ඉස්සර කාලේ නම් කැමරා තිබුනේ නැහැ. ඒ කාලේ තිබුන, දිගුකාලයක් පැවතුනු සන්නිවේදන ක්‍රමයෙන් උපරිම ඵල නෙලාගත් රජෙක් තමයි නිශ්ශංකමල්ල රජතුමා. එතුමා කළින් සිටි මහා පරාක්‍රමබාහු රජතුමාගේ නිර්මාණ වලට පවා තමුන් කලාය කියලා නම දාගන්න තරම් දක්ෂයෙක් වුනා. අපි දැන් බලමු මේ කැමරාව ඉදිරිපිට ජනතා සේවයට කැමති ජනප්‍රිය දේශපාලකයින් කිහිප දෙනෙක් ගැන.
1. කෙසෙල් බෙදූ සැටි
රටම යටකරගත් මහ ගංවතුරකි. වෙනදා ගංවතුර ගලන තැනට කොළඹින් ආධාර ගෙන ගියත් එවර කොළඹද යටවුනි. දුප්පතාගේ හිතවතා යැයි පෝස්ටර් වල තිබුන මුත්, විපත වූ විට සැබැවින්ම වතුරට බැස්සේ දේශපාලකයෝ කිහිප දෙනෙකි. ඒ පිරිසෙන්ද වැඩි දෙනෙක් බැස ගිය ගංවතුරට මූනිච්චාවට බැස්සා විනා සැබැවින්ම ගංවතුර විපතින් අනාථ වූ ජනයා ගැන වැඩිමනක් සොයාබැලීමක් කලේ නැත. ඒ අතර මන්ත්‍රීවරු ගංවතුරේ ආධාර බෙදන්නට විය. කොළඹ දිස්ත්‍රික් තරුණ මන්ත්‍රීවරයෙකුට හසු වුනේ කෙසෙල් ගෙඩි සමූහයකි. ඔහු ඒ කුඩා දෙයක් වුව බෙදා දීම මැනැවැයි සිතා එක් නිවෙසට එක බැගින් කුඩා කෙසෙල් බෙදන දසුන කලක් මුහුණුපොත සහ සයිබරයේද රැව් දුන් වැඩක් විය.
2. මල් කුමාරගේ වැඩ
නා-මල යනු ජනප්‍රිය පුෂ්පයෙකි. මේනම් පුෂ්පයෙක් නොවේ පුත්‍රයෙකි. හිටපු අගරජුගේ තුන් කුමාරවරු අතරින් වැඩිමහලු තෙමේ වන නා-මල් කුමරු ද රඟපෑමට සමතෙකි. හේ තෙමේ හේනේ මාමාගේ ත්‍රීවිල් එකේ ගමන් යයි. සෙල්ෆි දමයි. අඩිතාලමක් සාරා සිය දේශපාලන මිතුරන් සමග ඒ ගැන සෙල්ෆි දමයි. මේ ආසන්න කාලයකදී දකුණේ ප්‍රකට ලෙන් විහාරයක තීන්ත ගෑමට යෑම මොබයිල් කැමරා බර ගාණකින් රෙකෝඩ් කරනු අපිට දැකගන්නට හැකිවිය. පිය රජතුමාගේ ඇවෑමෙන් රජ කම පතන එම කුමාරයෝ එවැනි මාධ්‍ය සංදර්ශන සඳහා මනා පරිචයක් දැන් පටන්ම එකතු කරගෙන යමින් සිටී.
