මේ ලෝක ස්වභාවය අනුව කෙල්ලොන්ට අනිවාර්යෙන් ලැබුන ජොබ් සෙට් එක ඇතුළේ තියෙන ලොකුම වැඩේ තමයි උයන එක. අම්මලා ආච්චිලා කියන විදිහට කෙල්ලෙක්ට ඉතින් කැමති උනත් නැතත් උයන්න නම් ඉගෙන ගන්නම වෙනවා. එහෙම නැත්නම් ඉතින් වෙන්නේ අනාගතේ දවසක වස ලැජ්ජාවකට මූණ දෙන්න. මොකද හදීසියකට පරිප්පුවක් වත් හදාගන්න බැරිනම් ඒ කෙල්ලත් හරියට පරිප්පු නැති හෝටලේ වගේ මෙළෝ රහක් නෑ. අනික ඉතින් කටට රසට කන්න කැමති කොල්ලෙක් උනත් කසාදෙට හොයන්නේ රස පදමට උයන්න දන්න කෙල්ලෙක්. හැබැයි ඉතින් සමහර කොල්ලොත් ඉන්නවා කෙල්ලට තියෙන ආදරේ නිසාම හදලා දෙන ඕනේ දෙයක් කිඹුලා කිරිමැටි ගිලින්නා වගේ ගිලලා දාලා ඇටි කෙහෙල් කෑව උගුඩුව වගේ ඉන්න. ඔය අතරේ ඉතින් වාසනාවකට වගේ තව කොල්ලෝ ටිකක් ඉන්නවා කෙල්ලව බබෙක් වගේ තියලා, උයලා පිහලා, කොල්ලගේ අතින්ම බත් ටික කවලා, වළන් පිඟනුත් හෝදලා දාන. ඔය එහෙන් මෙහෙන් කතා අතරේ අද අපි කියන්න යන්නේ කෙල්ලෙක්ට උයන එක ජොලියක් උනත් වදයක් උනත් ඕනෙම කෙල්ලෙක් උයනකොට කරන්න අකමැති වැඩ ටිකක් ගැන.
1. මට බැරිය මිරිස් අඹරන්ටා

Source – thestoveandi.com
මල් වගේ ඉන්න කෙල්ලෝ කරන්න අකමැතිම වැඩක් තමයි මේක. පොල් සම්බෝලයක්, කොච්චි සම්බෝලයක්, නයි මිරිස් සම්බෝලයක් එහෙම හදන්න වෙනවා කියන්නේ කෙල්ලොන්ට තරු පේන වැඩක්. දන්නවනේ ඉතින් රෝස පාටට තියෙන සියුමැලි අත් දෙකෙන් මිරිස් අඹරනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි කියලා. දනකොට කෙල්ලොන්ට දැනෙන අමාරුව රස කර කර කනකොට කොල්ලොන්ට දැනෙන්නේ නෑ නේ. ඒ නිසා කෙල්ලෝ මේ වැඩේට නම් ටිකක් අකමැතියි.
2. මේ කඳුළු බිංදුව මගේ නොවෙයි

Source – youtube.com
උයනකොට කඳුළු ගැන කිවුවම කතා දෙකක් නෑ ආයේ එක පාරටම මතක් වෙන්නේ ළූණු. ළූණු කපනකොට ඉතින් නාඬන මනුස්සයෙක් හම්බෙන්නේ කලාතුරකින් තමයි. ඊට වඩා ළූණු කපනකොට කඳුළු එනවා කියන්නේ කෙල්ලොන්ගේ මේකප් එකත් සවුත්තු වෙන වැඩක් නේ. කොහොම උනත් ඉතින් ළූණු කපනකොට කන්න වෙන කට්ට නිසාම කෙල්ලෝ මේ වැඩේටත් ටිකක් අකමැතියි.
3. ඉස්සන් මගුරන් ලොකු වැලි ගොවුවන් මේ දැන් අල්ලපු මාළු

Source – nationalgeographic.org
කනකොට අහලකවත් නැති අප්පිරියාවක් තමයි කෙල්ලොන්ට හදිසියේ වත් මස් මාළු උයන්න උනොත් එන්නේ. සමහරුන්ට ඒ වෙලාවට සත්තු ගැන එන්නේ මාර අනුකම්පාවක්. හැබැයි ඉතින් නිකන් වත් අම්මා උයලා පිහලා දුන්නා නම් එහෙම අනුකම්පාව කැළේ. හැබැයි ඉතින් සමහර කෙල්ලෝ ඉන්නවා මස් මාළු කන්නෙත් නැති උයන්නෙත් නැති. ඔය අතරේ ඉතින් තවත් කෙල්ලෝ ටිකකට වෙනවා තමන් නොකෑවත් අනිත් අයට හදලා දෙන්න.
4. හෝ… පොල් කඩලා ගාලා දෙන්නම්

Source – ykantiques.com
ඕනේ කෙල්ලෙක් ගෙන් අහන්න උයනකොට කරන්න තියෙන අමාරුම වැඩේ මොකක්ද කියලා. කතා දෙකක් නෑ උත්තරේ වෙන්නේ පොල් ගාන එක. ඒ තරමටම කුස්සියේ තියෙන වැඩ වලින් වාතම වැඩේ තමයි පොල් ගාන එක. හිතන්නකෝ පොල් ගෙඩිය සුද්ද කරලා බිඳලා ගාලා පොල් ටික මිරිකලා ගන්නකොට හොඳ පණ යනවා. ඇත්තම කිවුවොත් උයනවට වඩා අමාරුයි පොල් කෝස් එක. ඒකනේ කාන්තා පාර්ශවේ බටර් ටිකක් එහෙම ගාලා, මුරුංගා ගහේ එහෙම නග්ගලා පිරිමි පාර්ශවයට කියලා පොල් ටික ගාගන්නේ.
5. දෙන්න ප්රියේ දෑතට ඔය දෑත

Source – deviantart.com
තලන බටු වගේ ඒවා ඇල්ලුවම අත්වල කහට බැඳෙනවා. කහට බැඳෙනවා කියන්නේ ඉතින් ලස්සනට තියෙන අත්දෙක ටිකක් කැත වෙනවා කියන එකනේ. කොයි කෙල්ලද කැමති අත්දෙක කහට බැඳිලා අවපැහැ වෙනවට. කොල්ලට පේන්න හරි කාට පේන්න හරි කෙල්ලෝ කැමති අත් දෙක පිරිසිදුවට ලස්සනට තියාගන්න. ඒ නිසා අත්වල කහට බැඳෙන වැඩ නම් උයන වෙලාවට කෙල්ලෝ කොහොමත් කරන්න කැමති නැහැ.
6. කඩේට පලයන් චූන් චෑන්

Source – pinterest.com
මේක ගොඩක් අයට උයන්න ගියාම වෙන වැඩක්. උයන්න ගත්තම තමයි දන්නේ එක එක දේවල් ඉවර වෙලා කියලා. එක්කෝ මිරිස් ඉවරයි නැත්නම් ලුණු ඉවරයි. මේ වගේ උනාම නම් කෙල්ලොන්ට එපා වෙනවා. තියෙන දෙකින් ෂේප් වෙන්න බැරි නම් ඉතින් කඩේට යන්නම වෙනවා. ගොඩක් කෙල්ලෝ මේ වගේ වෙලාවට ගෙදර ඉන්න බාල පරම්පරාවෙන් තමයි සහය බලාපොරොත්තු වෙන්නේ. එහෙම කෙනෙකුත් ගෙදර නැත්නම් ඉතින් කෙල්ලටම තමයි කඩේට බඩගාන්න වෙන්නේ.
7. කළුම කළු කට්ට කළු ලිපේ තියෙන දැළි අඟුරු

Source – youtube.com
උයන්න එක එක ක්රම පාවිච්චි කරාට තාමත් ඉතින් දර ලිපේ උයන ගෙවල් ඕනේ තරම් තියෙනවා. ගෑස් එහෙමත් ගණන් ගිය එකේ කොහොමත් කට්ටියට අනාගතේ උයන්න වෙන්නේ ඉතින් දර ලිපේම තමයි. දර ලිපේ උයන එක ගෑස් ලිපේ උයන තරම් නම් ලේසි වැඩක් නෙවෙයි. ලිප පත්තු කරගන්න, ලිපට පිඹින්න, දැළි ගාගන්නේ නැතුව උයාගන්න මාර ගේමක් දෙන්න වෙනවා . ඒ හින්දා ඉතින් ගොඩක් කෙල්ලෝ කැමති නැහැ දර ලිපේ උයන්න. බැන්ද කාලෙක නම් ඉතින් මනුස්සයාට කන් කෙඳිරි ගාලා කොහොම හරි ගෑස් ලිපක් ගන්න පුළුවන්. හැබැයි ඉතින් ගෙදරදී නම් අම්මලා ආච්චිලත් එක්ක වෙන්නේ දර ලිපේම දුම් කන්න තමයි.
Cover Image Source – pinterest.com
Leave a Reply