උඩ ගිහින් කෑම්ප් කරලා නයිටක් අදින්න පුලුවන් සුපිරි කඳු 7ක් මෙන්න

Camping Hills

කෑම්පින් කියන්නේ වෙනමම චාරිකා අත්දැකීමක්. හොඳ හෝටලයකට ගිහින් හොඳට කාලා බීලා විනෝද වීමට වඩා කටුක වුවත් කෑම්පින් කියන්නේ ජීවිතයේ වරක් හෝ ලබාගත යුතු අත්දැකීමක්. අපේ රට වර්ග කිලෝමීටර 65,610ක් තරම් කුඩාතර දිවයිනක් වුවත් අපිට කඳු මුදුනක් උඩ කෑම්ප් එකක් ගහලා සුපිරිම අත්දැකීමක් ගන්න කියාපු කඳු රැසක් රටේ හතර දිග්බාගයෙන්ම හමුවෙනවා. රට මැදට වෙන්නටම පිහිටා ඇති කඳුකරය නිසා රටේ ඕනෑම පළාතක අයෙක්ට පැය කිහිපයක ගමනකින් කඳුකරය කරා පැමිණෙන්නටත් ලංකාවේදී හැකියි. ලංකාව මෙන් 117 ගුණයකටත් වඩා විශාලතර ඔස්ට්‍රේලියා මහද්වීපයටම ඇති උසම කන්ද මීටර 2228ක Mount Kosciuszko කන්ද වේ. ඒ අනුව කඳු අපිට නම් බස්රියක පැයක් දෙකක් ගිය තැන හමුවන අත්දැකීමක් වුනාට ලෝකේ සමහර පළාත්වලට කඳු යනු බොහෝ දුර්ලභ අත්දැකීමකි.

 

1. මානිගල කන්ද

Camping Hills

Source – amila chathuranga

මාතලේ සිට රිවස්ටන් පසුකර යනවිට තෙල්ගමු ඔය ආසන්නයේ මානිගල පිහිටා තිබේ. මහලකොටුව ඇටන්වල ගම් පසුකරමින් මානිගලට යන පාර වැටී තිබේ. මෙම කන්ද පැය දෙක තුනකින් නැගිය හැකි කන්දකි. ඉහළ පිහිටා ඇති සමතල වටපිටාව කෑම්ප් කරන්නට කදිම තැනකි. මෙහිදී ඉහළ කෑම්ප් කරන විට සියලුම දේ පහළ සිට රැගෙන යා යුතුවේ. මී හරකුන් රාත්‍රියට කූඩාරම අසලට පැමිණ තප්පුලන්නට පටන් ගැනීම නිසා ඇතැම්විට කූඩාරම් තුළ සිටින අය බියපත් වේ. උදෑසන රිවර්ස්ටන් ඇතුලු දුම්බර කළාපයට හිරු උදාවෙන අයුරු මානිගල කෑම්ප් කිරීමෙන් දැකගත හැකිය.

 

2. බලංගොඩ පෙට්ටිගල

Camping Hills

Source – amila chathuranga

බලංගොඩ යනු කඳු යායකින් වට වූ කදිම නගරයකි. බලංගොඩ සිට පෙට්ටිගලවත්ත දක්වා යන කුඩා බසයකි. එහි ගොස් හෝ වාහනයකින් ගොස් අවසානයේ පෙට්ටිගල නැගීම ආරම්භ කල හැකිය. පෙට්ටිගල යන එක් මාවතකදී බොහෝ දුරක් දොළ පාරක් ඔස්සේ ඉහළට ගමන් කල යුතුය. මේ පෙට්ටිගල නැගි මුල්ම කණ්ඩායමක් ගූගල් මැප්ස් හි දැක්වෙන එහි මුදුනේ ඇති ගල් තලාව සොයාගෙන ගොස් තිබේ. තේ වතු යායක් ඉහළින් ඇති මෙම පෙට්ටිගල මුදුනේ කුඩා දියකඩිත්තකින් ජලය ලබාගත හැකිය. ඌරන් සිටින නිසා කණ්ඩායමක් යනවිට ශබ්ද කර හෝ ඌරන් පළවා හැරීමට ක්‍රමයක් සොයාගත යුතුය. රාත්‍රී කාලයේ ඌරකු පැමිණ කිහිප වතාවක්ම ශබ්ද කලේ යැයි එහි ගිය එක් කණ්ඩායමක සටහනක දැක්වුනි. මෙහිදී කූඩාරම් ඉදිකරගන්නට වන්නේ ගල්තලාව මතය. ගල්තලාව මත ඉදිකරගත හැකි කූඩාරමක් රැගෙන යෑම වඩාත් පහසුවකි.

 

3. හාවාගල

Camping Hills

Source – amila chathuranga

බලංගොඩ බෙලිහුල්ඔය පිහිටි හාවාගල දැන් සබරගමු විශ්ව විද්‍යාල සිසුන් ගේ ප්‍රියතම ගමනකි. පේරෙට හන්තාන නම් සබරෙට හාවාගල යන මට්ටමට හාවාගල ජනප්‍රිය තැනකි. බලංගොඩ සිට හැටන් දක්වා යන බසයෙන් ගොස් හාවාගල මුදුනට වැඩි නැග්මකින් තොරව නැගිය හැකිය. එසේත් නැතිනම් බෙලිහුල් ඔය තානායම අසලින් ඉහළට ගොස් බෙලිහුල් ඔයේ පාන්තුඩ ඇල්ල අසලින් ඉහළට යෑමෙන්ද හාවාගල මුදුන සොයාගත හැකිය. හාවාගල බෙලිහුල් ඔය අන්තයෙන් නගින්නේ නම් පාර සොයාගත හැකි ගයිඩ් වරයෙකු අවශ්‍ය වේ. හාවාගල මුදුන සමතල වන අතර එහි වැසි කලට නම් ජලය ලැබෙන වතුර වලවල් ද වේ. එහෙත් වැසි රහිත කලෙක ජලය සහ සියලුම අඩුම කුඩුම රැගෙන කෑම්ප් කිරීමට යන්නේ නම් මනාය.

 

4. පිටමාරුව ලෝකාන්තය

Camping Hills

Source – amila chathuranga

ලෝකාන්තය ලෙස හඳුන්වන හෝටන් තැන්නේ මහා බෑවුම අසල කඳවුරු බැඳීම කල නොහැකිය. එහෙත් තේ වත්තක පිහිටා ඇති මඩොල්සිම පිටමාරුව ලෝකාන්තය ආසන්නයේ කඳවුරු බැඳීම පහසුවෙන්ම කල හැකිය. මෙහි ඇති එක් වාසියක් නම් රථයකින් මේ පිටමාරු ලෝකාන්තය අසලටම යා හැකි වීමයි. පිටමාරුව ලෝකාන්තය තුළින් මීදුම ඉහළට විදින දර්ශනය මනරම් දර්ශනයකි. පාන්දර හාත්පස බෑවුමට කෙමෙන් කෙමෙන් ඉර උදාවන ආකාරයද පිටමාරුව ලෝකාන්තය අසලදී දැකබලාගත හැකිය.

 

5. නාරංගල

Camping Hills

Source – lakshan rathnakumara

ඌව පළාතේ උසම කඳු අතරින් දෙවන ස්ථානය ගන්නා නාරංගල නැගීමට පහසු කන්දකි. එහි මුදුනත චෛත්‍යයක් පිහිටා ඇති අතර එයින් මදක් දුරින් කඳවුරු අටවාගත හැකිය. හාත්පස අලංකාර භූමි දර්ශන ගණනාවක් නෙතට හසුවන නාරංගල එතරම් ප්‍රකට නැති වුවත් බදුල්ල සීමාවේ ඇති සුන්දරතම ගිරි හිසකි. බදුල්ලට ගොස් කන්දෙගෙදර තංගමලේ දේවාලය යන මාර්ගයෙන් නාරංගල වෙත පිවිසිය හැකිය. මෙහිදීද මුදුනේ ජල පහසුව නොමැති අතර කඳවුරු බැඳීමට අවශ්‍ය සියලු කළමනා රැගෙන යාම කල යුතු වේ.

 

6. නමුණුකුල

Camping Hills

Source – lakshan rathnakumara

ලංකාවේ උසම කඳු අතරින් 14 වන ස්ථානයේ තිබෙන නමුණුකුල වෙත පිවිසුම් මාර්ග කිහිපයකි. මෑත කාලීනව ඒ මුදුනේ පූජනීය ස්ථාන ඉදිවීම නිසා එහි යන සංචාරකයින් වැඩි වී තිබේ. නමුණුකුල සංවේදී පරිසර පද්ධතියක් ඇති කඳු තලාවකි. ඒ ආසන්නයේ මීදුම ගැලූ විට මැවෙන්නේ සුන්දර දර්ශනයකි. නමුණුකුල මුදුනේ පැරණි ළිඳක් තිබෙන මුත් එහි ජලය පිරිසිදු නැත.

 

7. කෑල්ලබොක්ක මුදුන

Camping Hills

Source – amila chathuranga

කෑල්ලබොක්ක වතුයාය මුදුනේ ඇති බැලුම් ස්ථානය වාහනයකින්ම ගොස් කෑම්ප් කල හැකි කෑම්පින් වලට පහසු තැනකි. එහි මුදුනතටම වාහනයකින් ළඟාවිය හැකිය. එය සෙම්බුවත්ත වැවට ඉහළින් තිබෙන කන්දකි. එයට ගොම්බානිය ඇතුළු නකල්ස් සීමාවේ තිබෙන උස කඳු රැසක් මැනවින් දිස් වේ. එතැන දේවාලයක ඉදිකිරීම් තිබෙන අතර කෑම්පින් වලට අවශ්‍ය ජලයද පහසුවෙන් සපයාගත හැකිය. වැසිකිලියක්ද ඉදිකර ඇති නිසා කඳවුරු වලට යන ආධුනික අයට කදිම ස්ථානයක් ලෙස කෑල්ලබොක්ක මුදුන දැක්විය හැකිය.

 

කඳවුරු බඳින්නන් ගේ වගකීම

Camping Hills

Source – amila chathuranga

කවර පරිසර පද්ධතියකට වුවද එකවර මිනිසුන් දහයකට වඩා ඇතුළු වූ විට එතැන ඇති ස්වභාවික පරිසරය බිඳ වැටේ. විශාල නඩ වශයෙන් කෑම්ප් කිරීමට යාම නිසා අවට ගම්වැසියන්ගේ ද බලධාරින්ගේ ද විරෝධතා එල්ල වූ සිද්ධීන් පසුගිය කාලයේ ආරංචි විය. එසේම කඳවුරු බැදීම අවසානයේ එතැන කසල එකතු නොකර නැවත සියල්ලම රැගෙන ඒමත් කඳවුරු බඳින අයගේ වගකීමකි. අප රට මිලියන 20කට අධික ජනකායක් සිටියද අපිට ඇති භූමිය ඉතා සීමිතය. එබැවින් තිබෙන අලංකාර ස්ථාන රැකගැනීම අප සතු යුතුකමකි. අපිට පෙර සිටි පරම්පරාවේ අය තේ වැවීමට සහ ජනාවාස ඉදිකිරීමට නොගෙන එම ස්ථාන ආරක්ෂා කරගත් නිසා අපිට අද ඒ කමනීය මුදුන් වල කඳවුරු බැඳ ස්වභාව සෞන්දර්යය විඳීමට අවස්ථාව ලැබී තිබේ. එම ස්ථාන කසල දමමින් අපවිත්‍ර කර මීළඟ පරම්පරාවට කසල ගොඩවල් ලෙසින් බාර නොදී, හැකි පමණ ඒ තැන් රැකගැනීම අප හැමගේම වගකීමකි.

 
Cover Image Source – pintarest.com / twitter.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *