“අම්මලට මේව තේරෙන්නෙ නෑ අම්මෙ… අපි මේ වෙලාවෙ රට වෙනුවෙන් මේ වෙනස කරන්නෝනෙ”
ඉර නැගෙන්නටත් කළියෙන්, පාන්දර අඳුර අස්සෙන් මල්ලී නොපෙනීගෙන ගියේ එහෙම කියාගෙන. තරුණ විප්ලවයක ඉර උදාවෙමින් ආපු කාලයක් ඒක. අම්මා හිටියේ ඈත බලාගෙන, අම්මගෙ මූණේ තිබ්බේ දුකක්ද සතුටක්ද කියලා එවෙලේ මට තේරුණේ නැහැ.
“කොල්ලට කවදත් වැරැද්ද අසාධාරණේ දැක්කම කේන්ති යනවා”
ගොඩ වෙලාවකට පස්සෙ අම්මා ගෙට ගියේ එහෙම කියාගෙන…
අපි මල්ලිව ඊට පස්සෙ දැක්කෙ දවස් දෙකයි.
……………………………………….
අම්මා ඇස් පුංචි කරගෙන ලොකු අයියාගෙ පින්තූරෙ හොයනවා… අම්මලා දහස් ගාණක්, පින්තූර දහස් ගාණක්…
මගෙ හිත අවුරුදු දහයකට විතර කලින් උදාවුණ ඒ මූසල දවස හොයාගෙන ගිහින් අපේ ගෙදර කුස්සි කෑල්ලෙන් නැවතුනා. අයිය බෝම්බෙට අහුවෙලා කියල නිව්ස් එක එද්දි අම්ම කන්න බත් එක බෙදාගත්ත විතරයි. අම්මා එහෙමම කුස්සියේ පුටුවකට වාරු උනා මට හීනෙන් වගේ මතකයි.
මම ආයෙ රණවිරු සමරු ඵලකය ඉස්සරහදි වර්තමාන කාලෙට අවතීර්ණ වුණා… අම්මා අයියගෙ පින්තූරෙ හොයාගෙන මට ඇඟිල්ල දික් කරනවා.
“දුවේ… ලොකු පුතා”
……………………………………….
“ලබන මාසෙ තාත්ත නැතිවෙලා විසි පහකට වෙන්න එනවා. මං බැලුවේ මේ පාර හීල් දානෙ ගන්න… මැගීටත් දැන් වැඩිය වෙහෙසෙන්න බෑනෙ.”
අම්මගෙ කටහඬ ටෙලිෆෝන් වයර් දිගේ ඇදිල ඇවිත් මගෙ කණට වැටෙද්දි මට හීල්ලුනා. මැගි නැන්දගෙයි අම්මගෙ වයසක ජීවිත දෙක තනිවෙච්ච මහගෙදර බිත්ති වල අඳුර මගේ හිතෙත් තැවරුණා.
මං රිසීවරේ තියල අනිත් පැත්ත හැරෙද්දි අරුණ මගේ පිටිපස්සෙ.
“යංද…? ෂෝ එකටත් පරක්කු වෙනව”
මං ‘හා’ කියල මූණට හිනාවක් නගා ගත්ත.
……………………………………….
“ආච්චි අම්මට වඳින්න”
පොඩි මල්ලිගෙ කෙල්ලයි මගෙ කොල්ලො දෙන්නයි තරඟෙට දුවන් ගිහින් අම්මට දණ ගහල වැන්දා. ඊළඟට අපේ වාරෙ.
“මං හිතුවා කෑම ටිකක් කාල අද ඉඳලා කරලා යාවි කියල. මේ පැටව් ටිකත් ආසයි වගේ මෙහෙට.”
අම්මා එහෙම කියලා මගේ ඔළුව අතගාද්දි මගේ ඇස් දෙක නැවතිලා තිබ්බෙ අම්මගෙ දෙකකුල් ළඟ. අම්මා වැහැරිලා, ගොඩක් වයසට ගිහිල්ල කියලා මට හිතුනා.
“අපි අද කණ්ඩලම බුක් කරල ආවෙ අම්මෙ… ඊළඟ අවුරුද්ද්දෙ බලමු.”
…………………………………
මල්ලී එක දිගට කියවනවා…
“ඔය ඉඩං කෑල්ලට මොකට නහිනවද? ඕක විකුණල දාන්න කියන්න. අක්කට පුළුවන්නෙ අම්මව අක්ක ගාවට ගන්න. මාත් වියදම් වල ෂෙයා එක දෙන්නම්. මේ ෆ්ලැට් වල ඇවිත් අම්මට නිවී හැනහිල්ලේ හුස්ම ගන්නවත් ඉඩක් නෑනෙ බං අක්කෙ. එහෙමම බැරි උනොත් අපි එල්ඩර්ලි හෝම් එකක් බලමුද? දැන් ලොකු පවුල් වල උදවියත් ඒ තැන් තමයි තෝරගන්නෙ. අනික සම වයසෙ අය එක්ක ඉන්දැද්දි පාළුවකුත් නෑ. අපිට බැරිය ඕනෑ එපාකම් බලන්න.”
මල්ලී හදන්නෙ අම්මගෙ වගකීම මගේ පිට පවරන්න. මගේ හිත ඇතුළෙනුත් කේන්තියක් මතු වේගෙන ආව.
“මටත් මෙහෙ ළමයින්ගෙ සුමේ එක්ක අම්ම ගැන හොයන්න බලන්න අමාරුයි මල්ලි…”
……………………………….
“I just want you to know how special and fortunate I find myself to be blessed with a mother as loving, caring and wonderful as you.”
ගමේ ගියපු වෙලාවේ කට්ටියම අම්ම එක්ක එකට ඉඳලා ගත්ත පින්තූරෙට වචන පේළිය දාල FB දැම්ම. පොඩි පුතා මගෙ උරහිසට උඩින් එබුණා.
“අම්මි අපි ඊළඟ පාර ගමේ යද්දි අච්චම්මට ස්මාට්ෆෝන් එකක් අරගෙන දෙමු නේද?”
“ඇයි ඒ?”
“අච්චම්මගෙ පරණ නොකියා ෆෝන් එකට මේව පෙන්නෙ නෑනෙ අම්මි.”
විනාඩි පහක් ඇතුළේ වැටිල තිබුණ හාට් රිඇක්ෂන් 10යි ලයික්ස් 2යි බොඳවේගෙන යනව කියල මට තේරුණා…
Cover Image Source – wordpress.com / pixel.com / theisland
Leave a Reply