3. වැව් හෑරු සැටි
රතු කමීස කාරයෝ කලෙක පටන් රජේ දුබලකම් දූසන වංචා ගැන පැමිණිලි ම කරන්නෝ වෙති. වරෙක පෙර පිනකට දෝ හෝ ඔවුනට මන්ත්‍රී අසුන් 40කට වැඩි ප්‍රමාණයක ආසන මන්ත්‍රණ සභාවට හිමි විය. ඉදිං වගා කටයුතු බාර ඇමති ධූරයක්ද ඒ රතුකමිස කාරයින්ට ලැබුනි. දැන් වැව් සෑරීමට පටන් ගති. රෙදි හැට්ට ඇඳගත් ගැමි ළියෝ මහා බර ගාණක පිරිස පශ්චාත් බාගය නලවමින් ගොස් තද වුනු වැව් බිමට උදලු ගැසුවෝය. ඉන් පසු කූඩා වලින් ඒ පස් කුට්ටි ගෙනැවිත් දැම්මෝය. එය කදිම දර්ශනයකි. ඔවුන්ගේ වැව් සෑරීමේ ආරම්භක උත්සවය නාට්‍යානුසාරයෙන් කැමරාවලට හසුකරගත්තේ, පෙර කතාවලදි දුන් සරල වියදම් අඩු රාජ්‍ය පාලනය කොහි ගියේදැයි සොයාගැනීමට නොහැකි වන ආකාරයටය.
4. ගම් උදා කල එතුමාණෝ
අනූව දශකයේ මුල රට පාලනය කල අයෝමය හස්තයක් වූ එතුමා රටේ දේශපාලන දේහය තුළ එවකට සැබෑම බලවේගය විය. ගම් උදා උත්සවයකට සියලු වැඩකටයුතු ලැහැස්ති කරමින් විවිධ අංශවලින් ප්‍රදර්ශන කුටි තැනී ප්‍රදර්ශන භූමිය සැරසෙන්නට විය. රෑ බෝ වූ නිසා බොහෝ අය මදුවිතින් සප්පායම්ව මෙන්ම නොමැතිවද ඒ ඒ තාවකාලික ලැගුම් හල් වල නිදන්නට විය. ට්‍රැක්ටර් සංස්ථාවේ දොරට මහ පාන්දර අයෙක් තට්ටු කරන්නට විය. ඒ දොරට තට්ටු කලේ එවකට ඉහළම පුටුව හිමි, උස අඩු, ප්‍රතාපවත් චරිතය ම විය. මේ මොකද මේ මහ රෑම? යැයි මැසිවිලි කියමින් පිබිදුනු ට්‍රැක්ටර් සංස්ථා සේවකයාට තරු විසිවිය. එතුමාට අවශ්‍ය වී තිබුනේ අත් ට්‍රැක්ටරයක් පදවන ආකාරය දැනගැනීමටයි. එයට යම් ප්‍රමාණයකින් එතුමා හුරුවිය.
ඊළඟ දිනය උදාවිය. උත්සව සභාව ඇරඹුණි. අන් කිසිවකුගේ සහායකින් තොරව ට්‍රැක්ටරයක් හසුරුවාගෙන ප්‍රදර්ශන භූමියට සැපත් වූයේ එවකට රටේ ඉහළම පුටුව හිමි එතුමාණෝය. පෙර පුහුණුව කලින්දා රෑ ලබාගත් දක්ෂ සිසුවා පසු දිනම සිය දක්ෂතා ජනයා හමුවේ ගෙනහැර පෑවේය. සංදර්ශන ආදියේ දක්ෂයෙක් වුවද යම් යම් පාර්ශව වලින් අන්තගාමී වුවද සැබෑ ලෙසම මතක සටහන් ලෙස අදටත් ඉතිරි වී ඇති වැඩකොටසක් කරන්නට එතුමාට හැකිවිය.
5. පැරකුම්බා කිරිබත් කෑ සැටි
2002 ආසන්න කලකදී රෝයල් කොලීජියෙන් පැමිණ, රටේ දැනටත් ඉහළම පුටුවක් හොබවන තුමාගේ මැතිවරණ ආදර්ශයක් වූයේ පැරකුම් යුගයක් නැවතත් ඇති කිරීම විය. යළි පුබුදමු යැයි කීවත් කිව්ව තරම් ඉක්මනින් රට පුබුදාගන්නට ඒ රජයට නොහැකි විය. කෙසේ වෙතත් මසකට වතාවක් හෝ කැමරා හරහා පුවත් මවන ඒ පැරකුම්බා තුමා වරක් නෙළුම් කොළේ කෑම කන්නට ගොස්, නෙළුම් කොළේ කුණු තැවරේ යැ බියෙන් පේපර් ප්ලේට් එකක් ඒ මතට දමාගෙන කෑම කෑවේලු. කැමරා ඉදිරිපිට නොගැලපෙන කතා කීම සහ තාලයට අත්පුඩි ගැසීම ආදියත් එතුමාගේ කැමරා දර්ශන අතර ජනප්‍රිය වූ සිද්දි වේ.
6. සකල කලා රඟපෑම් විශාරද මහිරාජ උත්තමයාණෝ
බැද්දේ සෙනහස, රතුරෝස ආදී නාට්‍ය වල පෙනී සිටි දක්ෂ නලුවෙකු පසුකලෙක රටේ උත්තරීතර බල ඇති ඉහළම තනතුරක් හොබවන්නට විය. ආයි බෝ වේවා මහරජාණෝ යැයි තවමත් අපේ කන් වල රැව් දෙන ගීතයකි. රජතුමා ආයෙත් බෝ වෙනවා නම් කැමති අය බොහෝය. ඒ මහිරාජයෝ දරුවන්ටත්, ආච්චිලාටත් සකල දුප්පත් ජනයාටත් බොහෝ හිතැත්තෙකි. කලින් පිලියෙල කරගෙන සිටින දරුවෙකු කැමරා ඉදිරිපට වඩා ගනී. තේරාගත් ආච්චියෙකු ගේ අත් අල්වාගෙන සුවදුක් විමසයි. එයින් නොනැවතී පසුගිය මැතිවරණ සමයක සිරිසේන ඩමියක් සමග මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට තරම්ම රඟපෑමේ අංශ දියුණු පවුනු කරගන්නට එතුමා සමත් විය.
කෙසේ වෙතත් සැබෑ දේශපාලන බලය ඒකරාශී කරගැනීමටත් හොඳ හෝ නරක ස්ථාවර ස්ථිරසාර රජයන් ඇතිකර ගැනීමටත් එතුමා සමතෙකි. සම්මානයෙන් පිදුම් නොලැබුවත්, නිතරම සෑම තැනකදීම ඉස්මතු වන්නට මහිරාජතුමාට එතුමාගේ රංගන ප්‍රතිභාව මනා පිටුවහලක් විය.
7. නාග දිවකට හිමිකම් කී චතුර පුතණුවෝ
චතුර කතාවෙන් රටම සනසන ඒ පුතු ප්‍රබල දේශපාලකයකුගේ පුත්‍රෙයකි. කුඩා කල පටන්ම විජය කුමාරතුංගගේ අඩි පාරේ යන මේ චතුර කථිකයා වරෙක අනාවරණය වූ පරිදි වයස අවුරුදු 5දී පමණ විජය කුමාරතුංග සමග දේශපාලනයේ නිරත වී තිබුනි. ෆේස්බුක් කාටුන් ශිල්පීන්ට අනුව එතුමා රජ කාලයේ පවා දේශපාලනයේ සිටි පතාක යෝධයෙකි. ටකරං කටින් ඉතාම වියත් දේශපාලකයකු සේ රඟපාන මේ චතුර පුතණුවෝ ඒ නොමනා ජනප්‍රියත්වයෙන්ම කෙසේ හෝ කවුන්සිලයට ඔලුව ඔබාගන්නට සමත් විය.
රඟපානා අයගේ කුසලතා ටෙලි නාට්‍ය වලින් අපිට බලාගන්නට හැකිය. දේශපාලක රඟපෑම් බොහෝවිට ප්‍රවෘත්ති විකාශවලින් අපිට බලාගත හැකිය. මහජනයාගේ මනාපය දේශපාලකයින්ගේ අනාගතය කෙරෙහි සෘජුවම බලපාන බැවින් සැබෑ ජීවිතයේද රඟපා හෝ ජනප්‍රියතාවය කෙසේ හෝ පවත්වාගැනීමට දේශපාලකයෝ උත්සාහ ගනිති.
Cover Image Source – derana.lk
Leave a Reply