ලංකා සිනමාවේ ස්වර්ණමය කාලය තිබුනෙ 70 දශකයේ කියලයි කට්ටිය කියන්නෙ. හැබැයි අපි කියනව ලංකා සිනමාවෙ ස්වර්ණමය දශකය වෙන්නෙ 40 දශකය කියල. මේ කියන්නෙ 1940 නෙමෙයි. 2040 ගැන. 2040දි ලංකා සිනමාවට එක්වෙන නිර්මාණ ගැන අපිට ලැබුනු ඔත්තුව අපි ඕගොල්ලොන්ටත් කියන්නයි යන්නෙ. ඒ ඔත්තුවෙ හැටියට ඕගොල්ලො මෙතෙක් බලපු චිත්‍රපට සියල්ලටම වඩා වෙනස් රසයක් එක්ක මේ චිත්‍රපට බිහිවෙන බව අපට විශ්වාසයි. තවමත් පූර්ව ප්‍රචාරක පට නිකුත් කර නැතත්, මෙම නිර්මාණවල අන්තර්ගතය ගැන යම් අදහසක් අපට ලැබී තිබෙනවා. එනිසා මේ ගැන අපිට බය නැතුව ලියන්න පුළුවන්.
1. වන් ෂොට් ෆෝටි

Source – lifie graphics
ආර් රාමනායක මහත්තයාගෙ චිත්‍ර පොතක් වගේ පාට වෙලා තිබ්බ ඇඟ දැන් වැරහැලි වෙලා. හරියට නිකං තමුන්ගෙම පිළිමෙ යට නිදං හිටපු ආනල්ඩ් ස්වසනේගර් වගේ පෙනුම. වැරහැලි වෙලා. ලොං හැලිලා. හැබැයි තාම ඉනෙං පිහිය ඇදලා ගනිද්දිම හතරක් විතර ඇදන් වැටෙන සයිස් එකක් තියෙන්නෙ. මේ පාර පොර වැඩිහිටි නිවාසෙ ඉද්දි, පොරගෙ එහා පැත්තෙ ඉන්න සීයා ඩයල් එකගෙ රෝද පුටුව හොරකං කරන්න ආපු උන්ට එරෙහිව තමයි පොර සටන් කරන්නෙ.
2. භණ්ඩුක උපාසකයාණෝ

Source – lifie graphics
පන්සිය පනස් ජාතක පොතේ කතා ඔක්කොම ටික දීලා ඇදලා, බ්‍රහ්ම ලෝක, නාග ලෝක කතා ටිකත් ගහලා, රාජාවලියම ඉවර කරලා, කොටිම්ම දිසා රජවරු ටිකත් සිනමාවට නගලා අවසන් කරාට පස්සෙ එස්. අබේසේකර මහත්තයට හිතාගන්න බැරි පොයින්ට් එකක් එනවා. පොර බලනව කවුද ඉතුරු කියල. එක්කෙනෙක් ඉතුරුයි. ඒ තමයි මිහිඳු හාමුදුරුවො ලංකාවට එද්දි ඒ පේළියෙ පිටිපස්සෙම හිටපු මනුස්සයා. මහින්දාගමනය චිත්‍රපටයෙ කැමියෝ එකක් කරාට පස්සෙ ආයෙත් සිනමාවට ගත්තෙ නැති නිසා මෙන්න ගේනව. බොදු සිත කළම්බන පොසොන් මහේ ඔබට පිදෙන ධාර්මික සිනමා පූජාව. භණ්ඩුක උපාසකයාණෝ.
3. සුදු අලි පැටියයි කොල්ලො ටිකයි

Source – lifie graphics
හුරතල් කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි එක්ක ඉන්දියන් ක්‍රමේට නළලෙ ඉරි තුන ගහපු අලි පැටියෙක් වලිප්පුව හැදිලා වගේ නැටුවෙ ඉස්සර මහත්තයො. දැන් එන්නෙ අලුත් සීන් එක. දැන් අලි පැටියා තමයි ප්‍රධාන චරිතෙ. කොල්ලො තමයි අවශේෂ චරිත. ඉස්සර අලියා කලුයි. දැන් මේන් රෝල් එක කරන හින්දා මේකප් පාර දාලා අලියා සුදුයි. ඌ දැන් ගොනා වගේ කැරකි කැරකි ඉන්නෙ නෑ. කොල්ලො ඌ වටේ නටනව. ඌ ඉන්නව මගෙ මොකෝ වගේ.
4. පෙට්ටියේදිත් ඉකිබින්දා

