වයසට යන්න යන්න කඩවසම් බව වැඩි වුණ ඉන්දීය සුපිරි නළුවෝ 7දෙනෙක්

Bollywood Actors Who Aged yet handsome

ලංකාවේ අපි බොක්කෙන්ම ෆුල් හින්දුස්ථානි වුණේ ක්‍රිකට්වලටත් වඩා සිනමා කරුමාන්තය නිසා. එතනදිත් වැඩි සම්මාදම දුන්නේ රඟපාපු මිනිස්සු මිසක් කතා සාරය නෙවෙයි. මොන තරම් අභව්‍ය කතාවක් වුණත් අම්මටසිරි වෙන්න තරම් ප්‍රබල රංගන ශෛලියක් ගොඩක් ඉන්දීය චිත්‍රපට නළුවෝ ගාව තිබුණා. කොල්ලෙක් ලස්සන වෙන්න පටන් ගන්නේ 30 පැන්නම කියලා කියනවනේ. ඉන්දියාවේ සිනමාවට සෑහෙන දායකත්වයක් ලබා දුන්න, වයසට යන්න යන්න රූප සම්පත්තිය වැඩි වුණ, හිත්වල හැමදාමත් රඟන ඉන්දීය නළු පිරිසක් ගැනයි මේ ලියමන.

 

1. ෂාරුක් ඛාන්

Bollywood Actors Who Aged yet handsome

Source – gqindia.com

මේ පුරුෂ රත්නය නොදා අහවල් ලිස්ට් ද මහත්තයෝ. 1965 අවුරුද්දේ උපන්න ෂාරුක් කන්නන්ගරට දැන් වයස 52ක්. ඒ කියන්නේ අපේ තාත්තලාගේ වයස. ඒත් අදටත් රිදී තිරයේ පෙම්වතාගේ චරිතය රඟපාන්නේ අවුරුදු 20ක 25ක කොල්ලෙක්ටවත් බැරි විදියකට. 2000 අවුරුද්ද විතර වෙනකන් ෂාරුක් ඛාන්ගේ රූප සොබාවයි ඊට පස්සේ ඒකට වුණ අරුම පුදුම වෙනසයි ඒ කාලවකවානුවල තිබුණ චිත්‍රපට එක්ක සසඳලා බලන්න පුළුවන්. Deewana (1992) චිත්‍රපටයේ රාජායි Chak De! India (2007) චිත්‍රපටයේ කබීරුයි එක්කෙනෙක් නෙවේ දෙන්නෙක් කියලා හිතෙන තරමට වෙනස් වෙලා. වෙනස් වෙලා කියන්නේ ඉතින් තවත් කඩවසම් වෙලා. හැමදාටම සිහින කුමාරයා තමයි.

 

2. ආමීර් ඛාන්

Bollywood Actors Who Aged yet handsome

Source – youtube.com

අනෙක් අමරණීය ඛාන් තමයි ආමීර් ඛාන්. ආමීර්ට දැන් 53ක්. ඒත් ෂාරුක්ටත් වඩා මොකක්දෝ තරුණ ජවයක් ආමීර් තුළ තියෙනවා. වයසත් එක්කම ඔහුගේ රූපය වගේම තෝරගත්ත චරිත වුණත් ඇස් උඩ යන ඒවා කියලා Dangal (2016), PK (2014) චිත්‍රපට බලපු අය දන්නවා. ප්‍රේමවන්තයාගේ චරිතයෙන් මිදිලා ඊට වඩා යමක් කරන්න පුළුවන් චරිත භාරගෙන තියෙන්නේ රූපයේ පරහක් නිසා නම් නෙවේ. ලෝකයක් පිස්සු වට්ටපු Pehla Nasha සින්දුව තියෙන Jo Jeeta Wohi Sikandar (1992) චිත්‍රපටයයි Ghajini (2008) සසඳලා බැලුවොත් පෙනේවි වයින් වගේ වයසට යන එක මොන වගේ දෙයක්ද කියලා.

 

3. සුනිල් ෂෙට්ටි

Bollywood Actors Who Aged yet handsome

Source – theasianpost.com

මිනිස්සු පට්ට බයයිනේ වයසට යන්න. මොකද එතකොට හකු පෑදිලා, නහර වේලිලා ගිහිල්ලා, ඇඟ වැරහැළි වෙලා හෙන හත්තිලව්වක් වෙනවනේ. ඒත් සුනිල් ෂෙට්ටි වයසට ගියපු විදිය ගැන හිතනකොට බයකට වඩා වයසට යාම ගැන පුදුමයක් හිතෙන්නේ. සුනිල් ෂෙට්ටිට දැන් වයස 56යි. Balwaan (1992) චිත්‍රපටයේ අර්ජූන් සින්ග් එක්ක බලනකොට A Gentleman (2017) චිත්‍රපටයේ කර්නල් විජේ සක්සේනා වෙනම පුද්ගලයෙක්. 2017 දී සුනිල් ෂෙට්ටි කරපු ෆොටෝෂූට් එකක් තියෙනවා බැලුවම අනේ අපිටත් මෙහෙම වයසට යන්න තියෙනවා නම් කියලා හිතෙන විදියේ.

 

4. ආර්. මාධවන්

Bollywood Actors Who Aged yet handsome

Source – filmbeatwallpaper.com

ලේසියෙන් කොල්ලෙක්ට කියුට් කියලා කියන්නෑනේ. විශේෂයෙන්ම චිත්‍රපට නළුවෙක්ට. හැබැයි කාලයක් හිනාවෙන් වගේම රංගනයෙනුත් කාගෙත් සුකිරිබටිල්ලා වුණ කියුට් නළු තැන තමයි මාධවන්. මාධවන්ට දැන් වයස 47යි. අර කියුට් තැන ඉඳලා වයසට යන එකත් එක්ක මාධවන් තනිකර මාචෝ කොල්ලෙක් වෙලා. මනි රත්නම්ගේ Alaipayuthey (2000) චිත්‍රපටයේ කාර්තික් විදියට මාධවන් අන්න අර කියුට් ටයිප් එකේ. හැබැයි 2017 අවුරුද්දේ ආපු Vikram Vedha, Magalir Mattum බලපු අය දන්නවා දැන් මෙයාට කියුට් කියාගෙන ගියොත් දතුත් නැතුව තමයි එන්න වෙන්නේ කියලා.

 

5. ආක්ෂේ කුමාර්

Bollywood Actors Who Aged yet handsome

Source – dnaindia.com

1967 අවුරුද්දේ උපන් ආක්ෂේට දැන් වයස 50යි. නමුත් තාමත් ප්‍රේමවන්තයාගේ වගේම සටන්කරුවාගේත් චරිත බය නැතුව භාරගන්නේ වයසට යන එක ගැන බයක් නැති නිසා කියලා එක පාරක් ඔහු කියලා තියනවා. Saugandh (1991) චිත්‍රපටයේ “මල් කොල්ලෙක් මං” සීන් එකේ හිටියට Rustom (2016), Brothers (2015), Holiday (2014) වගේ චිත්‍රපටිවල කඩවසම් පරිණත බවක් දකින්න තියෙනවා.

 

6. අර්ජූන් රාම්පාල්

Bollywood Actors Who Aged yet handsome

Source – scoopwhoop.com

අර්ජූන් රාම්පාල් 2001 අවුරුද්දේ Pyaar Ishq Aur Mohabbat චිත්‍රපටයෙන් කරළියට එනකොටම බලන් ඉන්න අපේ බඩවල සමනල්ලු ඇවිස්සෙන විදියේ ලුක් එකක් තිබ්බා. හැබැයි එදා හිතුණේ නම් නෑ කාලය අර්ජූන්ව දැන් ඉන්න තරමේ කඩවසම් බවකට ඇදලා දාවි කියලා. අර්ජූන්ට දැන් වයස 45යි. ලොකු දුවලා දෙන්නෙක්ගේ ආදරණීය තාත්තා කෙනෙක්. ඒත් තාත්තා කෙනෙක්ගේ පාටක්වත් රූපය දැක්කාම පේන්නේ නැහැ. Rock On (2008), We Are Family (2010), Heroine (2012) වගේ චිත්‍රපටි මොහුගේ කඩවසම් බවට සාක්ෂි.

 

7. රිතික් රෝෂන්

Bollywood Actors Who Aged yet handsome

Source – freepressjournal.com

අයියෝ මෙයා වයස නැහැනේ. මේ වගේ ලිස්ට් එකකට අහවල් දේකට දැම්මද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් මුල් කාලීන චිත්‍රපටයි දැන් ඒවයි බලනකොට කාලය කරලා තියෙන හාස්කම තේරේවි. 1974 උපන්න රිතික් රෝෂන්ගේ වයස අවුරුදු 44යි. Kaho Naa… Pyaar Hai (2000) චිත්‍රපටයේ රඟපානකොට රිතික් අවුරුදු 26ක කිරිකජු කොල්ලෙක්. ඒත් ෆිල්ම්ෆෙයාර් ඇතුළුව සම්මාන උළෙලවල් කීපයකම හොඳම නළුවාට හිමි සම්මානය ලබා ගන්නවා. ඔහොමින් කොහොමින් හරි Kites (2010), Zindagi Na Milegi Dobara (2011), Agneepath (2012), Bang Bang! (2014) වගේ චිත්‍රපටවලින් වයසට යන එක මරු ඕයි කියලා පණිවිඩයක් දෙන්න තරම් ඔහු සරාගී කඩවසම් අයෙක් වෙනවා. ඇත්තටම පිළිමවලට අඹපු ග්‍රීක පුරාවෘත්තවල එන චරිතයක් තරමටම රිතික් රෝෂන් දැන් කඩවසම්.

 
Cover Image Source – filmfare.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *