ලිංගිකත්වය ගැන සියුම් ලෙස කතාකරන සිංහල ගීත 10ක්

Adult themed songs

ලිංගිකත්වය කියන්නේ කලාවෙන් ඈත් කරලා තැබිය යුතු අමුතු කුණුහබ්බයක් නෙමෙයි. ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය වගේය කියලා සමහර දැන උගත්තු කියල තිබ්බට, අපිට ලිංගිකත්වය ඈත් කරල ප්‍රේමය ගැනවත් කතා කරන්න බැහැ.

අපි අද කියන්න යන්නෙ ලිංගිකත්වය සියුම් ලෙස ඇතුළත් කරල තියන අපේ සිංහල ගීත කිහිපයක් ගැනයි. මේ සමහරක් ගීත වල අර්ථයන් පිළිබඳව විවිධ අය තුළ පරස්පර මති මතාන්තර තියනවා. ඒ නිසා මේ ගීත ගැන ඔබේ පෞද්ගලික අදහසත් අපි සමග කමෙන්ටුවකින් බෙදාගන්න කියලා අපි ඉල්ලනවා.

 

1. වක්කඩ ළඟ දිය වැටෙන තාලයට

 

ගායනය- පණ්ඩිත් අමරදේව

ගී පද – මහගමසේකර

සමහරු කියනවා මේ ගීතයෙන් කියවෙන්නෙ පරිසර වැනුමක් එක්ක දිගහැරෙන ගම්බද ආදරයක් ගැනය කියලා. එහෙම වුණත් මහගමසේකරයන් සහ පණ්ඩිත් අමරදේවයන්ගේ සුසංයෝගයෙන් බිහිවුණ මේ ගීතයේ වෙනත් අර්ථයක් දකින අයත් බහුලව ඉන්නවා. ඒ අය කියන්නේ මේ ගීතය ඇතුළේ ලිංගිකත්වය මතු කෙරෙන යෙදුම් කිහිපයක්ම තියනවා කියලයි. මේ ගීතයේ එක තැනක එනවා ‘තුන් දවසක් අමනාපෙන් සිටි කළු නෝක්කාඩු බැල්මෙන් බැලුවා’ කියල කොටසක්. මේ තුන් දවස කියන එකෙන් අදහස් කරන්නේ කාන්තාවන්ට මාස් ශුද්ධිය සිදුවන දින ගණන බවටත්, ඒ දින තුන ඇතුළතදී තමන්ගෙ පෙම්වතියට වෙනදා තරම් සමීප වෙන්නට ඉඩක් නොලද පෙම්වතෙක්ගේ සිතුවිලි මේ ගීයෙන් නිරූපණය වෙන බවටත් සමහරු මත පළ කරනවා.

 

2. සිරි යහනේ ලණු ඉහිරී

ගායනය- එඩ්වඩ් ජයකොඩි

ගී පද – ලූෂන් බුලත්සිංහල

ප්‍රේමයක් හෝ කාන්තා පහසක් නොලබාම ගෙවීයන තමන්ගේ තරුණ වයස ගැන දුක්වන පුද්ගලයෙක්ව තමයි මේ ගීතයෙන් මවන්නේ. තනිකම, දරිද්‍රතාවය වගේම කාන්තාවක් එබී නොබැලූ ජීවිතේක තියෙන අපිළිවෙල මේ ගීතයෙන් මැවෙන්නෙ අපේ හිතේ මේ පුද්ගලයා කෙරෙහි සානුකම්පිත හැඟීමක් ඇති කරමින්. ‘යහන් තලා සැප’ උරුම නොවීම ගැන සිතින් කනස්සලු වෙන මේ පුද්ගලයාගේ මනසට වගේම සිරුරටත් වද දෙන යට ලීයෙන් මැවෙන නාරිලතා මල් ගැනත් මේ ගීයෙන් කියවෙනවා. ඒ සමගින් මැවෙන්නේ තනි වූ පිරිමි සිරුරක් විඳින ලිංගිකමය ප්‍රහර්ෂයේ මොහොතක් බවටත් කෙනෙක්ට සැක කරන්න පුළුවන්.

 

3. අපෙ හැඟුම් වලට

ගායනය – වික්ටර් රත්නායක

ගී පද – ප්‍රේමකීර්ති ද අල්විස්

නීතියෙන් බැඳෙන බැඳීම් වගේම, නීතියෙන් නොබැඳුනත් බැමි ලිහී නොයන බැඳීමුත් අපේ ජීවිත වල තියෙන්න පුළුවන්. මේ ගීතයෙන් කියවෙන්නේ එහෙම බැඳීමක එක් මොහොතක් ගැනයි. තමන්ගේ හිත් වල හැඟීම් වලට මොහොතකට වහල් වෙලා, සමාජයේ ඇස් වලට හොරෙන් හමුවෙන පෙම්වතුන් දෙන්නෙක් ගැනයි මේ ගීතයෙන් අර්ථ ගැන්වෙන්නේ. සමාජය විසින් පළන්දපු ඇස් කණ්නාඩි වලින් බැලුවොත් අනියම් ප්‍රේමයක්, අසම්මත ප්‍රේමයක් හැටියටත් කෙනෙක්ට මේක හඳුන්වන්න පුළුවන්. ඒ විදිහෙ පෙම්වතුන් දෙන්නෙක් එකිනෙකාගෙ ප්‍රේමය සහ උණුසුමේ අතරමං වෙන මොහොතක් ගැනයි මේ ගීයෙන් ගැයෙන්නේ.

 

4. පුන්සඳ රෑට ඇවිදින්

ගායනය – නිරෝශා විරාජිනී

ගී පද – රත්න ශ්‍රී විජේසිංහ

නිරෝශා විරාජිනී ගයන මේ ගීතයේ සමහර යෙදුම් වලට නොයෙකුත් ලිංගික අර්ථයන් දීපු අවස්ථා දකින්න ලැබෙනව. මේ ගීතයේ පුන් සඳ යන්නෙන් අදහස් කෙරෙන්නේ සැමියාගේ අනියම් බිරිඳක් බවටත්, මී අඹ කන්න එන ගිරවුන් කියන්නේ කාන්තාවගේ සොර සැමියන්ට බවටත් අර්ථ දක්වන අය ඉන්නවා. ඒ අර්ථ දැක්වීම් වල ඇති සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් මේ ගීතයෙන් කියවෙන්නේ සැමියා සමග ලිංගිකව එකතු වන්නට ඉඩක් නොලබන, ඒ හින්දාම දරුවන් නැති කාන්තාවකගේ සිතුවිලි බවට තමයි මේ ගීතයේ රචක රත්න ශ්‍රී මහතා කියන්නෙ.

 

5. මිනිසා මරණ තුනක් ඇති

ගායනය – අමරසිරි පීරිස්

ගී පද – ලූෂන් බුලත්සිංහල

1989 වර්ෂයේදී තිරගත කරපු සිරිමැදුර චිත්‍රපටයේ එන මේ ගීතය අදටත් ජනප්‍රියයි. නොඉඳුල් තරුණියක් දෙස රාගයෙන් මුසපත් දෑසින් බලන, ඇයව සිතින් නිරුවත් කරන පුද්ගලයෙකු ගැනයි මේ ගීතයෙන් විග්‍රහ වෙන්නේ. ගීතයේ සමහර පද පේළි වෙන වෙනම ගත්කලත් ලිංගික අර්ථයන් මතු කරනවායැයි හිතන්න පුළුවන් අවස්ථා තියනවා. ‘පියුම් කැකුළක් තුඩින් පාරා බලෙන් පුබුදන හංසයා’ කියන්නෙ එවැනි එක් පද පෙළක්.

 

6. හෙමින් සැරේ පියා විදා

ගායනය – ටී. එම් ජයරත්න/සුනිලා අබේසේකර

ගී පද – ධර්මසේන පතිරාජ

හංස විලක් චිත්‍රපටයේ අනියම් ප්‍රේමයක දර්ශන එක්ක මුසු වෙලා තමයි මේ ගීතය වාදනය වෙන්නෙ. සුමුදු සයනයේ සිනිදු ඇතිරිළි මතින් උපදින ප්‍රේමයේත් අනුරාගයේත් සංවේදී මොහොතක් ගැනයි මේ ගීයෙන් විස්තර වෙන්නේ. කාන්තාවකගේ ලාලිත්‍යයත්, ප්‍රේමයත්, උණුසුමත් පතන පිරිමි ශරීරයක් සහ හිතක්, ඒ දෙදෙනාගේ එක්වීමේ අනුරාගී මොහොතක දිග හැරීමත් එක්ක ගීතය ගලායන්නේ අසන්නන්ගේ සවන් මුසපත් කරවමින්.

 

7. වැහි පබළු සැලී

ගායනය – සුරේන්ද්‍ර පෙරෙරා

ගී පද – උපුල් ශාන්ත සන්නස්ගල

සුන්දර යුවතියක්ව දැක්ක තරුණයෙක්ට ක්ෂණිකව හිතේ ඇය ගැන ආකර්ෂණයක් ඇති වෙන එක සාමාන්‍ය සංසිද්ධියක්. මේ සමහර මල් කොතරම් සුන්දර වුනත් ඒවාට ළං වෙන්නට, සුවඳ සොයන්නට බඹරුන් බයයි. ඒ වගේ අවස්ථාවක ඒ අය කරන්නේ මේ මල ගැන තියන සුන්දර මතකය රාත්‍රී සයනයේ සිහින අතරට ගෙන එන එකයි. මේ ගීතයේදී තමන්ගේ හිත ගන්නා විදිහේ තරුණියක්ව මග තොටේදී දකින තරුණයෙක් ඇගේ රුව ඇස් වලින් හොරාගෙන හිතේ සටහන් කරගන්නවා. ඒ රුව තමන්ගේ තනි සයනයේදී සිහිනයක් වගේ ආවර්ජනය කරමින් සිතින් මෙන්ම ශාරීරිකවද සුව විඳින බවට ඉඟි මේ ගීතයේ තිබෙනවා.

 

8. කුමරියක පා සළඹ සැලුනා

ගායනය – පණ්ඩිත් අමරදේව

ගී පද – කේ. ඩී. කේ ධර්මවර්ධන

පිරිමි හිතකට දැනෙන අනුරාගී සිතුවිලි එක්ක වන සටනක් ඉතාම ලස්සන පද රචනයක් හැටියට එළිදැක්වූ අවස්ථාවක් තමයි මේ ගීය. තවුස්දම් පුරන තරම් නිවුණු සිතැති පුද්ගලයෙක්ගේ මනසක වුනත් රාගී හැඟුම් මතු කරන්නට කාන්තාවකගේ පැවැත්ම ගැන සියුම් ඉඟියක් සමත්. ගීතයේ සිටින පුරුෂයාගේ සිතේ අනුරාගී හැඟුම් කැළඹෙන්න පටන් ගන්නේ කාන්තාවකගේ පාසළඹකින් නැගෙන හඬක් ඇසීමෙන්. ඒත් සමගම ඔහු තමන්ගේ හැඟීම් එක්ක පොරබදන ආකාරය ගීතයේ අවසානය දක්වා බොහෝම සංයමයකින් විස්තර කරන්න ගී පද රචකයා සමත් වෙලා තියනවා.

 

9. හිම දියවී හිමාලයේ

ගායනය – අමරසිරි පීරිස්/වසන්තා තිලකාංගනී

ගී පද – ධම්මික බණ්ඩාර

රාධා ක්‍රිෂ්ණා පෙම් පුවත ඇසුරින් නිර්මාණය කරන ලද ඉතාම ශෘංගාරාත්මක පද ගෙත්තමකින් තමයි මේ ගීතය සැදිල තියෙන්නේ. තමන්ගේ ප්‍රේමයත් එක්ක සීතල පරිසරයක තනිවූ මොහොතක ඒ දෙසිතෙන් මතුවන රාගාන්විත සිතුවිලිත්, ඔවුන්ගේ අනුරාගී ආලිංගනයනුත් ඉතාම ශෘංගාරාත්මක විදිහට මේ ගී පද වලින් වෑහෙනවා. ඒකට හොඳ උදාහරණයක් තමයි ගීතයේ එන මේ කොටස…

ක්‍රිෂ්ණා-

සිනා රැළි නගා උතුරන

ඔය හදවත් නීල ජලාසේ…

පීණන මේ ස්වර්ණ හංසයෝ…

අකීකරුද මෙතරම් රාධා

රාධා-

ඉඩ දී දෙන්නට දඩුවම්

දෑස පියා ගන්නම් ක්‍රිෂ්ණා…

 

10. මුදු මුහුණේ සුව දැනුනේ

ගායනය – කරුණාරත්න දිවුල්ගනේ/ දීපිකා ප්‍රියදර්ශනී

ගී පද – මහින්ද දිසානායක

ප්‍රේමය උත්කර්ෂයට නගන්න හැමෝම වගේ කැමතියි. තමන්ගේ හිත බැඳුණු ප්‍රේමයක අතීතය, වර්තමානය වගේම අනාගතයේදීත් හිමිකාරයා තමන් පමණක් වෙනවානම් එයටත් බොහෝ දෙනෙක් කැමති වේවි. එහෙත් යථාර්තයට මුහුණ දීමේදී මේ කියන දේවල් ඒ හැටියටම සිද්ධ වෙන්නේ නැහැ. ගැහැණු සහ පිරිමි ජීවිතයේ නොයෙකුත් අවධි පහු කරගෙන යනවා, නොයෙකුත් සම්බන්ධතා හදා ගන්නවා. එකම ප්‍රේමයක් ජීවිත කාලයටම තියෙන්න ඉඩ අඩුයි. මේ ගීතයෙන් කියවෙන්නෙත් එවන් වූ ප්‍රේමයක හෝ රාගික සම්බන්ධයක නිරත වෙලා ඉන්න දෙදෙනෙක් අතර වන දෙබසක්. ඒ දෙදෙනාගේ අතීතය ගැන දෙදෙනා විසින් එකිනෙකාගෙන් ප්‍රශ්න නගන්නේ ප්‍රේමයේදී අපි බලාපොරොත්තු වන හිමිකරගැනීමත්, උත්කර්ෂයට නැගීමේ ස්වභාවයත් ප්‍රශ්න කරමින්.

Cover Image Source – youtube.com / theisland.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *