අම්මා තරම් කවුද අපිට ආදරේ? අපි අම්මගේ බඩේ ඉඳිද්දිත් ඇය කාලා තියෙන්නේ ගුණ දේවල්. අපිට කන්න දෙන්නෙත් ඒවා. නොකා හිටියම අපිව හොයාගෙන ඇවිත් කනකම් බනින්නෙත් අම්මා. ගුණ දෙයක් කන්න ළමයෝ කියලා කොයිවෙලෙත් කියන අම්මට සප්‍රයිස් එකක් දෙන්නත් එක්ක ගුණ දෙයක් හදන්න පුළුවන්. ලේසියෙන් හදන්න පුළුවන් රස සහ ගුණ පිරුණු කෑම වර්ගයක් තමයි මැල්ලුම්. අම්මගෙන් ලකුණු ටිකක් දාගන්නත් එක්ක මැල්ලුම් හදමු.
1. කතුරුමුරුංගා කොළ මැල්ලුම

Source – helawedarala.lk
අවශ්‍ය ද්‍රව්‍ය
- කතුරුමුරුංගා කොළ
- රතුළූණු
- අමුමිරිස්
- ගාගත් පොල්
- උම්බලකඩ
- ලුණු
- තෙල්
සාදාගන්නා ආකාරය
- කොළ ටික හොඳින් හෝදලා වතුර බේරුණාට පස්සේ හීනියට ලියාගන්න ඕනි (පෑනෙන් නෙවේ පිහියෙන්). ඒකට කපාගත්තු රතුළූණුයි අමුමිරිසුයි උම්බලකඩයි එකතු කරනවා.
- ඊට පස්සේ පෑන් එකක් අරන් තෙල් චුට්ටම චුට්ටක් දාලා, රත්වෙනකොට ඒකට ගාගත්තු පොලුයි ලුණුයි දාන්න තියෙන්නේ. පොල් ටික මැලවේගෙන එනකොටම අපේ කොළ මිශ්‍රණය දාලා මද ගින්නේ මලවගන්න.
- රහ වැඩි කරන්න කහ කුඩු චුට්ටකුයි කුරුඳු කුඩුයි එකතු කරන්න පුළුවන්.
2. මඤ්ඤොක්කා කොළ මැල්ලුම

Source – youtube.com
ඌව පළාතේ ජාතික ආහාරය මොකද්ද කිව්වොත් මඤ්ඤොක්කා කොළ මැල්ලුම කියන තරමටම ඒක ඒ පළාතේ ජනප්‍රියයි. සමහර පළාත්වල ආහාරයට ගන්නේ නෑ විසයි කියලා. පව් ඉතින්.
අවශ්‍ය ද්‍රව්‍ය
- මඤ්ඤොක්කා කොළ
- තිබ්බටු
- රතුළූණු
- වියළි මිරිස්
- ගාගත් පොල්
- ලුණු
- තෙල්
සාදාගන්නා ආකාරය
- මුලින් ම කෙටිල්ලක් තියෙන්නේ. හොඳින් පිරිසිදු කරගත්තු මඤ්ඤොක්කා කොළ වතුර ටික බේරුණාට පස්සේ වංගෙඩියේ දාලා කොටන්න ඕනි. ටිකකින් මේකට තිබ්බටු එකතු කරලා කොටාගන්න. මේ වෙලාවෙම කොච්චි කරල් කීපයක් එකතු කරොත් රහ වැඩි වෙනවා.
- ටිකකින් ගාගත්තු පොල් ටික දාලා කොටන්න. හොඳින් කෙටුණාට පස්සේ මේ මිශ්‍රණයට වතුරයි ලුණුයි දාලා පොඩ්ඩක් තැම්බෙන්න අරින්න ඕනි. වෙන මොකටවත් නෙවෙයි කොළ එකේ අමු ගතිය නැති කරන්න. ගොඩක් වෙලා තැම්බෙන්න තියන්න අවශ්‍ය නැහැ.
- වතුර ටික හිඳුන ගමන් කොළ මිශ්‍රණය වෙනත් භාජනයකට දමා ගන්න ඕනි. ඊට පස්සේ භාජනයක් ලිප තියලා, තෙල් ටිකක් දාලා, ළූණුයි වියළි මිරිසුයි දාලා බැදෙන්න අරින්න. ඊට පස්සේ කොළ මිශ්‍රණය දාලා මලවගන්නයි තියෙන්නේ.
3. ගොටුකොළ මැල්ලුම

Source – youtube.com
අවශ්‍ය ද්‍රව්‍ය
- ගොටුකොළ
- රතුළූණු
- සුදුළූණු
- අමුමිරිස්
- ගාගත් පොල්
- උම්බලකඩ
- ලුණු
- කහ
සාදාගන්නා ආකාරය
- ගොටුකොළ ටික හීනියට කපාගන්න ඕනි ඉස්සෙල්ලාම. ඊට පස්සේ ගාගත්තු පොල් ටික අරගෙන ඒකට රතුළූණු, සුදුළූණු, අමුමිරිස්, කහ සහ රස අනුව ලුණු දානවා.
- ඊටත් පස්සේ මේ දෙක එක්කහු කරලා මලවා ගන්නයි තියෙන්නේ. උම්බලකඩ ටිකක් දැම්මම පට්ට රහයි.
4. රණවරා මැල්ලුම

Source – youtube.com
රණවරා කියන්නේ අපේ ආයුර්වේදයේ නිතරම සඳහන් වෙන දක්ෂයෙක්. රණවරා කෑවාම හමේ පාට වැටෙනවාය කියලාත් කියනවා.
අවශ්‍ය ද්‍රව්‍ය
- රණවරා කොළ
- රතුළූණු
- අමුමිරිස්
- ලුණු
- ගාගත් පොල්
සාදාගන්නා ආකාරය
- රණවරා කොළ ටික හීනියට ලියාගන්න. රතුළූණු ටිකයි අමුමිරිස් ටිකයි හීනියට කපාගෙන ඒවා ගාගත් පොල් එක්ක මිශ්‍ර කරගන්න. ලුණු අවශ්‍ය පමණින් එකතු කරගන්න.
- ඊට පස්සේ මේ මිශ්‍රණයට මැල්ලුම් කොළ ටික දාලා මලවා ගන්නයි තියෙන්නේ. පස්සේ රහ වැඩි කරගන්න දෙහි චුට්ටක් දාන්න.
5. කෝවක්කා කොළ මැල්ලුම

Source – youtube.com
කෝවක්කා කියන්නේ දියවැඩියා රෝගීන්ට දිව ඔසුවක්. ඉතින් රුධිරයේ සීනි මට්ටම පාලනය කරන මේ ගුණ සපිරි ආහාරය හදාගන්න විදිය බලමු.
අවශ්‍ය ද්‍රව්‍ය
- කෝවක්කා කොළ
- රතුළූණු
- අමුමිරිස්
- ගාගත් පොල්
- ලුණු
- දෙහි
- තෙල්
සාදාගන්නා ආකාරය
- කොළ ටික හීනියට ලියාගෙන පැත්තකින් තියන්න. ගාගත් පොල් ටිකට ළූණු, අමුමිරිස්, ලුණු සහ දෙහි එකතු කරලා හොඳ මිශ්‍රණයක් හදාගන්න.
- තෙල් ටික රත් වෙන්න තියල, කොළ ටිකයි පොල් මිශ්‍රණයයි ඒකට දාල අවසානයේ මලවා ගන්න.
6. මොණරකුඩුම්බිය කොළ මැල්ලුම

Source – youtube.com
අවශ්‍ය ද්‍රව්‍ය
- මොණරකුඩුම්බිය කොළ
- රතුළූණු
- අමුමිරිස්
- ගාගත් පොල්
- ලුණු
- දෙහි
සාදාගන්නා ආකාරය
- මොණරකුඩුම්බිය කොළ ටික හීනියට ලියලා පැත්තකින් තියාගන්න. පොල් ටිකට රතුළූණු, අමුමිරිස්, ලුණු එකතු කරගන්න.
- මේ පොල් මිශ්‍රණයත් කොළත් එකතු කරලා මලවා ගන්න. අවසානයේ දෙහි එකතු කරගන්න.
7. මුගුණුවැන්න කොළ මැල්ලුම

Source – smartlady.lk
අවශ්‍ය ද්‍රව්‍ය
- මුගුණුවැන්න කොළ
- රතුළූණු
- අමුමිරිස්
- ගාගත් පොල්
- ලුණු
- දෙහි
සාදාගන්නා ආකාරය
- මුගුණුවැන්න සිහින්ව කපාගෙන ඒකට රතුළූණු සහ අමුමිරිස් එකතු කරගන්න.
- ලුණු රස පදමට දාපු ගාගත් පොල් මිශ්‍රණය කොළ එක්ක මිශ්‍ර කරලා යාන්තම් මලවා ගන්න. ඊට පස්සේ දෙහි ටිකක් එකතු කරගන්න.
ගොඩක් පළා මැල්ලුම් හදද්දී එකම විදියකුයි අනුගමනය කරන්නේ. මලවාගැනීමේ දී කොළ පාට නැති වෙන විදියට ඕනැවට වඩා තම්බලා අම්මගෙන් බැණුම් අහගන්න නම් එපා ඔන්න.
Cover Image Source – thevegetarian.yolasite.com
Leave a Reply