අපට ලබාදෙන ඇතැම් භාණ්ඩ හා සේවාවන් වලදී පාරිභෝගික සේවා ඇමතුම් ලබාගැනීමට සිදුවීම සාමාන්‍ය තත්ත්වයක්. නමුත් ලංකාවේ මිනිසුන්ට පාරිභෝගික සේවා ඇමතුම් එහෙමත් නැත්නම් කස්ටමර් කෙයා/කෝල් සෙන්ටර්/හොට්ලයින් කෝල් ගන්න එක තරම් අවුල් තත්ත්වයක් තවත් නැති තරම්. එය අතීතයේ වගේම අදත් එලෙසමයි. අතරින් පතර සාර්ථකව තම රැකියාව සිදු කරන අයෙකු හැරෙන්නට බොහෝ අවස්ථාවල පාරිභෝගිකයා කණගාටුවට පත්කරන මෙවැනි සිදුවීම් අදාළ සමාගමේ මෙන්ම බොහෝ සේවකයින් ලබාදෙන සේවයේත් අර්බුදයක්. මේ සටහන වෙන්වෙන්නේ ඒ විදියට ලංකාවේ තියෙන සමාගම්වල කස්ටමර් කෙයාර් වලට කෝල් ගන්නට යද්දි අපිට සිද්ධ වෙන අකටයුතුකම් ගැනයි.
1. නෝ මාක්ස්
මේක තමයි ලංකාවෙ කස්ටමර් කෙයාර්වලට තියෙන ලොකුම කම්ප්ලේන් එක. ඒ තමයි කෝල් එක ආන්සර් නොකරන එක. ඔන්න කෝල් එකේ රිංග්ස් දෙකක් යද්දිම බොහ් ගාලා ආන්සර් වෙනවා. ඊටපස්සෙ නම්කි කෙනෙක් අහනවා සිංහලද, දෙමළද, ඉංගිලිස්ද කියල. භාෂාව තෝරල ගිහිල්ල වතුර රත්වෙන්න දාලා, කෝපි එක හදාගෙන ඇවිත් ෆෝන් එකත් අරං පුටුවෙ වාඩි වෙනවා. හෙමිහිට කෝපි කෝප්පෙ බීලා ඉවරවෙද්දි දේවල් දෙකක් සිද්ධ වෙන්න පුළුවන්. ඉන් එකක් තමයි අපිට කේන්ති ගිහින් කෝල් එක කට් කරන එක. අනික තමයි මිනිත්තු 13ක් ගත වෙන තැනදී අදාළ අංශයෙන් කෝල් එක ආන්සර් කිරීම. එතන ඉඳන් සිද්ධ වෙන දේ ඊළඟ පොයින්ට්ස් වලින් විග්‍රහ කෙරෙනවා.
2. ඉතිං ඊට පස්සෙ?
ඔන්න ඉතිං බැරි අමාරුවෙන් කෝල් එක ආන්සර් කරා කියමුකො. ඊටපස්සෙ එනව කඩයිම් ප්‍රශ්න ටික. සර් ඕක කරන වෙලාවෙ බීලද හිටියෙ? අම්ම මොන පාට ඇඳුමක්ද ඇඳන් හිටියෙ? ඩෙනිම වැලේද තිබ්බෙ පුටුවෙද? වගේ කිසිත් නොගැළපෙන අංජබජල් ප්‍රශ්න ටිකක් අහලා ඉවර වෙලා ඔය කතා කරන මනුස්සයා කියනව සොමි උත්තරයක්. ආහ් සර් රීස්ටාර්ට් කරල බලන්න. එතකොට හරියයි. එහෙමත් නැත්තං ප්ලග් එකෙන් ගලවල ආයෙ ගහල බලන්න. පෙට්ටිය හොල්ලල බලන්න. කාඩ් එක ගලෝල බලන්න. පෙට්ටිය උස්සල බලන්න. පෙට්ටිය පහත් කරල බලන්න වගේ කුණුහරුප කියනවා. ඉතිං අපිත් ඒ කුණුහරුප කරල බලන්න හිතාගෙන ෆෝන් එක තියනවා.
3. ට්‍රාන්සර්
ඔන්න ඔය කියපු කුණුහරුප ටික කරලා හරි ගියේ නැති නිසා අපි කේන්තිය මැඩගෙන ආයෙත් ගන්නව කෝල් එකක්. ඒ කෝල් එක ටිකක් කේන්තියෙන් සැරෙන් ගන්න නිසා අර ඉස්සෙල්ලා ගිය මිනිත්තු 13ක කාලය ඉස්සෙල්ලට වඩා හෙමින් යනව වගෙයි දැනෙන්නෙ. ඔන්න කොහොමහරි අර නම්කිම හුරතල් ටෝකක් දාලා ආයෙ ආයෙත් රීස්ටාට් කරපං කියනව. ඊටපස්සෙ කටින් පයින්න හදන, ශිෆ්ට් එකත් එක්ක ඔබාගෙන ගහන සිම්බල්ස් ටික අමාරුවෙන් නවත්තගන්නව. ඔන්න නම්කිට තේරෙනෝ තව මිනිත්තු දෙකක් ඇතුළත මේ මිනිහා කුණුහරුප පලන විත්තිය. එ් නිසා ඉන්න බලන්න කියල, අපේ ටෙක්නිකල් ඩිවිෂන් එකට ට්‍රාන්සර් කරන්නම් කියන උත්තරේ දෙනවා. ඊටපස්සෙ නම්කිව කට්වෙලා ආයෙත් රිංග්ස් යන්න ගන්නව. අයෙත් ඉතිං කෝපි එකක් බොන්න පුළුවන්. මුං එක්ක කතා නොකර ෆෝන් එක කනේ තියං ඉන්න වෙලාවෙ මිනිස්සු කෝපිම බිව්වොත් දවස් දෙකෙන් බඩ වේලලා මැරෙන්නෙ.
4. ටෙක්නිකල් ඩිවිෂන් අයියා
ඔන්න ඔය විදියට නම්කිගේ කෝල් ට්‍රාන්සරෙන් පස්සෙ බැටන් පොල්ල අතට ගන්නෙ අයිය කෙනෙක්. මැදිවියේ ඒ අයිය නිවුණු තැවුනු ඩයල් එකක් වුනත්, අපේ කෝපයත් එක්කම පොරටත් පොරගෙ රැකියාව ගැන කෝපයක් ගොඩනැගෙන බව කතාබහෙන් තේරෙන්න ගන්නව. ආයෙත් නම්කි කියපු රීස්ටාට් ප්‍රශ්නෝත්තර හුවමාරුවෙන් පස්සෙ අයිය අපිට කලින් නොකියපු වෙනස් ඔප්ෂන් ටිකක් කියනව. ඒ ටික ගූග්ල් එකෙන් හොයලා වැඩ නොකරපු නිසා තමයි ගත්තෙ කිවුවම පොඩ්ඩක් හිටාං කියල, අයිය යනව දුරු කතර. ඔන්න අයිය දුරුකතර ගෙවාගෙන ආයෙ ඇවිත් අපිට කියනව මේක හරියන්නෙ නෑ මෙන්න මේ නොම්බරේ ලියාගන්න කියල. ස්වීප් එක ඇදෙනකං කැළුම් විජේසුරිය දිහා බලං ඉන්න සුවාසූදාසක් සීලාංකිකයො වගේ අපිත් ඉතිං ඔන්න කොළේට නොම්බර ලියාගන්නව. පස්සෙ අයිය කියනව ටිකකින් කෝල් එකක් ඒවි, එතකොට ඔය නොම්බරේ කියන්න කියල. ඊටපස්සෙ සිද්ධ වෙන දේ ගොඩක් අයට පොදු නෑ. එකිනෙකාට වෙනස්.
5. සියල්ල අවසන
සියල්ල අවසන කෝල් එකක් දෙනකං බලං හිටපු අපි දස අවුරුදු ආශ්චර්යමත් පාලනේ ඉවර කරලා දින සීයෙන් රට ගොඩ දානකං අවුරුදු තුනක් බලං හිටපු උන් ගාණට වැටෙනවා. තාමත් රට ගොඩ ගියේ නෑ වගේම තාමත් කෝල් එක ආවෙ නැති නිසා, අපිම කෝල් එකක් දෙනවා. කෝල් ගන්න මනුස්සය එක්ක රීස්ටාට් ප්‍රශ්නෝත්තර වටය අවසන් වෙලා අපි කියනව මෙන්න මෙහෙම නොම්බරයක් දීපු වග. ඒකට ලැබෙනවා විවිධ උත්තර. මල්ලි ඕක කැඩිලා. හදන්න බෑ. ගෙදරට සෙට් එකක් එවන්නං. අරං ආවොත් හදල දෙන්න පුළුවන්. හැබැයි ඉතිං කැඩිච්ච බඩුව අරං එද්දි ඒක එක්ක දීපු පෙට්ටි, සෙලෝෆේන් බෑග් ඇතුළු සියල්ල අරං ආ යුතුයි කියලත් කියනවා. ඔය අතරෙ කරුමෙ ලොකුවටම වැඩකරපු උන්ට ටෙක්නිකල් අයිය කෙනෙක් මේ විදියෙ සුපිරි උත්තරයකුත් දෙන්න ඉඩ තියෙනවා.
“ඕක හදන්න නං මං දන්නෙ නෑ”.
හැබැයි උත්තරේ දීපු ගමං අපි කුණුහරුප කියන්න කලින් අයිය තියනව ෆෝන් එක.
6. බිල්නොබිල්
ඔන්න ඔය විදියෙ සර්විස් වගේම තමයි බිල් ප්‍රශ්නත්. කස්ටමර් කෙයා, ටෙක්නිකල්, එකවුන්ට්ස්, හියුමන් රිසෝස් වගේ අංශ ඔක්කොම එකතු වෙලා බිල් ප්‍රශ්නවලට විසඳුම් හොයන නිසා ඒවට හෙන කාලයක් ගත වෙනවා. අනික ඒවට රික්වෙස්ට් කරන්න තියෙන විදියත් හෙන අමුතුයි. ඔන්න කෝල් එක දුන්නම අහනව මෙහෙම.
එයාලා – කෝ ඔයා රික්වෙස්ට් එක කළාද?
අපි – ඒක කරන්න තමයි ගත්තෙ?
එයාලා – ඒක කරන්නෙ මෙහෙම නෙමෙයි
අපි – එහෙනං
එයාලා – ඔයාගෙ බිල් ප්‍රශ්නෙ අපේ අකවුන්ට්ස් එකට ඇඩ්‍රස් කරලා නියමිත දත්ත එක්ක මෙන්න මේකට මේල් කරන්න
අපි – ඇයි ආයෙත් මේල් කරන්නෙ?, මේ කෝල් එකෙන් රික්වෙස්ට් එක දාන්න බැරිද?
එයාලා – බෑ. ඒක අකවුන්ට්ස් සෙක්ෂන් එකේ ප්‍රශ්නයක්
අපි – උන්ට ෆෝන් නැද්ද?
එයාලා – එයාලට කස්ටමර් කෙයාර් එකක් නෑ. රික්වෙස්ට් කරන්න වෙන්නෙ අදාළ දත්ත ටික දාලා මේල් එකකින්ම තමයි
අපි – මොනවද අදාළ දත්ත?
එයාලා – ඒක ඉතිං ඔයාගෙ ප්‍රශ්නෙ අනුව වෙනස් වෙනවා. මොකද්ද ඔයාගෙ ප්‍රශ්නෙ?
අපි – ඇයි මං දැන් පැය භාගෙකට කලින් කිවුවෙ?
ඔන්න ඔය විදියට පකිස් බූරුවොන්ට ප්‍රංශ කියල දෙන්න උත්සාහ කරනව වගේ සෙෂන් එකකට මුහුණ දෙන්න වෙනවා බිල් ප්‍රශ්නවලදි.
7. කෑම කෝ?
ඔය කිවුව කස්ටමර් කෙයාර් ප්‍රශ්න කොහෙටත් එකයි. ආයෙ ඉතිං හොට්ලයින් කියලත් වෙනසක් නෑ. උදාහරණෙකට හිතන්නකො මෙහෙම. අපිට කෑම ගෙන්නගන්න අපි දානව ඕඩරයක්. ඔන්න ඕඩරේ දානකොට කියනව පැය බාගෙන් අපේ චිකන් තොගේ කටේ කියල. හැබැයි මිනිත්තු හතලිස්පහක් ගිහිල්ලත් කට පිරෙන්න ඈනුම් ඇරෙන්න වෙනිං මොකුත් නෑ. ඔන්න කොහොමින් කොහොමහරි ආයෙ දනිපනියෙ ගන්නව කෝල් එකක්. නම කියල, එඩ්‍රස් කියලා, සීඑල්අයි තියෙන ලෝකෙක ආයෙ ආයෙත් ෆෝන් නම්බරෙත් කියල, ඕඩර් නම්බර් එකත් කියලා, ඕඩරේ දාපු වෙලාවත් කිවුවම කියනවා… ආ සර් රයිඩර් දැන් මිනිත්තු 40කට කලින් පිටත් වෙලා තියෙන්නෙ, එයා මේ වෙද්දි ඇවිත් ඉන්න ඕන කියල. එතකොට ඉතිං අපේ චිකන් උන්ගෙ කටේ ඔබන්න හිතෙනවා.
Cover Image Source – talkroute.com / onhold.co.ca / youtube.com
Leave a Reply