වෙනස්ම රසයකට රස විඳින්න ලේසියෙන්ම හදාගන්න පුළුවන් රොටි වර්ග 5ක්

Roti recipes

බත්, පාන් වලට අමතරව ලංකාවේ අපේ ගෙවල් වල උදේට රෑට නිතර හැදෙන දෙයක් තමයි රොටි කියන්නෙ. ඉන්දියාවෙයි ලංකාවෙයි රොටි කිව්වට බටහිර රටවල රොටි වර්ග එන්නෙ ෆ්ලැට්බ්‍රෙඩ් නමින්. හැබැයි ඉතින් පොල් රොටිය, පෝෂණ රොටියෙන් එහා රොටි වර්ග ගැන අපේ ගෘහණියන්ගෙ අවධානය ඒ තරම්ම යොමු වෙලා නැති නිසා අපි හිතුව වෙනස්ම රොටි වර්ග සහ ෆ්ලැට්බ්‍රෙඩ් ටිකක් ඔයාලට කියල දෙන්න. ලේසියෙන්ම හදාගන්න පුළුවන් රොටි සහ ෆ්ලැට්බ්‍රෙඩ් වර්ග 5කුයි මේ.

 

1. බතල රොටි

Roti recipes

Source – veganricha.com

බතල වලින් වගේම අල, බීට්, කැරට් වගේ අල වර්ග වලිනුත් වට්ටක්කා වගේ එළවලු වලිනුත් හදාගන්න පුළුවන්. මේ එලවළු ජාති නොකන අයට මේව කවන්න තියෙන හොඳම විදියක් මේ.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. තම්බාගත් බතල අල හතරක්
  2. පාන් පිටි කප් 2
  3. පොල් කප් 1/2 (අත්‍යාවශ්‍ය නෑ)
  4. රස අනුව ලුණු
  5. චොප් කරගත් ළූණු, අමුමිරිස්
  6. වතුර අවශ්‍ය නම්

 

  • බතල ටික කෑලි නොහිටින්න පොඩි කරගන්න. ඒකට පිටි හැර අනෙක් දේවල් සේරම එකතු කරල හොඳින් අනාගෙන පිටි ටිකත් එකතු කරගෙන නැවත අනාගන්න.
  • රොටි පදමට අනාගන්න අවශ්‍ය නම් විතරක් වතුර ස්වල්පයක් එකතු කරගන්න. කොටස් හයකට වෙන් කරන්, බටර් හෝ පොල් තෙල් ගාගත් පිඟානක තබා තුනී කර දෙපැත්තම පුච්චගන්න.

 

2. චීසි ෆ්ලැට්බ්‍රෙඩ්

Roti recipes

Source – lifesambrosia.com

මේක පොඩ්ඩන්ට ඉස්කෝලෙ අරන් යන්න නම් කියාපු කෑමක්. ලේසියෙන්ම හදාගන්නත් පුළුවන් නිසා වැඩි මහන්සියක් නැතුවම පොඩ්ඩො ආස විදියට හදල දෙන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පාන් පිටි කප් 2
  2. බේකින් පව්ඩර් තේ හැඳි 1
  3. චීස් වෙජස් හතරක්
  4. ලුණු පින්ච් දෙකක්
  5. යෝගට් (ඩෝ එක අනාගැනීමට අවශ්‍ය පමණ)

 

  • චීස් හැර අනිත් සේරම එකට දාල හොඳට අනාගන්න. සොෆ්ට් ඩෝ එකක් එනකම් අව්ශ්‍ය ප්‍රමාණයට යෝගට් එකතු කරමින් අනාගන්න. තෙත මිරික ගත්ත පිරිසිදු රෙද්දකින් ඩෝ එක දාපු භාජනය කවර් කරල විනාඩි 15ක් තියාගන්න.
  • ඩෝ එක කොටස් හතරකට කඩල බෝල හදන්, ඒ එක බෝලයක් යන්තම් පැතලි කරගෙන චීස් වෙජ් එකක් මැදට තියල හොඳින් ඔතාගන්න.
  • බටර් තවරපු පැතලි පිඟානක මේ බෝලය තියල පරිස්සමෙන් තුනී කරන් නන්ස්ටික් පෑන් එකක දෙපැත්ත පුච්චගන්න.

 

3. මිස්සි රොටි

Roti recipes

Source – youtube.com

මේක ඉන්දියන් රොටි වර්ගයක්. ටිකක් සැරට හදාගන්න ඕන නම් ගරම් මසාල පොඩ්ඩකුයි මිරිස් කුඩු පොඩ්ඩකුයි එකතු කරගන්නත් පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පාන් පිටි හෝ ආටා පිටි කප් 2
  2. කඩල පිටි කප් 1
  3. චොප් කරගත් ළූණු, අමු මිරිස්
  4. සූදුරු ඇට තේ හැඳි 1/4
  5. අබ ඇට තේ හැඳි 1/4
  6. රස අනුව ලුණු
  7. මී කිරි කප් 1/2
  8. චොප් කරගත් කොත්තමල්ලි කොළ

 

  • සේරම ද්‍රව්‍ය එකට එකතු කරගෙන මිශ්‍ර කර හොඳින් අනාගන්න. රොටි පදමට අනාගැනීමට අවශ්‍ය නම් වතුර ටිකක් එකතු කරගන්න.
  • කුඩා බෝල 6ක් කඩා, තෙල් තවරා, රොටිය තුනී කරගෙන තෙල් හෝ ගී ටිකක් ගා ගත් තැටියක පුච්ච ගන්න.

 

4. ඔමානි එග් ඇන්ඩ් චීස් ෆ්ලැට්බ්‍රේඩ්

Roti recipes

Source – pintarest.com

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පිටි කප් 4
  2. ලුණු තේ හැන්දක්
  3. බිත්තර 5
  4. ක්‍රීම් චීස් හෝ චීස් ස්ප්‍රෙඩ් මේස හැඳි 6

 

  • ලුණුයි පිටි ටිකයි ලොකු බෝල් එකකට දාගෙන ඒකටම වතුර කප් 1ක් විතර එකතු කරන් හොඳින් අනාගන්න සොෆ්ට් ඩෝ එකක් එනකම්. තෙත මිරිකපු පිරිසිදු රෙද්දකින් වහල පැය භාගයක් පැත්තකින් තියාගන්න.
  • බිත්තර ටික කඩල බෝල් එකකට දාගෙන ලුණු ටිකකුත් එකතු කරන් ගෑරප්පුවකින් ගසාගන්න.
  • සාදාගත් ඩෝ එක කොටස් හතරකට කඩා ගෙන තෙල් තවර ගත්ත පිඟානක රවුමට තුනී කරගන්න.
  • නන්ස්ටික් පෑන් එකක් ලිපේ තියල ඒකට මේ රොටිය දාගෙන ඊට උඩින් චීස් ගාගන්න. වටේ අඟල් භාගයක් විතර තියෙන්න ඉඩ ඇරල බිත්තර මිශ්‍රණෙන් ටිකක් රොටිය උඩට වත් කරගන්න.
  • බිත්තරය හොඳින් සෙට් වෙනකම් අඩු ගින්දරේ ලිපේ තියාගන්න. රොටිය ලිපෙන් ඉවත් කරල දෙකට නවා පිළිගන්වන්න.

 

5. ග්‍රීක් ෆ්ලැට්බ්‍රෙඩ්

Roti recipes

Source – greekboston.com

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පිටි කප් 2
  2. ලුණු තේ හැඳි 1/2
  3. බටර් මේස හැඳි 3 1/2
  4. ෆ්‍රෙශ් මිල්ක් කප් 3/4

 

  • බටර් සහ කිරි එකට එක් කර ලිප තබා බටර් දිය වෙන තෙක් යන්තමට රත් කරගෙන ලිපෙන් ඉවත් කරගන්න. කිරි සහ බටර් මිශ්‍රණය පිටි වලට එක් කර එයට ලුණු එක් කර පිටි ටික අනාගන්න.
  • ඇලෙන සුළු නම් තව පිටි ස්වල්පයක් එක් කර අනාගන්න. ලන්ච් ශීට් එකකින් ඔතා පැය භාගයක් පසෙකින් තියාගන්න.
  • ඩෝ එක කොටස් හතරකට කඩාගෙන, පිටි ඉස ගත් ලෑල්ලක තුනී කරගෙන, නන්ස්ටික් තැටියක දමා එක පැත්තක් භාගෙට පුලුස්සා ගෙන අනෙක් පස හරවාගන්න.
  • හරවාගත් පසු පැතලි හැන්දකින් තැනින් තැන තද කරගන්න. බුබුළු මතු වී පිම්බී ඒ පැත්ත සම්පූර්ණයෙන් පිච්චුන පසු නැවත පළමු පැත්ත හරවා සම්පූර්ණයෙන් පුලුස්සා ගන්න.

 
Cover Image Source – rotimatic.com
 

Comments