සඳ නැති, වළාකුල් නැති, අපිට තෙරක් නොපෙනෙන හිස් අහසේ තාරුකා රැසක් දර්ශනය වේ… එහෙත් ඒ කිසිම තැනක පෘථිවිය හා සමාන ජීවයක් තිබෙන බවට මෙතෙක් සොයාගෙන සනාථ කරගෙන නැහැ. දැනට තිබෙන සාධක අනුව මේ අපි දන්නා විශ්වය තුළ අපි හුදෙකලා වෙලා. මේ පෘථිවිය තුළත් ලේසියෙන් පහසුවෙන් මිනිස්සුන්ට ළඟාවෙන්න බැරි තැන්වල මිනිස්සු බාහිර ලෝකෙන් හුදකලා වෙලා වගේ ජීවත් වෙනවා. අපි ඒ වගේ පහසුවෙන් ළඟා වෙන්න බැරි තැන්වල ජිවත්වෙන මිනිස්සු ගැන ටිකක් දැන කියාගමු.
1. ට්‍රිස්ටන් ඩ කූන්හා -Tristan da Cunha
මේක ගිනිකන්දක් නිසා ඇතිවුනු දූපතක්. බ්‍රිතාන්‍ය යටත්විජිතයක්ව පැවති මෙම දූපත අද වනවිට ස්වාධීනව පාලනය වෙනවා. මිනිසුන් 262ක් පමණ ජීවත්වෙන මේ දූපත් කිහිපයකම මුළු වපසරිය වර්ග කිලෝමීටර 207ක් පමණයි. මීළඟට තිබෙන ළඟම ජනාවාසයට මෙම දූපතේ සිට කිලෝමීටර 2000ක් පමණ ගෙවා සමුදුරු තරණය කල යුතුය. දකුණු අප්‍රිකාවේ සිට කිලෝමීටර 2400ක්ද, දකුණු ඇමරිකාවේ සිට කිලෝමීටර 3360ක්ද ඈතින් පිහිටි මෙම කුඩා දූපත් වල විශාල දූපතේ පමණක් ජනතාව ජීවත් වේ. ට්‍රිස්ටන් ඩ කූන්හා දූපත කරා යාත්‍රා කිරීමට ඇතැම් කාලවලදී දින හතක් පමණ සමුදුර තරණය කල යුතුය. මේ දූපතේ රෙස්ටොරන්ට් හෝටල හෝ ගුවන් තොට නොමැති මුත් මේ සොයා ඇදෙන අවදානම විනෝදය කරගත් සංචාරකයෝද පිරිසක් වෙති.
2. මොටුවෝ, ටිබෙට් – Motuo, Tibet
චීනයේ සිට ඉන්දියාව හරහා ගලාගොස් මහ මුහුදට වැටෙන බ්‍රහ්මපුත්‍ර නදිය ඇතැම් තැනකදී කිලෝමීටර 32ක් තරම් පුළුල් ගංගාවකි. දකුණු ආසියානු කළාපයේ ඇති විශාලතම ගංගාව ලෙස බ්‍රහ්මපුත්‍ර නදිය දැක්විය හැකිය. මෙම බ්‍රහ්මපුත්‍ර නදියේ චීන ඉන්දියානු බෝඩරයේ වෙසෙන 10,000ක පමණ වන මොටුවෝ ජනයා වර්ග කිලෝමීටර 30,500ක් තුළ වාසය කරති. එම ජනයා දැකබලාගැනීම පිණිස යන්නෝ දින හතරක් තිස්සේ ගිරි දුර්ග තරණය කරමින් පාගමනින්ම පිවිසිය යුතුවේ.
3. ඉට්ටොකොටූර්මි, ග්‍රීන්ලන්තය – Ittoqqortoormii Greenland
පිණි මුවන් කැළකගේ බලයෙන් දිවෙන කරත්තයක නැගී සිනහමුසු මුවින් පැමිණෙන නත්තල් සීයා දෙසැම්බර් සමයේදී අපේ රටේද කඩසාප්පු ඉදිරිපිට පෙනෙන්නට පටන් ගනී. එවැනි ආකාරයට බල්ලන් බැඳි කරත්ත වලින් ගමන් පහසුව සලසාගන්නා උත්තරාර්ධගෝලයේ ග්‍රීන්ලන්තයේ මෙම ජනතාව පවුල් 450ක් පමණ ග්‍රීන්ලන්ත නැගෙනහිර වෙරළේ වෙසේ. ඒ වෙරළ සීල් මසුන්, හිම වළසුන් සහ ආක්ටික් වෘකයින්ගෙන් සමන්විත සාරවත් භූමියකි. මේ අඩවියට ආසන්නතම ඊළඟ ගොඩබිම වන Nerlerit Inaat සිට හෙලිකොප්ටරයකින් පිවිසිය හැකිය.
4. ඇලර්ට් නුනවුට්, කැනඩාව -Alert Nunavut
කිලෝමීටර 800ක් පමණ උත්තර ධ්‍රැවයට ආසන්නව ඇති මේ ස්ථානය උත්තර ධ්‍රැවයේ ඉහළම ඇති ජනාවාසය ලෙස සැලකේ. මේ ස්ථානයට ශීත කාලයේදී පැය 24ක්ම හිරු උදාව පවතින අතර පෑ විසිහතරක්ම රාත්‍රිය පරිදි අඳුරේ තිබේ. පෙබරවාරි මස ඇලර්ට්හ් උෂ්ණත්වය පවතින්නේ සෙල්සියස් අංශක -33.2 සිට -50 දක්වා වේ. මෙය සැබැවින්ම ගම්මානයක් හෝ එවැනි වාසස්ථානයක් නොවේ. මෙය කාලගුණික සහ හමුදාමය කාර්යයන් සඳහා දත්ත එකතු කරන මධ්‍යස්ථානයකි. මේ ස්ථානයට අනුයුක්තව සෑම වේලාවකම හමුදා සෙබලුන් කිහිප දෙනෙකු කාර්යයේ නිරත වේ. මේ ස්ථානයට ආසන්නම මීළඟ කාලගුණ මධ්‍යස්ථානය පවතින්නේ කිලෝමීටර 700කටත් වඩා ඈතිනි. ආසන්නතම ප්‍රධාන නගරය වන්නේ කිලෝමීටර 3200ක් ඈතින් පිහිටි ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර වේ.
5. කේප් යෝක් අර්ධද්වීපය, ඔස්ට්‍රේලියාව – Cape York, Peninsula
ඔස්ට්‍රේලියාව යනු ලොව ජන ඝනත්වය අඩුම රටකි. තවමත් ගෝත්‍රිකයින් වාසය කරන කේප් යෝක් ප්‍රදේශයට පිවිසීමට ෆෝ වීල් රථයක දින හතරක ගමනක් යා යුතුය. වන සතුන් නැරඹීමටත් අනතුරුදායක සවාරි විඳගැනීමටත් ආසා කරන සංචාරකයෝ කේප් යෝක් අර්ධද්වීපය කරා ඇදී යති.
6. ඊස්ටර් දූපත, චිලී – Easter Island, Chile
තවමත් නිවැරදිව ඒවායේ නිමැවුම්කරුවන් සොයාගත නොහැකි වූ අරුම පුදුම දැවැන්ත පිළිම 900ක් ඇති ඊස්ටර් දූපතට ආසන්නතම විශාල ගොඩබිම දකුණු ඇමරිකාව වේ. ලෝකයට අභිරහසක් වූ මෙම ඊස්ටර් දූපත් චිලියේ සිට කිලෝමීටර 3700ක් දුරින් පිහිටා තිබේ. ආසන්නතම මිනිසුන් වාසය කරන දූපතට ද කිලෝමීටර 1900කට වඩා දුර ගෙවා යා යුතුය. මෙම දූපතට ළඟා වීමේ එකම මාර්ගය ගුවනින් පිවිසීම පමණි. එසේ ආසන්නතම චිලී හි සන්තියාගෝ සිට චිලී දක්වා ගුවන් ගමනටම පෑ 5ක කාලයක් ගත වේ. වර්ග කිලෝමීටර 163ක කුඩා දූපතක් වූ මේ දූපතේ මිනිසුන් 3300ක පමණ මිනිස් ජනාවාසයක් පවතී.
7. සිව ක්ෂේම භූමිය, ඊජිප්තුව – Siwa Oasis
කාන්තාරයක් මැද තනිවූ සිවන් ජනතාවට මීළඟ මනුෂ්‍ය වාසය හමු වීමට රුදුරු වැලිකතර තරණය කොට අවම වශයෙන් කිලෝමිටර 305ක් ගෙවා යා යුතුය. සිවන් ජනයාට ඔවුනගේ රට වූ ඊජිප්තුවේ කයිරෝ වෙත ළඟාවීමට කිලෝමීටර 550ක දුරක් සම්පූර්ණ කල යුතුය. මෙහි වෙසෙන ජනයාට වෙනමම භාෂාවක් තිබේ. ඔවුන්ගේ දෙවැනි බස අරාබි වේ. ජුලි අගෝස්තු මාසවල සිවන් හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 40කටත් වඩා වැඩි මට්ටමකින් නගී. ඒ පළාතම ආවේණික අරාබි සංස්කෘතියක් හිමි සිවන් ලෝකයේ අහුමුලු සොයායන සංචාරකයින් අතර ජනප්‍රිය ස්ථානයකි.
හිමාල ආදී මහා කඳුකර පළාත්වල වූ ටිබෙටයේ මොටුවෝ වැනි ගම්මාන ලෙසද, සප්ත මහා සාගරයෙන් වෙන් වූ ගිනිකඳු දිවයින් ලෙසද, උත්තරාර්ධගෝලයේ සහ දක්ෂිණාර්ධගෝලයේ අධිකතර හිම කළාප ලෙසද, කාන්තාර මැද තනි වූ කුඩා ක්ෂේම භූමි ලෙසද සාමාන්‍ය ලෝකයාට දුරස්ථ වූ මනුෂ්‍ය වාසස්ථාන පවතී. එවැනි තැන් සොයායෑම අධික වියදමක් සහ කාලයක් ගතවන වැඩක් වුවද, සිය පියවි ඇසට ලොව බහුතර මනුෂ්‍යයෝ නොදුටු දෑ මුණගස්සවන්නට කැමති සංචාරකයෝ නොයෙක් දුෂ්කරතා මැද වුවද එවැනි ස්ථාන සොයාගොස්, ඒ තැන්වල සිරිය විඳගනිති.
Cover Image Source – egyptianstreets.com
Leave a Reply