ලංකාවේ අපිට හොඳ පුරුදු අලුත් දෙයක් නෙවෙයි. මොකද ඒවා ගැන සෑහෙන කාලෙක ඉඳන් අපි අහනවා. පුංචි කාලේ ඉඳන් පොල්ගෙඩි අකුරුවලින් ඒ ගැන ලියනවා. එකම අවුල වුණේ මේවා ක්‍රියාවට නංවාගන්න බැරිවුණ එක. එහෙමත් නැත්නම් හොඳ පුරුදු ගොඩෙන් මොනාද කරන්න ඕනි කියලා හරියකට තෝරාගන්න බැරිවීම. මොකක් හරි එකකට පුරුදුවෙන්න නම් පටන් ගන්න ඕනි මුල්ම තැනින්. ඒ කියන්නේ උදේ කාලයෙන්. අපි දවස පටන්ගන්න ඒ වෙලාවේ පුරුදු වෙන දේවල් අපේ ජීවිත කාලෙටම බලපානවා. ඒ නිසා ඒ වෙලාවට පුරුද්දට යන්න ඉඩ දෙන්න ඕනි ඵලක් ඇති ක්‍රියාවකට විතරයි.
1. කුකුළාටත් කලින් නැගිටින්න
උදේට නැගිටින්න පොඩි අපහසුතාවක් තියෙනෝ තමයි. පොඩි කිව්වට එච්චර පොඩිත් නැහැ, ඇඳට තියලා ඇණ ගහලා වගේ. ඒත් ජීවිතයේ සාර්ථකත්වය ලබා ගත්තු බොහෝ දෙනෙක් කුම්භකර්ණ සීන් එකේ නිදාගෙන හිටපු අය නෙවේ. උදෙන් ම නැගිට්ටම දවසේ වැඩ කරන විදිය ගැන අලුතින්ම ප්ලෑනක් ගහන්න වෙලාව ලැබෙනවා. ඉගෙනගන්න අයට පාඩම් කරන්නත් හොඳම උදේ කාලෙ තමයි. ඉර එළිය ජනෙල් කවුළු අස්සෙන් අමාරුවෙන් රිංගන් එනකන් නිදාගත්තම ලෝකේ අපිව දාලා ලොකු ගමනක භාගයක් යන්නත් පටන් අරන් ඉවරයි. අපේ අම්මලා නම් උදෙන් ම නැගිටිනවා. අම්මලාගේ පුතාලා දුවලා ටිකටත් ඒත් එක්කම උදෙන්ම නැගිටින්න පුළුවන් වුණා නම් මරු.
2. ව්‍යායාම කරන්න
ඔපීසිවල මළපෙරේත දිෂ්ටියක් ගහලා වගේ ඇවිත් නිදි කිර කිර ඉන්න හාදයෝ ඉන්නවා නේද? එහෙම වෙන්නේ මෙළෝ ක්‍රියාශීලී ගතියක් නැති වුණාම. උදෙන්ම නැගිට්ටට පස්සේ පැයක් විතර මොනාම හරි ව්‍යායාමයක නිරත වෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. දාඩිය පෙරෙන්න ව්‍යායාම කරලා නාගත්තම දවසම ගොඩ. ආය ඉතින් ව්‍යායාම කියලා මහා පරිමාණ දේවල් කරන්න යන්න ඕනි නෑ. ගෙවල් පැත්තේ පොඩි රවුමක් ගහලා ආවත් මදැයි.
3. රජෙක් වගේ කන්න
දැන් අතපල්ලෙන් වැටුණ පුරුද්දක් වුණාට මේක අතීතයේ ඉඳන්ම අපේ රටේ මිනිස්සු කරපු දෙයක්. දැන් උදේට ගෙවල්වල කන්න තියෙන්නෙත් පාන් කෑල්ලක් නැත්නම් නූඩ්ල්ස් වගේ කහල ගොඩක්. බත් ඉව්වත් ඉස්කෝලේ යන්නයි වැඩට යන්නයි තියෙන අලි කුලප්පුව නිසා කාලා යන්නෙත් නැහැ. ඉතින් එතකොට සැරින් සැරේට බඩගිනි හැදෙනවා. ඒකට මළ ජරාව කාලා රටේ නැති ලෙඩ හදාගන්නවා. අලගෝනි වගේ මහත්වෙන්න ගන්නවා. පැය 8ක විතර නින්දකින් නැගිට්ටම ඇඟේ ශක්තියක් එන්න දෙයක් නැති තරම්. ඒ නිසයි උදෑසන ආහාරය ඒ තරම්ම වැදගත් වෙන්නේ. ඒ නිසා ඔක්කොටම කලින් හොඳ පෝෂ්‍යදායී කෑමක් කාලා ඉන්න.
4. ගෙදර ඈයින්ටත් අවධානය දෙන්න
උදේ කාලය තමයි දවසේ අනික් කාල සීමා එක්ක බැලුවම මහන්සිය අඩුවෙන්ම දැනෙන වෙලාව. එතකොට හිත නිදහස්. ඇඟේ දුවන ලේ ටිකත් මොන හාල්පාරුවෙක්වත් නරක් කරලත් නෑ. ඉතින් මේ වෙලාව තමන්ගේ පවුලේ සාමාජිකයන්ට ආදරය දක්වන්න යොදාගන්න පුළුවන්. අනෙක් කෙනාගේ ඇඳුම් මැදලා දෙන්න, අම්මාටම කියන්නැතුව බත් බෙදාගන්න, දවසේ තමන් කරන්න සූදානම් වෙන දේවල් ගැන අන්‍යයන් එක්ක බෙදාගන්න එක උදෑසන හොඳ පුරුද්දක්.
5. භාවනා කරන්න
විනාඩි පහක දහයක භාවනාවකින් පැය විසිහතරම සහනයක් දෙන්න පුළුවන්. ගොඩක් රෝගාබාධ ඇති වෙන්නේ මානසික ආතතිය නිසා. ඉතින් හිත නිදහස් කරන්න භාවනාව වටිනවා. හුස්ම ගැන අවධානය යොමු කරලා භාවනාවක යෙදෙන්න ආගම් භේදයක් ඕනිම නෑ. උදේ 4 ඉඳන් 6 පමණ වෙනකන් යෙදිලා තියෙනවා යැයි සැලකෙන බ්‍රහ්ම මුහුර්තය භාවනාවට ඉතාම යෝග්‍ය කාල සීමාව කියලයි කියන්නේ.
6. නිර්මාණයක් කරන්න
නිදිමත යන්නත් එක්ක චිත්‍රයක් අඳින්න නැත්නම් කවියක් ලියන්න පුළුවන්. ඇත්තටම අපේ කාර්‍යබහුල ජීවිතේ ගැන හිතුවම අපිට මෙහෙම දෙයක් කරන්න දවසේ වෙන කිසිම වෙලාවක ඉඩක් ලැබෙන්නෙත් නැති තරම්. උදේට කොහොමත් තියෙන්නේ නිර්මාණයකටම හරියන මූඩ් එකක් තමයි.
7. අන් අයට සුබ පතන්න
අපේ දවස විතරක් හරි ගියාට මදිනේ. ඉතින් අඩුම ගානේ ගුඩ් මෝනින් කිව්වත් මදෑ. ඇත්තටම ගුඩ් මෝනින් කියලා උදෑසන කාලය සුබ වෙන්න පතනවාටත් වඩා අනික් අය එක්ක හොඳහිත ඇති කරගන්න මොනාම හරි හොඳ දෙයකින් සුබ පතන්න.
Cover Image Source – pinterest.co.uk
Leave a Reply