රණයට එකතු කරගෙන නැවත හොඳින් විස්ක් කරගන්න.
  3. කුකීස් දෙකක් ගෙන මේ මිශ්‍රණය මැදින් දමා සැන්ඩ්විච් කරගන්න. සැන්ඩ්විච් කරගත් කුකීස් ගෙන මෙල්ට් කරගත් චොකලට් වල භාගයක් පමණ ඩිප් කරගෙන ස්ප්‍රින්කල්ස් ඉස වියලෙන්නට තියාගන්න.

 

4. බිස්කට් පුඩින්

15 mins Desserts

Source – thefoodfairy.wordpress.com

විනාඩි 15න් බිස්කට් පුඩින් එකක් හදන්නෙ කොහොමද කියල හිතුන නේද? පුළුවන්, මේක ඊසි රෙසිපි එකක්. හදලම බලන්නකො ලේසිය.

අවශ්‍ය ද්‍රව්‍ය

  • මාරි බිස්කට් පැකට් දෙකක්
  • අයිසින් සීනි 200g
  • බටර් 100g
  • චොකලට් පව්ඩර් මේස හැඳි 1
  • වැනිල තේ හැඳි 1/2
  • ක්ෂණික කෝපි (නෙස්කැෆේ) මේස හැන්දක්
  • ලා රස්නෙ වතුර කප් 1
  • චොකලට් සෝස් සහ අවශ්‍ය නම් උඩින් ඉසීමට කජු

 

  1. බටර් වලට චොකලට් පව්ඩර්, වැනිලා සහ අයිසින් සීනි එකතු කර හෑන්ඩ් විස්ක් එකකින් බීට් කරගන්න.
  2. කෝපි ටික වතුර කප් එකට දමා කෝපි සාදාගෙන, එයට බිස්කට් කීපය බැගින් එක් කරමින් බිස්කට් කෝපි වල පොඟවා ගන්න. (බිස්කට් එක බෙරි වෙනකම්ම පොඟවන්න එපා)
  3. ශීත කල හැකි බඳුනකට පොඟවාගත් බිස්කට් තට්ටුවක් දමා, ඒ මතින් සාදාගත් චොකලට් අයිසින් එකෙන් තට්ටුවක් දමාගන්න. මේ විදියට මාරු කරමින් ලේයර්ස් දමාගෙන අවසානයට අයිසින් වලින්ම කවර් කරගන්න. එයට උඩින් කජු ඉස, චොකලට් සෝස් දමා සරසාගෙන පැයක් ෆ්‍රිජ් එකේ ශීතකරගන්න.

 

5. නෝ බේක් කොෆි බ්‍රව්නීස්

15 mins Desserts

Source – minimalistbaker.com

මේකට අවශ්‍ය ද්‍රව්‍ය ටික හදාගත්තම බ්‍රව්නි එක හදන්න යන්නෙ විනාඩි පහයි. මුළු කාලයම විනාඩි 15කට වැඩි වෙන්නෙ නම් නෑ.

අවශ්‍ය ද්‍රව්‍ය

  • කජු හෝ රට කජු කප් 2 1/2
  • ඇට ඉවත් කරගත් රට ඉඳි කප් 2
  • කොකෝවා පව්ඩර් කප් 3/4
  • ක්ෂණික කෝපි තේ හැඳි 1ක් හෝ 2ක් කැමැත්ත පරිදි
  • ලුණු පින්ච් එකක්

 

  1. කජු කප් 2ක් ග්‍රයින්ඩරයට දමා හොඳින් අඹරාගන්න. ඒකටම කොකෝවා පව්ඩර්, කෝපි සහ ලුණු එකතු කරගෙන නැවත ග්‍රයින්ඩ් කරගෙන බඳුනකට දමාගන්න.
  2. රටඉඳි ටිකත් තරමක් කෑලි හිටින්න අඹරාගන්න. රටඉඳි මිශ්‍රණයට කජු මිශ්‍රණය එකතු කරගෙන හොඳින් අනමින් මිශ්‍ර කරගන්න. එයටම ඉතිරි කජු කප් 1/2 කුඩා කැබලි වලට කපාගෙන එකතු කරගෙන අනාගන්න.
  3. ඔයිල් පේපර් එකක් දමාගත් ට්‍රේ එකකට දමා අතින් තද කරමින් සකස් කරගෙන, පැයක් පමණ ෆ්‍රිජ් එක සෙට් වෙන්නට හැර කැබලි කපාගන්න.

 
Cover Image Source – the-girl-who-ate-everything.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *