කොත්තු හදන්නෙ කොහොමද කියලා මේ පුතාලා දැකලා තියෙනවද? අර රත් කරපු තැටියට කපපු රොටි, බිත්තර, මස්, එළවළු අනං මනං ඔක්කොම දාලා, රස පදමට දාන්න ඕන ඒවත් දාලා හොඳට මික්ස් වෙන්න ටකට ටකට ගාලා ගහලා දෙන එකනේ කරන්නේ. එතකොට අයිස්ක්‍රීම් කොත්තු හදන්නේ කොහොමද? සරලයි.
හොඳට සීතල වෙලා තියෙන අර වගේම තැටියකට බේස් වෙච්ච අයිස්ක්‍රීම් මිශ්‍රණයක් සහ චොකලට් බ්‍රවුනි වගේ තමන්ගේ අයිස්ක්‍රීම් කොත්තුවට එන්න ඕන රස තියෙන දේවල් දාලා, අර කොත්තු බාස්ගේ ලෝහ තල දෙක වගේම ස්පැටියුලා දෙකකින් හොඳට මික්ස් කරලා අරගෙන තමයි අයිස්ක්‍රීම් කොත්තු හදන්නේ. මේ සීතල ලෝහ තැටිය නිසා ඒකට දාන අයිස්ක්‍රීම් මිශ්‍රණය පට් පට් ගාලා ඝන වෙන්න බලනවා. ඒ නිසා ඊට කලින් හොඳට මික්ස් කරලා, කොණක ඉඳන් රෝල් කරලා ගන්න තමයි තියෙන්නේ. හැබැයි මේක හදන විදිය නිසාම ඉන්ටර්නැෂනල් ලෙවල් එකෙන් මේකට කියන්නේ රෝල්ඩ් අයිස්ක්‍රීම්. ඔව් ඉතින් රෝල් කරලා අරගෙන කන්න තමයි තියෙන්නේ.
මොකක්ද මේකෙ තියන විශේෂත්වය?
මේකේ විශේෂත්වය තියෙන්නේ මේකයි. කෘත්‍රිම රසකාරක එකක්වත් ඕන වෙන්නෙ නෑ. චොකලට් බ්‍රවුනි, කෙසෙල් ගෙඩි, ස්ට්‍රෝබෙරි, ඔරියෝ වගේ දෙයක් අර කිරි අයිස්ක්‍රීම් මික්ස්චර් එකත් එක්ක දාලා අයිස්ක්‍රීම් හදාගන්න පුලුවන්. රසයෙන් අනූනයි!
හරි දැන් කිව්වේ හදන විදියනේ. ඊළඟට හැමෝටම දැනගන්න ඕන වෙන්නේ රෝල්ඩ් අයිස්ක්‍රීම් කන්න නම් යන්න ඕන කොහාටද කියලනේ. ඉස්සර රෝල්ඩ් අයිස්ක්‍රීම් වලට තිබුණේ කොළඹ තැනක් දෙකක් විතරයි. ඒත් දැන් ලංකාව වටේම තැන් කීපයක් තියෙනවා. බලන්න ළඟම රෝල්ඩ් අයිස්ක්‍රීම් විකුණන තැන මොකක්ද කියලා!
1. JAM Rolled Ice Cream – Colombo 05
හැව්ලොක් ටවුමේ තියෙන මේ රෝල්ඩ් අයිස්ක්‍රීම් කඩේ නම අහපු ගමන් සමහර යාලුවෝ මූණ ඇඹුල් කරගන්නවා. “මොකද්ද අනේ, ජෑම් දාලා හදපු අයිස්ක්‍රීම්ද එතන තියෙන්නේ? ජෑම් කන්න ඕන නං පාන් එක්ක කනවනේ!” කියල තමයි අපේ යාලු එක නංකියෙක් කිව්වේ. ඒත් කියන්න සතුටුයි මිත්‍රවරුනි, හිත කරදර කරගන්න කාරියක් නෑ. මෙතන තියෙන්නේ ජෑම් දාලා කොත්තු කරපු අයිස්ක්‍රීම් නෙවෙයි. බොහොම රසවත් කියලා කියන්න පුලුවන් රෝල්ඩ් අයිස්ක්‍රීම් තියෙන මේ තැන අපේ ෆේවරිට් එක ඉතින් චොකෝ චිප් රෝල්ඩ් අයිස්ක්‍රීම් තමයි. චොකලට් එක්ක කිරි අයිස්ක්‍රීම් බේස් එක මික්ස් කරලා, චොකෝ චිප්ස් අහුවෙන්න හදපු මේ අයිස්ක්‍රීම් එකේ උඩටත් චොකලට් චිප්ස් ඉහලා තියෙන්නේ. ඕන නම් කිතුල් ඩිලයිට් වගේ අයිස්ක්‍රීම් එකක් රෝල් කරලා හදලා ගත්තහම රස කොහොමද කියලා බලාගන්නත් පුලුවන්. මෙතනත් අයිස්ක්‍රීම් කප් එකක් පන්සීයට අඩුයි.
දුරකථන අංක: 011 5 922264
තැන මෙතන:
2. Frosty Roll – Colombo 10
පර්ල් ඔෆ් ඒෂියා ෂොපින්ග් මෝල් එක තියෙන්නේ එක්සෙල් වර්ල්ඩ් එකට යාබදව. අන්න ඒ ෂොපින්ග් මෝල් එක ඇතුළේ තමයි මේ හුරුබුහුටි රෝල්ඩ් අයිස්ක්‍රීම් කඩේ තියෙන්නේ. මෙතන සාමාන්‍යයෙන් ඔය එක්ස්පෙරිමෙන්ටල් අයිස්ක්‍රීම් රෝල් නම් නැහැ. බ්‍රවුනි බේක්, ඩබල් ඩිලයිට්, ස්ට්‍රෝබෙරි ස්ප්ලෑෂ්, චොකෝ බ්ලාස්ට්, පැණි කජු මික්ස් වගේ නුපුරුදු නොවෙන අයිස්ක්‍රීම් කොත්තු තමයි මෙතනින් ගන්න පුලුවන් වෙන්නේ. හැබැයි එකක්. මේ අයිස්ක්‍රීම් වල කොලිටිය සහ රසය ගැන කියන්න තියෙන්නේ සුපිරි කියලා තමයි. ලෝබ නැතුව ලොකු කප් එකක් පුරවලා දෙන අයිස්ක්‍රීම් එකක් රුපියල් පන්සීයකට අඩුයි.
දුරකථන අංක: 077 370 2582
තැන මෙතන:
3. Cool Corner Fried Ice Cream – Kandy
නුවර පැත්තේ රෝල්ඩ් අයිස්ක්‍රීම් කන්න තැනක් හොයනවනම් මෙන්න පොට් එක! මෙතන සාමාන්‍යයෙන් ඕනෑම තැනක තියෙන චොක්ලට්, ස්ට්‍රෝබෙරි, ෆෘට් ඇන්ඩ් නට්, ඔරියෝ වගේ රස ජාති ටික තියෙනවා. හැබැයි ඊට අමතරව පැෂන් ෆෘට් අයිස්ක්‍රීම්, ප්ලම් පුඩින්ග් අයිස්ක්‍රීම් එතකොට කොකනට් ලයිම් සෝර්බට් සහ මැන්ගෝ සෝර්බට් අයිස්ක්‍රීම් වගේ අමුතු අමුතු අයිස්ක්‍රීම් වුනත් ගන්න පුලුවන්. මෙතන මෙනු එකත් ඉතාම විශාල පරාසයක තියෙනවා. මිනිස්ට්‍රි ඔෆ් බෙරීස් යටතේ බ්ලූබෙරි, ස්ට්‍රෝබෙරි, රාප්ස්බෙරි සහ බ්ලැක් කරන්ට් ගන්න පුලුවන්. වීගන් ඇන්ඩ් හර්බල් යටතේ කොෆී කොකනට්, සෝයා චොකලට්, ග්‍රීන් ටී, ජින්ජර් වගේ අයිස්ක්‍රීම් ගන්න පුලුවන්. දැන් අහන්න එපා කෝපියි පොලුයි එකතුකරලා හදන අයිස්ක්‍රීම් මොන රසද කියලා. ඊළඟ වතාවේ නුවර ගියහම ගිහින් කාලා බලන්න. රස හොඳයි කියලා විතරක් කියලා තියන්නම්. ඒ වගේම තමයි මේ අයිස්ක්‍රීම් වල ගාණත් ඉතාම අඩුයි.
දුරකථන අංක: 081 2 205218
තැන මෙතන:
4. Frozen Ice Cream Kottu – Galle, Mathara
ගාල්ල පැත්තෙන් හොයාගන්න පුලුවන් ඉතාමත්ම රසවත් රෝල්ඩ් අයිස්ක්‍රීම් විකුණන තැනක් තමයි මේ ‘ෆ්‍රෝසන් අයිස්ක්‍රීම් කොත්තු’. ඔව් හරි විදියටම එතනට නමත් දාලා තියෙනවා. ඇත්තටම මේ අය දැන් මාතර අනගාරික ධර්මපාල මාවතේත් තමන්ගේ තැනක් විවෘත කරලා තියෙනවා. මේ අයගේ අයිස්ක්‍රීම් රෝල් වල බැලූ බැල්මටම පේන දේ තමයි ලස්සන. එක එක පාට මික්ස් වුණු අයිස්ක්‍රීම් රෝල් උඩටත් තව දේවල් එකතුකරලා සරසලා තියෙන්නේ. කෙනෙක් කන්න කලින් ෆොටෝ එකක් ගන්නවා ෂුවර්. සාමාන්‍යයෙන් අපිට නිරන්තරයෙන් මුණ ගැහෙන අයිස්ක්‍රීම් රස වුණත්, වෙනස්ම ආකාරයකට නිර්මාණය කරන්න මේ කට්ටිය සමත් වෙලා තියෙනවා කිව්වොත් හරි. මෙතනින් අපේ ප්‍රියතම අයිස්ක්‍රීම් රෝල් එක වුණේ චොකලට් ස්පෙෂල් එක. මිල ගණන් පන්සීයට අඩුයි.
දුරකථන අංක: 0777120740
තැන මෙතන:
5. TARA Fried Ice Cream – Gampaha
ගම්පහ තියෙන මේ අයිස්ක්‍රීම් පාලර් එකේ මුලින්ම හිත ඇදගන්නේ තැන නිර්මාණය කරලා තියෙන විදිය. ලී කවුන්ටර්, ලී පෙට්ටි බංකු සහ ලී පෙට්ටි උඩ කුෂන් දාපු ආසන එක්ක මෙතන බොහොම ප්‍රියශීලී හැඟීමක් තමයි ගේන්නේ. මෙතන අයිස්ක්‍රීම් විතරක් නෙවෙයි. මිල්ක්ෂේක් එකක්, ෆෘට් ජූස් එකක් එහෙමත් ගන්න පුලුවන්. අයිස්ක්‍රීම් වර්ග ගැන කියනවා නම්, සාමාන්‍යයෙන් දකින්න පුලුවන් චොකලට්, ස්ට්‍රෝබෙරි, නුටෙලා, ඔරියෝ වගේ රස වර්ග වලින් රෝල්ඩ් අයිස්ක්‍රීම් නැතිනම් මේ අය කියන විදියට අයිස්ක්‍රීම් කොත්තු ගන්න පුලුවන්. හැබැයි ඊට කලින් මේ අයගේ සිග්නේචර් අයිස්ක්‍රීම් කොත්තු වලින් එකක් මුලින්ම ට්‍රයි කරලා බලන්න වටිනවා!
දුරකථන අංක: 076 365 2848
තැන මෙතන:
6. Frosties – Dehiwala
කොළඹින් ටිකක් ඈත් වෙන්න දෙහිවල පැත්තට වෙන්න තියෙන ෆ්‍රොස්ටීස් එක සෑහෙන කාලයක ඉඳන් තියෙනවා. මෙතන අයිස්ක්‍රීම් ගැන සෑහෙන කතාබහ ඇතිවෙලා තිබුණා එක කාලයක්. කොහොම වුනත් මෙතන අයිස්ක්‍රීම් විතරක් නෙවෙයි තියෙන්නේ. වෙනත් කෑම බීම වුනත් තියෙනවා. එතකොට ඒවා කාලා අතුරුපසට රෝල්ඩ් අයිස්ක්‍රීම් එකක් කන්න පුලුවන්. මෙතන අයිස්ක්‍රීම් වර්ගත් සෑහෙන පරාසයක තියෙනවා. හැබැයි ඒ අයිස්ක්‍රීම් වර්ග වල රසටත් වඩා රසවත් වෙන්නේ ඒවලට දාලා තියෙන නම්. මයිලෝ-ටෙලා, චොකෝ ලව්, අයි ලව් යූ අ ලතේ, කුකී මොන්ස්ටර්, කින්ඩර් බුඑනෝ, කිට් කැටී! මේවා ඇහෙනකොටම හදලා තියෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න පුලුවන්නේ. ඔව් මයිලෝ-ටෙලා කියන්නේ මයිලෝ සහ නුටෙලා රස. කුකී මොන්ස්ටර් කියන්නේ කුකී දාලා හදපු අයිස්ක්‍රීම්. කින්ඩර් බුඑනෝ වල තියෙන්නේ කින්ඩර් ජෝයි රස!
දුරකථන අංක: 077 955 6660
තැන මෙතන:
Cover Image Source – baltimoremag / blossomicecream.com / pintarest.com
Leave a Reply