කසාද බැන්ද ඕනම මිනිහෙක් දන්නව ඒ ලයිෆ් එක මල් මල් පාරක කන්ටිනියු කරන්න තියෙන අමාරුව. අම්මලාගෙ අත පෙවීම්, නෑයොන්ගෙ අත පෙවීම්, ළමයි හම්බුනාම ඇතිවෙන කරදර වගේ පිටස්තර බාධකත්, නහුතෙට තියෙන ඔෆිස් වැඩ, කෙයාරින් සහ ෂෙයාරින් අඩුවීම වගේ අභ්‍යන්තරික අර්බුදත් නිසා කසාද ජීවිතේ පට්ට ස්ට්‍රෙස් වෙන වෙලාවක් කොයියම්ම මොහොතක හෝ ඇතිවෙලා ඇති. දැන් ඉතිං බැඳගත්තු බෙරේ ගහපං වගේ උත්තරයක් නෙමෙයි මේ කියන්න යන්නෙ. වයිෆ් එක්ක අවුලක් නැතිව විවාහ ජීවිතේ ගත කරන්න හස්බන්ඩ් කෙනෙක් හැටියට දැනගෙන ඉන්න ඕන පොඩි කරුණු ටිකකුයි මේ කියන්න යන්නෙ.
1. තීරණ අතීසාරය

Source – yahoo.com
මේක සැලකිය යුතු අධ්‍යයනයකින් මොළේ කල්පනා කරලා ගහන්න ඕන ගේමක්. කොටිම්ම කිවුවොත් වයිෆ්ගෙන් අහන්න ඕන මොනවද? නාහන්න ඕන මොනවද? කියලයි මෙතන කියන්නෙ. අපි හිතමුකො මෙහෙම, අද රෑට කන්නෙ මොනවද කියල ඇහුවම එයා දෙන්නෙ ‘ඔයා කැමති දෙයක්’ වගේ උත්තරයක්. හැබැයි ගෙදර එළවලු ටික අපිම තෝරලා ගෙනාවොත්, ‘ඇයි බණ්ඩක්කා මෙච්චර ගොඩක්?, තුඹ කරවිල ටිකකුත් ගේන්න එපැයි’ වගේ සිද්ධි ඇතිවෙන්න පුළුවන්. කෑම බීම ගැන උනත් තීරණ බලපාන්නෙ දෙවිදියකට බව පේනවනෙ. අන්න ඒ නිසා එයාගෙන් ඇසිය යුතුදේ පමණක් අහන්න. අහන්න ඕන දේවල් ඇහුවෙ නැතොත් අවුල් වගේම නෑසිය යුතු දේවල් ආයෙ ආයෙ ඇහුවත් අවුල් බව තේරෙනවනෙ.
2. හායි මෙයාලා යනවද බායි කියාලා

Source – pintarest.com
වයිෆ්ලගෙ ජීවිතේට බලපෑම් කරන අය අතරින් එයාලා වඩා නම්‍යශීලී වන දෙපිරිසක් තමයි වයිෆ්ගෙ අම්මා සහ වයිෆ්ගෙ හොඳම යාලුවො ටික. අන්න ඒ නිසා නැන්දම්මාගේ අදහස්වලට විරුද්ධත්වයක් දක්වනවානම් හිත් නොරිදෙන විදියට වැඩේ ගොඩ දාන්න ඕන වගේම එච්චර දිරවන්නෙ නැති වුනත් වයිෆ්ගෙ යාළුවන්ටත් හායි පාර දාගෙන ඉන්න ඕන. නැත්තං ඕවා කැරකෙන්නෙ නොහිතෙන විදියට. ‘ඇයි අපෙ බෑනා අච්චර කොණ්ඩෙ වවාගෙන?’ වගේ එකක් අම්ම අහපු ගමන් වයිෆ් පරළ වෙලා එන්නෙ. එහෙමත් නැත්තං ‘මොනවද අනේ ඔයාගෙ හබියගෙ ෆේස්බුක් වෝල් එක පුරාම අරක්කු ෆොටෝස්නෙ’ කියල යාලුවො කිවුවත් එකම සෙතේමයි.
3. මේම මේම කළා

Source – pintarest.com
වයිෆ්ට පුළුවන් වෙලාවට උදවු කරන්න. දැන් ඔය හස්බන්ඩ්ස්ලා කසාද බඳින්න කලින් සල්ලි හම්බුකරලා ඒ සල්ලිවලින් බීලා දවස ගෙවුවට, කසාද බැන්දම ගෙදරටත් වියදං කරන්න වෙනවනෙ. ඉතිං තමුන්ගෙ සල්ලි ගෙදරටත් වියදං කරද්දි හස්බන්ඩ්ලා ඒක මාර ලොකු කැපකිරීමක් විදියට හිතන්නෙ. ඒ වගේම වයිෆ් එවන බඩු ලිස්ට් එක අරන් එන එකත් එයාලා හෙන ලොකුවට හිතාගෙන ඉන්නවා. එහෙමයි කියලා දවස තිස්සෙම ගෙදර නැහෙන වයිෆ්ට උදවුවක් කරාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි පුතෝ කරාට කමක් නෑ. කියවන්න යන්නෙපා. ‘මම එදා ඔයාට මේම උදවු කළා, මතකද මං ඔයාට හෑන්ඩ් බෑග් එක තිබ්බ තැනින් හොයලා දුන්නා’ වගේ මතක් කිරීම් කරන්න යන්නෙපා. හැබැයි වයිෆ් ඒ වැරැද්ද නොකරයි කියලත් හිතන්නෙපා. ඒක ගැහැණු ගතිය කියල හිත හදාගන්න.
4. නව වෙනසක්

Source – todaysparest.com
වයිෆ්ලා කැමතියි තමුන්ගෙ වැඩ ගැන හබියලා හිතනවට. ඒවට පොඩි මැදිහත් වීමක් අදහස් වලින් විතරක්වත් කරනවට. අන්න ඒ වෙලාවට එයාට එයාගෙ ආසා කරන දේවල්වල පොඩි පොඩි වෙනස්කම් කරන්න අයිඩියාස් ටිකක්, නියෝග කිරීම් විදියට නැතුව ඔප්ෂන්ස් විදියට දෙන්න. වයිෆ් උයන්න කැමතියි නං, ‘අර එදා හැදුව අල රොටිය ටිකක් දැවිල්ලට හදල බැලුවොත් නැගලා යයි නේද? අර ඔයා චිකන් බැදලා හදන ඩිෂ් එක මාළු වලිනුත් කරලා බැලුවොත් නරකද?’ වගේ ඔප්ෂන්ස් දෙන්න පුළුවන්. වයිෆ් ගෙදර ලස්සන ගැන නිතර හිතන කෙනෙක් නං, ‘ඔයා මෙතනට කාපට් එකක් ආවොත් ලස්සනයි කියල හිතන්නැද්ද? අපි කර්ට්න් රේලින්ස් වෙනස් කරමුද? ලී එකක් දැම්මොත් ලස්සනට තියෙයිනෙ.’ වගේ දෙයක් කියන්න පුළුවන්.
5. මික්ස් විනෝදේ

Source – justjerad.com
දැන් මෙහෙමනෙ. සමහරු ඉන්නව උන් ගැළපීම් කියල හිතන්නෙ දෙන්න කන්න ආසම බීට්රූට්, කරන්න කැමතිම රතුපාට මල් වවන එක, බොන්න කැමතිම සරුවත් වගේ දේවල් කියල හිතන උන්. ඔය කොහොම හිතල බැන්දත් බැන්දම තේරෙනව දෙන්නට දෙන්නගෙ වෙනස්කම් වලට හැඩගැහෙන්න සිද්ධ වෙන විත්තිය. අන්න ඒ නිසා මේ කියන්නෙ පොඩි විනෝදාංශ මික්ස් එකක් දාගන්න කියලයි. හස්බන්ඩ් යාළුවො එක්ක ඩ්‍රින්ක් එක දාන්න යද්දි වයිෆ්ගෙ මූණ නරක් වෙන එක හේතුවක් වෙන්නෙ ඒ විනෝදය තේරුම් නොගැනීමේ අවුලයි. එනිසා තමුන් කැමති ෆිල්ම් එකක් බලන්න වයිෆ්වත් සෙට් කරගන්න. ගෙදර පොඩි අඩියක් ගහනවනං ටීවී එක ඉස්සරහ නිදාගෙන බොන්නෙ නැතුව වයිෆ් එක්ක කතා කර කර බොන්න. ඔයත් ලේ පෙරාගෙන ගහගන්න ෆිල්ම් ම නැතුව දවසක් හරි වයිෆ් එක්ක ෂාරුක්ගේ ඇඬෙන ෆිල්ම් එකක් බලන්න.
6. ප්‍රයිවසිය

Source – youtube,.com
ගෑණු පිරිමි ඈයො වයිෆ් සහ හස්බන්ඩ් වුනාට පස්සෙ ඒ අයගෙ අතරට සැක සංකා ගෙනෙන තැනක් බවට පත්වෙන්නෙ ප්‍රයිවසිය කියන කාරණේ. පිරිමියෙක් තමුන්ගෙ බිරින්දෑට ඔෆිස් එකේ ප්‍රශ්න නොකියන්නෙ ඇයි? වයිෆ් කෙනෙක් කවදාවත් ඔය ප්‍රශ්න හිතලා නිකං ඉන්නෙ නෑ. තව අයට කියන්න පුළුවන්, නිතරම ඒ ගැන හිත හිත ඉන්න පුළුවන්, කොටිම්ම එයා ඒක එයාගෙ ප්‍රශ්නයක් කරගන්න ඉඩ තියෙනවා. ඒත් හස්බන්ඩ් ඔෆිස් එකේ දේවල් ගෙදර ඇවිත් නොකියා ඉන්‌නකොට වයිෆ් කෙනෙක් කෙලින්ම හිතන්නෙ මිනිහට ඔෆිස් එකේ හොර ගෑණියෙක් ඉන්නව කියල වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමුන්ගෙ ප්‍රයිවසිය රැකගන්න ගමන්ම අනවශ්‍ය ප්‍රශ්න ඇති නොවෙන තැනටත් වැඩ කරන්න. උදාහරණෙකට ‘මොකද්ද අනේ අර ආපු කෝල් එක? ඔෆිස් එකේ ප්‍රශ්නයක්ද?’ කියල ඇහුවම, ‘ආපෝ මං කතා කරන්නවත් කැමති නෑ. ඔයා ගාව නිදහසේ ඉන්න වෙලාවට ඔය වගේ මළමගුල් මගෙන් අහන්නවත් එපා මැණික’ වගේ ටෝකක් දෙන්න. දෙපැත්තම රැකෙනවනෙ.
7. සොරි!

Source – factwacts.com
විවාහ ජීවිතේ සාර්ථකව ගෙනියන්න පිරිමියෙකු විසින් තැනක් නොතැනක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් ට්‍රික් එක තමයි සොරි කියන තනි වචනෙ. වයිෆ්ලා ඉවක් බවක් නැතුව ඔහේ කියවගෙන එනවා. ඒකට හේතු තියෙනව. සමහරු රස්සාවක් නොකර ගෙදරට හිර වෙනවා එකපාරටම, සමහරුන්ට ළමයින්ගෙ ප්‍රශ්න, සමහරුන්ට අම්මලාගෙ ප්‍රශ්න, කතා කරන යාළුවො කියන්නෙත් ඒ හා සමානම ප්‍රශ්න, ෆේස්බුක් එකේ ගෑණු ගෲප්වල යන්නෙ ලෝකෙ නැති ප්‍රශ්න. ඉතිං මේවා දැක්කම ඒ මිනිස්සු ඩිප්‍රෙස් වෙන එක පුදුමයක් නෙමෙයි. එනිසා ඔහේ කියවගෙන එන්න ඉඩ තියෙනවා. ඒත් ඔෆිස් යන, යාළුවො එක්ක හැන්දෑවට අඩියක් ගහන පිරිමියෙකුට ඔය තත්ත්වෙ තේරෙන්නෙ නෑ. පොරත් අර විදියටම වයිෆ් කියන ගොන් කතාවලට රණ්ඩු කරන්න ගියොත් කසින් කසින් කස් බෝවේ, බසින් බසින් බස් බෝවේ තමයි. කියවන්න කියවන්න ගිහින් නිකං කතා ගොඩක් හැදෙනවා. ඒ කතා ලොකු රණ්ඩුවකට ලීඩ් එකක් වෙන්න පුළුවන්. එනිසා සොරි කියල කතාවෙන් ෂේප් වෙලා ගිහින් වයිෆ්ට එයා කියපු කතාවෙ වැරැද්ද තේරුම් යන්න අරින්න.
Cover Image Source – yehudadevir.com
Leave a Reply