Source – lifie graphics
හැමදාමත් කළේ ආදර කතා. ඒ ආදරේ උණුහුම තව අවුරුදු 22කින්වත් වෙනස් වෙයි කියල අපිට හිතන්න බෑ. එනිසා පෙට්ටියෙ ඉන්න ඕන කාලෙ මැෂින් එක ඕෆ් වෙන්න ඩිංගකට කලින් පොහ් ගාලා සිහිය ආපු සීයා කෙනෙක් ළඟම ඉන්න නර්ස් පැටියට ලවු කරන කතාවට තමයි රණවන මහත්තය පණ පොවන්නෙ. අන්තිමට තමන්ට තියෙන්නෙ තව දවස් දෙකක ආයු කාලයක් විතරයි කිවුවම නර්ස්ට සිහි නැතිවෙලා, ඒකි සීයගෙ ලෙඩ ඇඳ උඩ වැටිලා, සීයගෙ ඔක්සිජන් බටේ ගැලවිලා, කඳුළු පිටින්ම පෙට්ටියට සෙට් කරන යුගයේ ආදර කතාව තමයි මේ.
5. සිංහ කොල්ලෝ

Source – lifie graphics
හමුදාවෙන් අත්තනෝමතිකව සල්ලි ගත්තු හින්දා රෙද්දක් ඇඳගෙන තවත් රඟපාන්නෙ නෑ කියල තීරණේ ඉන්න කමලනාත් මහත්තයා ගන්නව නිර්භීත තීරණයක්. ඒ තමයි තමං හොඳ ගාණක් හම්බකරගත්තු ආමි එකේ සල්ලි වැඩි පොළියට ඩිපොසිට් කරල හොයාගත්තු ගාණෙන් ආමි එක ගැන චිත්‍රපටයක් කරන්න. මේක කිසිසේත්ම ආමි එකට උපහාර කරන චිත්‍රපටයක් නොවෙන්නෙ මේකෙ ප්‍රධාන චරිතෙ ආයෙත් එයාම රඟපාන නිසායි. කොහොම වුනත් මේකෙත් අර කොටට ඇඳපු එයාගෙ වයිෆ් සරාගී කොටි කාන්තාවකගෙ චරිතෙ කරනවාමයි.
6. ඉබේ ඉබෝලා

Source – lifie graphics
එක දිගටම කොල්ලටයි කෙල්ලටයි මාරුවෙන් මාරුවට පිළිකා හැදෙන ෆිල්ම් කරලම පිළිකාව නිකං උණක් හෙම්බිරිස්සාවක් ගාණට වැටෙනවා. ඒ නිසා ෆිල්ම් කාරයොන්ට අලුත් ලෙඩක් හොයන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි ඒ අය ඉබෝලා ලෙඩේ හොයාගන්නෙ. අප්‍රිකන් බුවෙක් එක්ක කිස් කරලා ලංකාවට එන කෙල්ලගෙන් එයාගෙ කොල්ලට ඉබෝලා බෝ වෙන හැටි තමයි ෆිල්ම් එකේ තියෙන්නෙ. අන්තිමට ආණ්ඩුවක් විදියට ඉබෝලා මර්දනය කරන්න එවන පොඩි වීර කාව්‍යයක අග්ගිස්සක් මේ චිත්‍රපටයට එක් කරලා තියෙනවා.
7. අන්දෘභූත මල්

Source – lifie graphics
අශෝක මහත්තය කරපු චිත්‍රපටි අතරේ ලංකාවට පිදෙන සම්භාව්‍යම චිත්‍රපටය තමයි මේ. නම තේරෙන්නෙත් නෑ. කුලෙන් කුලේ මුකුලිත පීතෘ විකාශනයේ ධාර නාඝන්ධිත සංස්මෘතිය කියලයි මේකට ඉන්ට්‍රො එක දීලා තියෙන්නෙ. රඟපාන්නෙ කවුද කියල තාම තීරණය කරල නැත්තෙ ස්ක්‍රිප්ට් එක කියවගන්න පුළුවන් නළු නිළි කැළක් තාම බිහි වෙලා නැති නිසායි. කොහොමින් කොහොමින් හරි මේ වැඩේ තරමක් විදෙස් සිනමා සම්මාන උළෙලවලටත් යයි කියලා විශ්වාසයක් තියෙනවා.
Cover Image Source – lifie graphics
Leave a Reply