ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවූ මතභේදාත්මකම (Controversial) චිත්‍රපටි 10ක්

Controversial Movies

චිත්‍රපටයක් මතභේදයට තුඩු දෙන්න නොයෙකුත් හේතු බලපානව. ආගම් සහ සංස්කෘතීන් වලට පහර එල්ල වීම, දේශපාලනික හේතු, අශ්ශීල හෝ ප්‍රචණ්ඩකාරී දර්ශන ඇතුළත් වීම ඒ අතරින් ප්‍රධානවම බලපාන කාරණා වනවා. අපි මේ ලිපියෙන් ගෙන එන්නේ ඒ විදිහේ නොයෙකුත් හේතු හින්දා දැඩි ආන්දෝලනයන් ඇති කරපු චිත්‍රපට ලැයිස්තුවකුයි.

මේ චිත්‍රපට සමහරෙක ලිංගිකත්වය, ප්‍රචණ්ඩත්වය වැනි කාරණා ඉහළින්ම මතු කරලා තියන නිසා එවැනි කාරණා වලින් අපහසුතාවයට පත්වන සංවේදී ප්‍රේක්ෂකයන්ට මේ චිත්‍රපට නැරඹීමට පෙර දෙවරක් හිතන්න කියලත් අපි ඉල්ලනවා.

 

1. Nekromantik (1987)

Controversial Movies

Source – myreviewer.com

මළසිරුරු සමග ලිංගිකව එක්වීමේ ආශාව හඳුන්වන්නේ Necrophilia නමින්. 1987 ආපු නෙක්රොමැන්ටික් නම් ජර්මානු චිත්‍රපටයේ තේමාව වෙලා තියෙන්නෙත් එවැනි මානසික තත්ත්වයකුයි. රිය අනතුරු සිදුවන ස්ථාන වලින් මළසිරුරු ඉවත් කරන රොබ් නැමැති පුද්ගලයෙක්, ඔහුත් පෙම්වතියත් ජීවත් වන නිවසට එවැනි එක් මළසිරුරක් අරගෙන යනවා. හැබැයි මේ තීරණය ගැන වැඩි දවසක් යන්න කලින්ම ඔහුට පසුතැවෙන්න වෙනවා. මොකද ඔහුගේ පෙම්වතිය ක්‍රම ක්‍රමයෙන් ඔහුටත් වඩා මළ සිරුරට ප්‍රේම කරන්නට පටන් ගන්න නිසා. ලිංගිකත්වය ඉස්මතු කරපු, අප්‍රසන්න ජවනිකා රැසකින් සමන්විත මේ චිත්‍රපටයේ අවසානයත් ඉතාම පිළිකුල් සහගතයි.

 

2. The Last Temptation of Christ (1988)

ලාස්ට් ටෙම්ප්ටේෂන් ඔෆ් ද ක්‍රයිස්ට් චිත්‍රපටය හැදෙන්නේ 1955 දී එළිදක්වපු නිකෝස් කසාන්ට්සකිස් ලේඛකයගෙ ආන්දෝලනාත්මක නවකතාවක් ඇසුරිනුයි. මේ චිත්‍රපටය හදන්නෙ සුප්‍රකට අධ්‍යක්ෂක මාටින් ස්කෝසීසුයි. මේ චිත්‍රපටයේදී ගණිකාවක් වන මරිය මග්දලේනා සහ ජේසු තුමන් අතර විවාහයක් පෙන්වන දර්ශන ඇතුළත් වීමද, ජේසු චරිතයට ලිංගිකත්වය ගාවා තිබීමද නිසා පල්ලිය දැඩි සේ උදහස් වනවා. ලාස්ට් ටෙම්ප්ටේෂන් ඔෆ් ද ක්‍රයිස්ට් චිත්‍රපටය ප්‍රදර්ශනය කල සමහර චිත්‍රපට ශාලාවලට බෝම්බ ප්‍රහාර පවා එල්ල වී තිබෙනවා. අදටත් රටවල් රැසක මේ චිත්‍රපටය තහනමට ලක්වෙලයි තියෙන්නේ.

 

3. A Serbian Film (2010)

සර්බියානු චිත්‍රපටයේ යටිපෙළ අරුත කුමක් වුවත්, චිත්‍රපට කථාවට ඇතුළත් වෙලා තිබුණ ලිංගිකත්වය මුසු ප්‍රචණ්ඩකාරී දර්ශන නිසාවෙන් ලොව පුරා මහත් ආන්දෝලනයන්ට ලක්වෙන්නට ඒ චිත්‍රපටය සමත් වුණා. නිල් චිත්‍රපට නළුවෙක්ගේ චරිතය ප්‍රධාන කරගෙන හැදුණු මේ චිත්‍රපටය තුළ චිත්‍රපටයක් මතභේදාත්මක වන්නට හේතුවන බොහෝ කරුණු ඇතුළත් වෙලා තිබුණා. අළුත්ම නිල් චිත්‍රපටයක රඟපාන්න අවස්ථාව උදාවෙන මිලෝස් නම් මෙහි ප්‍රධාන චරිතයට මුහුණු දෙන්නට වෙන්නේ ඔහු සිහිනෙන්නවත් නොසිතූ විරූ අත්දැකීම් රැසකටයි. ප්‍රේක්ෂකයාව භීතියටත් කම්පනයටත් පත් කරන්න සමත් චිත්‍රපටයක් තමයි සර්බියන් ෆිල්ම් කියන්නෙ.

 

4. Cannibal Holocaust (1980)

70 සහ 80 ගණන් කියන්නේ ඉතාලියානු සිනමාකරුවන් අතින් මිනී මස් කන්නන් (Cannibals) ගැන චිත්‍රපට රැසක් බිහිවුණ කාලයක්. ඒ අතරින් විශේෂිතම චිත්‍රපටයක් තමයි කැනිබල් හොලකෝස්ට්. ඇමසෝන් වනයේ බිහිසුණු මිනීකන ග්‍රෝතිකයන් පිරිසකට හසුවන අමෙරිකානුවන් පිරිසක් වටා තමයි මේ ප්‍රචණ්ඩකාරී කතාව ගෙතෙන්නේ. මිනිසුන්ව මරා දමන ජවනිකා රැසක් ඉතාම තාත්වික විදිහට මේ චිත්‍රපටයේදි පෙන්වපු නිසා ඒ මිනීමැරුම් ඇත්තටම සිදුවුණාද කියලත් ඒ කාලේ පරීක්ෂණ පවත්වලා තියනවා. අන්තිමට ඒ ජවනිකා වල රඟපාපු නළු නිලියන්ව උසාවියට ඉදිරිපත් කරන්නත්, මිනීමැරුම් ජවනිකා තාත්වික ආකාරයට රූගත කරපු හැටි පැහැදිලි කරන්නටත් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයාට සිද්ධ වෙලා තියනවා.

 

5. The Human Centipede (2009)

මිනිසුන්ගේ මුඛ සහ අධෝ මාර්ග එකට සම්බන්ධ කොට මහලා, විශාල පත්තෑයෙක්ගේ ආකාරයට ඔවුන්ගේ සිරුරු එකට එකතු කරන උමතු විද්‍යාඥයෙක් ගැනයි මේ කථාව. ඉතාම අප්‍රියජනක ජවනිකා රැසක් තිබෙන චිත්‍රපටයක් වුනත්, යම්කිසි රසික කැමැත්තකුත් මේ චිත්‍රපටයට හිමිවුණා. ඒ නිසාම මේ චිත්‍රපටයේ තව කොටස් දෙකකුත් නිර්මාණය කෙරුණා. ඒවාත් මුල් චිත්‍රපටය අභිබවා යන තරම් අප්‍රසන්න සහ විකෘති ආශාවන් පිළිබිඹු කෙරෙන චිත්‍රපට තමයි.

 

6. Salo (1975)

පාවුලෝ පැසොලීනිගේ සේලෝ චිත්‍රපටය විකාර රූපී, අප්‍රියජනක, ලිංගිකත්වය පිරි ප්‍රචණ්ඩකාරී චිත්‍රපටයක්. පිටතින් එහෙම උනත් මේ චිත්‍රපටය ඇතුළත සැඟවුණ දේශපාලනික අර්ථයක් තමයි තියෙන්නේ. සමාජයේ බලවතුන් හතර දෙනෙක් එකතු වෙලා තරුණ තරුණියන් පිරිසක්ව පැහැරගෙන, ඒ අයව මානසිකවත් ශාරීරිකවත් වධයට ලක්කරන සිදුවීම් පෙළකින් තමයි සේලෝ චිත්‍රපට කතාව සමන්විත වෙන්නෙ. පිස්සෙකු විසින් හදපු චිත්‍රපටයක්ය කියලා සේලෝ බලද්දි සමහරෙක්ට හිතේවි. ඒ වගේම තමයි ඔබේ ආහාර රුචිය අහිමි කරවන්න තරම් අප්‍රසන්න දර්ශන වලිනුත් මේ චිත්‍රපටය පිරිල තියෙන්නේ. සේලෝ තමයි පැසොලීනිගෙ අවසන් චිත්‍රපටයත්. මේ චිත්‍රපටය තිරගත කරන්නට කළියෙන්ම පැසොලීනිව ඝාතනයට ලක්වී තිබෙනවා.

 

7. Song of the South (1946)

1946 දී ප්‍රදර්ශනය කෙරුණු සෝංග් ඔෆ් ද සවුත් කියන්නේ ඩිස්නි ඇනිමේෂන් සහිත චිත්‍රපටයක්. මේ චිත්‍රපටය කොයි තරම් මතභේදාත්මක වුනාද කියනවනම් 1986න් පස්සේ ඩිස්නි සමාගම මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන එකත්, මේකෙ පිටපත් බෙදාහරින එකත් නවත්තලයි තියෙන්නේ. කුඩා දරුවෙක්ට කතන්දර කියල දෙන අංකල් රෙමුස් නම් කළු ජාතික චරිතයක් තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය. මේ චිත්‍රපටයට නැගුණ ප්‍රධාන චෝදනාවන් තමයි වහල් සේවය සාමාන්‍ය දෙයක් බවට හඟවන්නටත්, වහල් සේවයේ යෙදෙන්නන් තුටින් ජීවිතය ගත කරන බව මතු කරන්නටත් උත්සාහ දැරුවාය කියන එක. වර්ණභේදවාදී, ජාතිවාදී අදහස් සම්බන්ධයෙන් ආන්දෝලනයකට ලක් වුවත්, සෝංග් ඔෆ් ද සවුත් චිත්‍රපටය සාර්ථක සිනමා නිර්මාණයක් හැටියටයි බහුතරයක් සලකන්නේ. 20 වැනි ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම ගීතයට හිමි සම්මානයත්, රංගනය වෙනුවෙන් විශේෂ සම්මානයකුත් මේ චිත්‍රපටයට හිමිවෙලා තියනවා.

 

8. Pink Flamingos (1972)

පින්ක් ෆ්ලැමින්ගෝස් කියන්නේ මතභේදාත්මක වගේම නරඹන්නට ඉතාම අපහසු චිත්‍රපටයක්. මේ චිත්‍රපටය කොයිතරම් අප්‍රසන්න සිදුවීම් වලින් පිරිලද කියනවනම් සමහර චිත්‍රපට ශාලාවලින් මේ චිත්‍රපටය නරඹන්න එන අයට වමනය කරන්නට බෑග් පවා සපයලා තියනවා. චිත්‍රපටයක ඇතුළත්ව තිබිය හැකි හැකි අශ්ශීල දේවල් සියල්ලක්ම වගේ ඇතුළත් වෙලා තිබ්බ මේ චිත්‍රපටය ජනප්‍රිය වෙන්න එක් ප්‍රධාන ජවනිකාවක් හේතු වුණා. ඒ තමයි මෙහි ප්‍රධාන චරිතය වෙන ‘ඩිවයින්’ විසින් සැබෑ සුනඛ අශූචි බුදින දර්ශනයක් ඇතුළත් වීම. මානසික විකෘතිතාවයක් සහිත කෙනෙක් විසින් හදපු චිත්‍රපටයක් හැටියට පෙනුනත්, පින්ක් ෆ්ලැමින්ගෝ චිත්‍රපටය අමෙරිකානු කල්ට් චිත්‍රපට අතර ඉහළින්ම වැජඹෙන චිත්‍රපටයක්. හැබැයි මේක නරඹන්න කලින් දෙපාරක් හිතන්න කියලත් අපි ඔබට අවවාද කරනවා.

 

9. In the Realm of the Senses (1976)

Controversial Movies

Source – filmcomment.com/amazon.co.uk

හාම්පුතෙක් සහ ඔහුගේ සේවිකාවක් අතර ඇතිවෙන අනියම් සබඳතාවයක් තමයි ඉන් ද රෙල්ම් ඔෆ් සෙන්සස් චිත්‍රපටයේ මූලික කතාව වෙලා තියෙන්නෙ. බොහෝම රාගාන්විත විදිහට දිග හැරෙන මේ සබඳතාවයේදී මේ දෙදෙනා එකිනෙකාව සන්තුෂ්ටියට පත් කරන්න නොපසුබට උත්සාහයක් තමයි දරන්නෙ. ලිංගික තේමාවකින් යුතු මේ චිත්‍රපටයේදී ලිංගිකත්වය නිර්භීත විදිහට සිනමාවට නගන්න අධ්‍යක්ෂක නගීසා ඔෂිමා ක්‍රියා කරනවා. ඒ උත්සාහය නිසාම මේ සිනමාපටය ලොව පුරා ආන්දෝලනයකට ලක්වෙන්න පටන් ගන්නවා. අදටත් මතභේදාත්මක සිනමා පට ගැන කතා කරද්දි ඉහළින්ම සඳහන් වෙන නමක් තමයි මේ රෙල්ම් ඔෆ් ද සෙන්සස් සිනමාපටය.

 

10. Triumph of the Will (1935)

 

ජර්මානු අධ්‍යක්ෂකවරියක් වූ ලෙනී රිෆන්ෂ්ටාල්ගේ ට්‍රයම්ෆ් ඔෆ් ද විල් කියන්නේ ඒ කාලයේ හැටියට තාක්ෂණය ඉහළින්ම භාවිතා කරල හදපු චිත්‍රපටයක්. ගුවනේ සිට රූගත කරපු දර්ශන, වෙනස් කැමරා කෝණ සහිතව ඉතාම දර්ශනීය විදිහට නිර්මාණය කරල තිබ්බත් මේ චිත්‍රපටය පිටුපස තියෙන්නේ භයානක අරමුණක් කියලයි බොහෝ දෙනෙක් විශ්වාස කලේ. ඒ තමයි ඇඩොල්ෆ් හිට්ලර්ගේ නට්සිවාදය ප්‍රචලිත කිරීම. නාසි දේශපාලන රැළි සහ හිට්ලර් ඇතුළු නාසි නායකයන්ගේ ජනතා ඇමතීම් වලින් සමන්විත මේ චිත්‍රපටය ලෝකයේ එතෙක් මෙතෙක් හදපු හොඳම වාර්තාමය චිත්‍රපටයක් හැටියට සැලකෙනවා. එසේ වුවත් මේ චිත්‍රපටයේ යටි අරමුණ නට්සිවාදය ප්‍රචලිත කිරීම නිසා ජර්මනිය තුළ මේ චිත්‍රපටය තහනමට ලක්වී තිබෙනවා. හිට්ලර්ව දෙවියන් සමාන වූ ශ්‍රේෂ්ටත්වයකින් නිරූපණය කිරීමත්, භයානක අදහස් පැතිරවීමට තැත් දැරීමත් නිසා ලෝකයේ බිහිවූ මතභේදාත්මකම චිත්‍රපටයක් හැටියට මෙය සැලකෙනවා.

Cover Image Source – Lifie.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *