ඇසට කඳුලක් නංවන සංවේදී චිත්‍රපට 10ක්

Most Sensitive Movies

චිත්‍රපට විතරක් නෙමෙයි ඕනෑම කලා මාධ්‍යයක සංවේදී රස නිෂ්පත්තියට ප්‍රමුඛ තැනක් හිමි වෙනවා. ඇස කඳුලින් පුරවන්න සමත් ගීත, කවි, කතා අපට නිරන්තරයෙන්ම හමු වෙනවා. අපි මේ කියන්න යන්නේ ඒ වගේ සංවේදී චිත්‍රපට කිහිපයක් ගැන. මේ ලැයිස්තුවේ නැති ඔබේ ඇසට කඳුලු නැංවූ චිත්‍රපට පිළිබඳ අදහස් අපත් එක්ක බෙදාගන්න කියන සුහද ආරාධනයත් එක්කම අපි චිත්‍රපට දිහාවට යොමු වෙමු.

 

1. Titanic – ටයිටැනික්

1912 දී සිදුවූ ටයිටැනික් ඛේදවාචකය ලොවක්ම කම්පා කල සිදුවීමක්. ඒ වගේම ටයිටැනික් නැවේදි සිදුවන, විරහවකින් කෙළවර වන ආදර කතාව පසුබිම් කරගත්තු ටයිටැනික් චිත්‍රපටයත් සිත් සසළ කල සංවේදී චිත්‍රපටයක්. ආදායම් වාර්තා අතින් ඉහළම තැනක තිබුණු ටයිටැනික් චිත්‍රපටය සංවේදී චිත්‍රපට වර්ගීකරණයේ ඉහළින්ම රැඳිලා ඉන්නවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ ජේම්ස් කැමරන්.

2. The Notebook – ද නෝට්බුක්

පොහොසත් තරුණියක් එක්ක ආදරයෙන් බැඳෙන සාමාන්‍ය පවුලක තරුණයෙක් ගැන කියවෙන සුන්දර ආදර කතාව IMDB දර්ශකයේ සංවේදීම චිත්‍රපට ලැයිස්තුවේ ඉහළින්ම රැඳිලා ඉන්නවා. තරුණියගේ පවුලෙන් ඔවුන් දෙදෙනාගේ සම්බන්ධයට එල්ල වන විරෝධයට ඔවුන් දක්වන ප්‍රතිචාරත් එක්ක චිත්‍රපටය සංවේදීව ගලා යනවා. මේ සිනෙරුව නැරඹූ බොහෝ දෙනෙක්ගේ ඇසට කඳුලු නැංවූ සිනෙරුවක් විදිහටයි හැඳින්වෙන්නේ. අධ්‍යක්ෂණය නික් කැසවෙට්ස් විසින්.

3. A Walk to Remember – වෝක් ටු රිමෙම්බර්

දඟකාර තරුණයෙක් එක්ක ආදරයෙන් බැඳෙන සාම්ප්‍රදායික කෙල්ලෙක්. ඉදිරියටම ගලාගෙන යන ආදරයක්. ඒ හැමදේම සිහින කරමින් තරුණියට වැළඳෙන රෝගයක්. මේ හැමදේම එක්ක ගලාගෙන යන චිත්‍රපටයක්. ආදරය ගැන හරියටම කියලා දෙන සංවේදී සිනෙරුවක්. අධ්‍යක්ෂණය ඇඩම් ශැන්ක්මන්.

4. Grave of the Fireflies – ග්‍රේව් ඔෆ් ද ෆයර්ෆ්ලයිස්

ඉතාමත්ම සංවේදී ජපන් ඇනිමේටඩ් චිත්‍රපටයක් තමයි මේ. සමහරු මේක ලෝකෙ එතෙක් මෙතෙක් හදපු දුකම චිත්‍රපටය හැටියටත් හඳුන්වනවා. ලෝකයේ හොඳම යුධ චිත්‍රපටයක් හැටියටත් මේක සැලකෙනවා. දෙවැනි ලෝක යුධ සමයේදී ඉතාම අසරණ තත්ත්වයට පත්වෙන දරුවන් දෙදෙනෙක්ගේ අවාසනාවන්ත කතාවක් තමයි ග්‍රේව් ඔෆ් ද ෆයර්ෆ්ලයිස් කියන්නේ. යුද්ධයේ බිහිසුණු බවත් සොහොයුරු පෙමත් ගැන කියවෙන, චිත්‍රපටය නැරඹුවාට පස්සෙ කාලයක් යනකම් ඔබේ හිතේ හොල්මන් කරන්න සමත් අති සංවේදී චිත්‍රපටයක් මේක.

5. Kabhi Kushi Kabhi Gham – කභි කුශි කභි ඝම්

ඉන්දියානු සිනෙමාවේ ප්‍රේමණීයම යුවල ශාරුක් – කාජල් සුසංයෝගය සමග රිතික් රෝශන්, කරීනා කපූර්, අමිතාබ් බච්චන්, ජයා බච්චන්ගේ රංගනයෙන් හැඩවුණු මේ සිනෙරුව 2001දී එළි දුටුව චිත්‍රපටයක්. බොහෝ කලකට පෙර තම පවුලෙන් වෙන් වුණු වැඩිමල් සොහොයුරා සොයා යන බාල සොහොයුරෙක් ගැන කියවෙන මේ සිනෙමා පටය සහෝදර පෙම ඉස්මතු කරන්නක්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ කරන් ජොහාර්.

6. Alai Payuthey – අලෙයිපායුතෙයි

පරිගණක ඉංජිනේරු තරුණයෙක් සහ වෛද්‍ය ශිෂ්‍යාවක් පෙමින් බැඳෙනවා. නිවෙස් වල අකමැත්ත නිසා ඔවුන්ට විවාහ වන්නට සිදුවන්නේ රහසිගතව. සරල සිංහලෙන් කිවුවොත් ඔවුන් දෙන්නා පැනලා යනවා. ඔවුන්ගේ විවාහ ජීවිතය හිතූ තරම් සුන්දර වන්නේ නැහැ. ආදරය, බැඳීම්, ජීවිතය ගැන කියැවෙන සංවේදී සිනෙරුවක් විදිහට අලෙයි පායුතෙයි අවිවාදයෙන් නම් කරන්න පුළුවන්. සිනෙමා පටයේ අධ්‍යක්ෂණය මනිරත්නම්.

7. Barfi – බාර්ෆි

මෙය ඔබ නොදන්නා සිනෙමා පටයක් විය නොහැකියි. 2012 හින්දි සිනෙමාවට එකතු වූ මේ සිනෙමා පටය ඉතා සංවේදී වුනේ එහි චරිත වල සංවේදී බව නිසා වගේම ඒ චරිත වලට මනා සාධාරණයක් ඉෂ්ට කරන්නට සමත් වුණු නලු නිලියන් නිසාමයි. ගොලු බිහිරි තරුණයෙක් සමග පෙමින් බැඳෙන තරුණියක් පසුව වෙනත් අයෙකු සමග විවාහ වනවා. කාලයක් යද්දී විවාහ ජීවිතයේ ඒකාකාර බව ඇයව පීඩාවට පත් කරනවා වගේම ඇයට දැනගන්නට ලැබෙනවා ඇය ආදරය කල ගොලු තරුණයාගේ දැන් ආදරය හිමිව ඇත්තේ මානසික ආබාධයකින් පෙළෙන තරුණියකට බව. මේ තුන් දෙනාගේ ජීවිත අතර ගලායන කතාව අතිශය සංවේදී බව අවිවාදයෙන්ම කිව හැකියි. අධ්‍යක්ෂණය අනුරාග් බාසු ගෙන්.

8. My Name is Khan – මයි නේම් ඉස් ඛාන්

2010 වසරේ සිනෙමාව හැඩ කල මේ සිනෙරුව ආදර කතාවක් වගේම ඊට යටින් දිවෙන විශාල දේශපාලන කතාවකින් ද සමන්විත වුණා. රිස්වාන් ඛාන් නම් ඇමරිකාවේ ජීවත් වන, ඇස්පර්ගර්ස් සින්ඩ්‍රෝම් නම් මානසික ආබාධයෙන් පෙළෙන මුස්ලිම් තරුණයෙක්, දික් කසාද වී සිටින, මන්දිරා නම් හින්දු ජාතික එක් දරු මවක් සමග ප්‍රේමයෙන් බැඳෙනවා. අවසානයේ සියල්ලන්ගේ ආශිර්වාදය මැද ඔවුන් විවාහ ප්‍රාප්ත වනවා. සතුටින් ගෙවෙන ඔවුන්ගේ ජීවිත වලට කණ කොකා හඬන්නට පටන් ගන්නේ 9/11 ප්‍රහාරයත් සමගයි. එයින් පසු මුස්ලිම් වරුන්ට එරෙහි භීෂණයක් ඇමරිකාව තුල යම් තාක් දුරකට නිර්මාණය වන අතරේ එහි ප්‍රතිඵලයක් ලෙස ඛාන් යන නම අගට යෙදී තිබීම හේතුවෙන් මන්දිරාගේ පුතා පාසලේදී ඝාතනයට ලක් වෙනවා. එයින් පසු ඇතිවන සිද්ධි දාමය ඔස්සේ ගලා යන චිත්‍රපටය නිමාව දකින්නේ සංවේදී මානුෂීය පැතිකඩකට අපේ හදවතේ ඉඩ විවර කරමිනුයි. සිනෙරුව අධ්‍යක්ෂණය කලේ කරන් ජොහාර්.

9. Requiem for a Dream – රික්වයම් ෆො අ ඩ්‍රීම්

දැනුවත් කමින් සහ නොදැනුවත්කමින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වන චරිත කීපයක් වටා තමයි මේ විශිෂ්ට චිත්‍රපටය හැදිල තියෙන්නෙ. මත්ද්‍රව්‍ය වලට තදින් ඇබ්බැහි වෙලා ඉන්න එක තරුණයෙක් අහම්බෙන් දැනගන්නවා තමන්ගේ මවත් නොදැනුවත් කමින් ඖෂධයක්ය කියා රැවටිලා මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වෙලාය කියලා. ක්‍රම ක්‍රමයෙන් මේ අයගේ ජීවිත විනාශය කරා ඇදෙන්නේ නරඹන්නන්ගේ හිත් බෙහෙවින් සසළ කරලයි. චිත්‍රපටය අවසානය ඕනෑම කෙනෙකුගේ ඇස් තෙත් කරන්න තරම් සංවේදීයි.

 

10. Moondram Pirai – මූන්ඩ්‍රම් පිරෛ

මේ ලැයිස්තුවේ ඇතුළත් වූ අනෙක් චිත්‍රපටවලට වඩා පැරණි චිත්‍රපටයක් තමයි මූන්ඩ්‍රම් පිරෛ කියන්නේ. 1982 දී තිරගත කරපු මේ චිත්‍රපටය සද්මා නමින් හින්දියටත් පරිවර්තනය වුණා. හදිසි අනතුරක් නිසා මතකය අමතක වෙලා මානසික ආබාධයකට ලක්වුණ තරුණියක්ව රැකබලාගන්න තරුණයෙක් වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. සුන්දර ආදර කතාවක් ලෙසින් දිගහැරෙන මේ චිත්‍රපටය අවසන් වන්නේ නරඹන්නන්ගේ හිත රිදවන ඉතා සංවේදී සිදුවීමකිනුයි. කමල් හසන් සමගින් ශ්‍රී දේවි මෙහි ප්‍රධාන චරිත නිරූපණය කලා.

 
Cover Image Source – Lifie.lk
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *