හැන්ඩ්සම් කොල්ලෙක් වෙන්න ආසද? එහෙමනම් මේ පුරුදු 7 ජීවිතේට එකතු කරගන්න

grooming tips for men

දැන් කොල්ලෝ ගත්තොත් වර්ග තුනක් ඉන්නවා. එක කොටසක් හැන්ඩියෝ. තව කොටසක් හැන්ඩි නෑ, උන්ට ඒක අවුලකුත් නෑ. තුන්වෙනි කොටස හැන්ඩි නැහැ, හැබැයි උන් දෙන්නේ “හිතේ ලස්සන තමයි බ්‍රෝ තියෙන්න ඕන” වර්ගේ ටෝක්ස්. හරි, අපි කියනවා මෙහෙම. හැන්ඩි නැති කොල්ලෝ කියලා ජාතියක් නැහැ. ඉන්නේ හැන්ඩ්සම් වෙන්න දන්නෙ නැති කොල්ලෝ. හිතේ ලස්සන තියෙන්න ඕන තමයි. හැබැයි පිළිවෙලකට පිරිසිදුවට ඉන්න, ෆැෂනබල් විදියට අඳින පළඳින හිත හොඳ කොල්ලෙක්ට අර ‘හිතේ ලස්සන’ විතරක් ගැන හිතන කොල්ලෙක්ට වඩා ලකුණු වැටෙනවා.

හරි, දැන් පොයින්ට් එක තේරෙනවනේ. හිත ලස්සන වෙන්නත් ඕන. ලස්සනට ඇඳලා, පැළඳලා, හැන්ඩි වෙලා ඉන්නත් ඕන. දැන් මේ කියන්න යන්නේ ඇඳුම් පැළඳුම් වලට යන්න කලින් කොල්ලෙක් විදියට ජේත්තුවට ඉන්න ඇතිකරගන්න ඕන හොඳ පුරුදු කීපයක් ගැන. Grooming කියන්නේ මෙන්න මේවලට තමයි!

 

1. වලස් පෙනුමෙන් ජෙන්ටා පෙනුමට!

grooming tips for men

Source – gotchar.us

ඔව් මේ කියන්න යන්නේ කොණ්ඩෙ ගැන තමයි. ඉස්කෝලේ යන කොල්ලෙක්ට නම් ඇත්තටම කොණ්ඩේ කපන්න ඔප්ෂන්ස් ගොඩක් නැහැ. පැත්තෙන් බෙදලා පීරලා යනවා සෑහෙන කාලයක්. ඉන් පස්සේ මැද්දෙන්, පොඩ්ඩක් පැත්තෙන් බෙදන්න ගන්නවා. හැබැයි පාසැල් යන කාලේ පහු කරපු කොල්ලෙක්ට ඊට වඩා කොණ්ඩේ කපන්න, වවන්න ෆැෂන් තියෙනවා.

අපි කියන්නේ කොණ්ඩේ වැවුවත්, කැපුවත් ෆැෂන් එකකට කරන්න ඕන කියන එක. උදාහරණයක් විදියට ගත්තොත් කොණ්ඩේ වවනවා කියන්නේ ඔහේ ලඳු කැලෑවක් වැවෙන්න අරිනවා වගේ වැවෙන්න දෙන එක නෙවෙයි. කොණ්ඩේ වවලා පෝනි ටේල් එකක් දාන ෆැෂන් එකක් කරන කොල්ලෙක් වුනත් අනිවා මාසෙකට සැරයක් හෝ දෙසැරයක් – ඒ කියන්නේ තමන්ගේ කොණ්ඩේ වැවෙන වේගය අනුව- තමන්ගේ කොණ්ඩය ට්‍රිම් කරන්න වුවමනායි. දිනපතාම බැරිනම් දිනක් ඇර දිනක් වුනත් කොණ්ඩයට සාත්තුවක් කරන්න වුවමනායි. ඒ කියන්නේ නාන වෙලාවට ෂැම්පෝ ගාලා, ඉන් පස්සේ කන්ඩිෂනර් ගාලා කොණ්ඩය හෝදන එක. ඉඳලා හිටලා හරි කොණ්ඩයට හොඳ තෙල් සාත්තුවක් කරන එක. ඒ වගේම නිරන්තරයෙන් කොණ්ඩය පීරන එක. කොණ්ඩේ පීරන්න ගමනක් යනකල් ඉන්න ඕන නැහැ. ගෙදර ඉන්න ගමන් වුනත් කොණ්ඩය වුවමනා විදියට පීරන කොට කොණ්ඩය කැලේ වගේ වැවෙන්නේ නැහැ.

මෙන්න මේ විදියට කරනකොට කොල්ලෙක්ට අර වලස් කට් ගතිය ගිහින් පිළිවෙලක් එනවා.

 

‍2. රැවුලත් පීරන්න ඕනෑ මල්ලි!

grooming tips for men

Source – independent.com

උඩ බිම බලන්න දෙයක් නෑ. දැන් සෑහෙන්න කොල්ලෝ ‍රැවුල වවන ට්‍රෙන්ඩ් එකට ගිහින් හිටියත් වැඩි දෙනෙක්ගේ ‍රැවුල් හරියට ඇදේට වැවුණු ඉලුක් යායක් වගේ නිසයි එහෙම කියන්නේ. සමහරු ඉන්නවා ‍රැවුල කපන්නේ උඩු ‍රැවුල හැපෙන ලෙවල් එකට වැවුණට පස්සේ. රැවුල ෆුල් ෂේව් කිරීම, ට්‍රිම් කිරීම හෝ සම්පූර්ණයෙන් වැවීම ගැටළුවක් නෙවෙයි. හැබැයි ‍රැවුල නිකම්ම වැවෙන්න දෙන එක ෆැෂන් එකක් නෙවෙයි. රැවුල හොඳින් සෝදන්න වුවමනායි. සෝදලා ආවට පස්සේ බියර්ඩ් ඔයිල් එකක් ගාන්න වුවමනායි. ඉන් පස්සේ හොඳට පීරන්න වුවමනායි. මේක දිනපතාම කරන්නත් වුවමනායි. එතකොට සති දෙකකට සැරයක්වත් වවන ‍රැවුල වුනත් ගාණට බෙල්ලේ සීමාව, කම්මුලේ සීමාව කපන්නත් වුවමනායි. මෙන්න මේ විදියට කරනකොට ‍රැවුල වැවෙන්නෙත් නීට් එකට.

එතකොට ෆුල් ෂේව් කරන මල්ලිලාත් දිනපතා ‍රැවුල බෑම නොකළත්, දවස් කීපයකට සැරයක් හෝ ‍රැවුල බෑම කරන්න වුවමනායි.

 

3. මෑන්ස්කේපිං පුතා මෑන්ස්කේපිං!

grooming tips for men

Source – thegentlemensplaybook.com

නෑ ලෑන්ඩ්ස්කේපින්ග් ගැන නෙවෙයි මේ කියන්නේ. හැබැයි ඊට සමාන දෙයක් ගැන. මෑන්ස්කේපින්ග් කියන්නේ අපේ ශරීරයේ අනං මනං තැන්වල අනං මනං විදියට වැවිලා තියෙන රෝම ඉවත් කරන එක, නැතිනම් පිළිවෙලකට කපන එක. මොනවද මේ තැන්?

සමහරුන්ගේ පිටේ, පපුවේ, කකුල් වල, අත් වල එහෙම සෑහෙන්න ඝනව රෝම කූප වැවෙනවා. ඒක එච්චර ලස්සන දර්ශනයකුත් නෙවෙයි. අන්න එතකොට මේ වැඩිමනත් රෝම කූප ට්‍රිම් කරන්න වෙනවා. සමහරු කෙලින්ම වැක්ස් කරලා ඉවත් කරනවා. හැබැයි අපි කියන්නේ කොල්ලෙක්ගේ ඇ‍ඟේ පොඩ්ඩක් රෝම තිබුණට කමක් නැහැ කියලා. ඒ නිසා ගාණට ට්‍රිම් කරන විකල්පය හොඳයි.

ඊළඟට කණේ මයිල් සහ නහයේ මයිල්! අන්න ඒ කණේ සහ නාසයේ වැවෙන රෝම කූප ඉවත් කරන්නත් නෝස් ට්‍රිමර් එකක් පාවිච්චි කරන්න පුලුවන්. ඒත් මේ ගැටළුව එන්නේ ගොඩක් වෙලාවට ටිකක් වයස්ගත වෙනකොට. ඒ ඇරෙන්න මාසයකට දවසක් වත් ඇහිබැමේ වැඩිමනත්ව වැවිලා තියෙන රෝම, ඇහිබැම දෙක අතර රෝම ට්වීසර් එකකින් ඉවත් කරන එක සුදුසුයි.

 

4. දත් මැදලා නියපොතුත් මදිමු!

grooming tips for men

Source – independent.co.uk

දත් මදින එක නොකරන අය නැති තරම්. හැබැයි දත් වලට නියම සාත්තුවක් දෙන කොල්ලෝ නම් නැති තරම්. කතාව මෙහෙමයි. උදේට විතරක් නෙවෙයි, රෑටත් දත් මදින්න ඕන. දත් මදින අතරේම අනිවාර්යයෙන්ම දිව මදින්නත් ඕන. නිදිමතේ එහාටයි මෙහාටයි බුරුසුව යවලා කට හෝදගෙන එන්නේ නැතුව තමන්ගේ වෙලාව අරගෙන හොඳින් දත් මදින්න ඕන. දත් දුර්වර්ණ වෙලා තියෙනවා නම් ගොඩ වෙදකම් නොකර දන්ත වෛද්‍යවරයෙක් මුණගැහෙන්නත් ඕන. ඒ වගේම මුව නැවුම්ව තියාගන්න මවුත් වොෂ් එකක් එහෙම භාවිතා කරන එකේ කිසි වැ‍රැද්දක් නැහැ.

සාමාන්‍යයෙන් කොල්ලෙක් නියපොතු කපන්නේ තමන්ට වැඩ කරන්න කරදරයක් වෙන තරමට නියපොතු වැවුනහම තමයි. එතකොට ඊටත් කලාතුරකින් තමයි කකුලේ නියපොතු කපන්නේ. ඇයි කකුලේ නියපොතු පේන්නේ නැහැනේ. හැබැයි ඉතින් කකුලේත්, අතේත් නියපොතු පේන අවස්ථා ඕනෑ තරම් එන්න පුලුවන්. අන්න එතකොට ඒවා මනාව පිරිසිදු කරලා, කපලා තියෙන එක තමයි තමන්ගේ පෙනුමට හොඳ. මැනික්‍යු, පෙඩික්‍යු වගේ රූපලාවණ්‍ය ක්‍රම තියෙන්නේ ඒවා පාවිච්චි කරන්නනේ. මූලිකවම තමන්ගේ අත් සහ පා පිරිසිදුව පවත්වා ගන්න වුවමනායි. නියපොතු සාමාන්‍යයෙන් පේන තරමට වැවීගෙන එනකොට කපන්න වුවමනායි. කකුලේ නියපොතු කියලා අත ඇරලා දාන එක හරියන්නේ නෑ.

 

5. දිනපතාම නාන්නත් ඕනෑ!

grooming tips for men

Source – GQ.com

මෙන්න අපේ අයියලට කරන්න අමාරුම වැඩේ. දිනපතාම නාන එක. මේක කම්මැලියන්ට නං අමාරු වැඩක් තමයි. හැබැයි ශාරීරික පිරිසිදුකම ගැන හිතන කෙනෙක්ට අවුලක් තියෙන දේකුත් නෙවෙයි. නානවා කියන්නේ මෙන්න ෂවර් එක, ඔන්න මම ඇ‍ඟේ වතුර කියලා තත්පර තිහෙන් නෑම ඉවර කරන එක නෙවෙයි. ඇ‍ඟේ වැඩිපුර කුණු ‍රැ‍ඳෙන තැන් අතුල්ලලා හොඳට නා කියා ගන්න එක. සමට හිතකර සබන් වර්ගයක් පාවිච්චි කරන්න පුලුවන්. කොණ්ඩෙට කරන්න ඕන දේවල් කලින් කිව්වනේ. බොඩි වොෂ් එකක් පාවිච්චි කරනවා නම් ඒත් හොඳයි. මූණට ෆේස් වොෂ් එකක් පාවිච්චි කරනවා නම් ඒත් හොඳයි. ඕන නම් ‍රැවුලටත් බියර්ඩ් වොෂ් එකක්ම පාවිච්චි කරන්න පුලුවන්. මේවා තමන්ගේ සමට ගැලපෙන විදියට ගන්න ඕන.

එතකොට නාන වෙලාවට වුනත් විශේෂයෙන්ම කකුලේ විලුඹ හොඳින් පිරිසිදු කරගන්න වුවමනායි. එතකොට කකුලේ පහල පි‍ටුපස සහ සමහර වෙලාවට ඉදිරිපස ප්‍රදේශයත් ගොඩක් වෙලාවට කොල්ලෙක්ට මතක් වෙන්නේ නෑ. අන්න ඒ නිසා සතියකට සැරයක් අනිවාර්යයෙන්ම මේ ප්‍රදේශ හොඳින් අතුල්ලලා පිරිසිදු කරගන්න ඕන.

දිනපතාම නාලා දවස පටන් ගන්නකොට තියෙන ෆ්‍රෙෂ් ගතිය මින්ට් ටොපියකින් ගන්න බෑ බ්‍රෝ!

 

6. හරියට මූණ හෝදගන්නත් ඕනෑ!

grooming tips for men

Source – baldingbeard.com

උදේ නෑවට දවස පුරා වැඩ කරනකොට ආයෙමත් ඇ‍ඟේ කුණු දූවිලි එකතුවෙනවනේ. විශේෂයෙන්ම මුහුණ ප්‍රදේශය පරිසරයට නිරාවරණය වෙන නිසා මුහුණේ කුණු දුහුවිලි එකතු වෙනවා. ඉතින් ඒකට කරන්න තියෙන්නේ මූණ සෝදන එක. ඒ කීයන්නේ පැයකට වරක් නෙවෙයි. ඒත් අඩු තරමින් වැඩ අවසන් වෙලා ගෙදර ආවට පස්සේ ඇඟ පත හෝදගන්න අතරේ මුහුණ හෝදන්න ඕන. නින්දට කලිනුත් මුහුණ හේදුවට කමක් නෑ. දැන් මේ මුහුණ හෝදන එකත් පොඩි ආට් එකක්. ඇල් මැරුණු රස්නේ වතුරෙන් මුහුණ සහ බෙල්ල හොඳින් හෝදගන්න පුලුවන් නම් හොඳයි. ඒකට පාවිච්චි කරන්න හොඳ සබන් නෙවෙයි, ෆේස් වොෂ්. සබන් පාවිච්චි කරනවා නම් විශේෂයෙන්ම සමට හිතකර විදියට හදපු ෆේෂල් වොෂ් සබන් කැටයක් තමයි හොඳ. ගාලා, සම මතුපිට රවුමට රවුමට මෘදුව පිරිමැදලා, හොඳින් සෝදා හරින්න ඕන.

 

7. වට දෙකක් දුවලා, යකඩ උස්සලා, හරියට කාලා, වතුරත් බොමු!

grooming tips for men

Source – mansjournal.com

අන්තිමට කියන්න වෙන්නේ ආයෙමත් කම්මැලියෝ ලොවෙත් කරන්න අකැමැති වැඩ කීපයක්. එකක් තමයි සතියකට දවස් පහක් හෝ හයක්වත් ඇඟට පොඩි ව්‍යායාමයක් කරන එක. හොඳ ශරීර හැඩයක් තියෙන කෙනෙක් නම් දවසට පැය බාගයක් ඇවිදින්න ගියත් ඇති. එහෙම නැතුව ඇඟ වැඩි හාදයෙක් හරි, ඇ‍ඟේ හැඩය හදාගන්න වුවමනා හාදයෙක් හරි නම් ජිම් එකක් පැත්තේ ගිහින් වර්ක් අවුට් එකක් එහෙම කරලා දවස පටන් ගත්තට කාරි නෑ. මුලදී අමාරුයි. හැබැයි පහුවෙනකොට ඒකත් මාර ආතල් එකක් වෙනවා.

දෙවෙනියට හරියට කන බොන එක. ඒ කියන්නේ ඇඟ වැඩි හාදයෙක් නම් ඩයට් ප්ලෑන් එකකට යන එක හොඳයි. ඇඟ අඩු හාදයෙක් නම් ඒත් හොඳ ඩයට් ප්ලෑන් එකකට යන එක හොඳයි. ඇඟ ඕකේ හාදයෙක් නම් ඒත් ඉතින් ඩයට් ප්ලෑන් එකකට යන්න ඕන. වැරදියට තේරුම් ගන්න එපා. ඩයට් කරනවා කියන්නේ නොකා නොබී හාමතේ ඉන්න එක නෙවෙයි. හරි විදියට කන එක. හැබැයි දිනපතාම එළුවෙක් වගේ කොළ කකා ඉන්න වුවමනාත් නැහැ. ඉඳලා හිටලා කොත්තුවක්, බර්ගර් එකක් කෑවට කිසි අවුලක් නෑ. හැබැයි හැමදාම කන්නෙ ඒවා නම් අන්න ඒක කචල්.

තුන්වෙනියට බොන එක. ඔවු, සැර ජාතියක් වුනත් ඉඳලා හිටලා බිව්වට අපි කිසිම දෙයක් කියන්නෙ නෑ. හැබැයි පුතාලා දිනපතාම දෙයියනේ කියලා වතුර බොන්න ඕන. අඩු තරමින් දවසට වතුර ලීටර් දෙකක්වත් බොන්න ඕන.

මේ අන්තිමට කියාපු දේවලුත් හැන්ඩි කොල්ලෙක් වෙන්න විතරක් නෙවෙයි, සෞඛ්‍ය සම්පන්න ‍ෆිට් කොල්ලෙක් වෙන්නත් සෘජුව බලපානවා.

බලනකොට ඔය උඩින් කියපු දේවල් කරන්න ලොකු අමාරුවක් නැහැනේ. ඔව්, කම්මැලියන්ට අමාරුයි තමයි. හැබැයි ඇත්තටම පෙනුමේ වගේම ජීවිතේ වෙනසක් කරගන්න ආස කරන කොල්ලෙක්ට තියෙන්නේ ඔය දේවල් හිතලම ටික කාලයක් කරන එක විතරයි. දන්නෙම නැතුව ඒවා ජීවන චර්යාවේ කොටස් වෙනවා. අද බලපු නැති කෙල්ලෝ වුනත් හෙට හැරිලා බලයි!

Cover Image Source – manhair.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *