වැඩ කියද්දි හැමදාම කාර්යාලයට යෑමම නෙමෙයි. ඉන් එහා ගිය බොහෝ බොහෝ දේ කලට වෙලාවට කරන්න අපිට අතපසු වෙනවා. ජපනා කියන මිනිහා දියුණු වුන එක් තැනක් විදියට ජපන් රටේ මිනිසුන් වෙලාවට වැඩ කිරීමේ පුරුද්ද දක්වන්නට පුලුවනි. පිරිසක් එකතු වී කරන වැඩකදි ඒ තැන එකම වෙලාවට පිරිසක් එක් රැස් වුනොත් එතනදි අපිට හැකියාව ලැබෙනවා අනික් අයගෙත් අපේත් කාලය ඉතුරු කරගන්න. දාහක් හමාරක් ඉන්න මීටිමක් විනාඩියක් පරක්කු වුනත් ඒ නාස්ති වෙන්නේ ඒ පිරිසගේ සහ රටේ සල්ලි.
1. අහ්… කෝච්චි ස්ට්‍රයික් නේ

Source – wordpress.com
කොළඹ පළාතේ නම් කෝච්චි ස්ට්‍රයික් කියන්නේ එතනින් එහා වැඩ ගොඩක් අවුල් යනවා. දුම්රිය ගැන කියද්දි අපේ රටේ තරම් වෘත්තිය අයිතිවාසිකම් අනර්ඝ ලෙස තිබෙන රටක් ලෝකයේම නැතුව ඇති. උදෑසන පැවැත්වෙන ස්ට්‍රයික් එක දැනුම් දෙද්දි ඇතැම් විට ජනයා නැගිටලා ඉස්ටේශමට ඇවිල්ලාත් ඉවරයි. නැතිනම් එකපාර කිසිම කලින් කීමක් නැතුව කෝච්චි මග නවත්වනවා. සාමාන්‍යයෙන් පොඩි ළමයෙක් වැරදි තැනක ජරා කලාම වැඩිහිටියෝ පොඩි ළමයාට කරුණාවෙන් කියා දීලා බැරිනම් දඬුවමක් හරි දීලා ඒක හදාගන්නවා. දුම්රිය සේවය දිහා බැලුවාම මොන වැරැද්ද කලත් දඬුවමක් නම් ලබපු පාර්ශවයක් පේන්න නැහැ. සමහර අවස්ථාවල දුම්රිය ලොක්කෝ වැඩ වර්ජකයින්ට සපෝට් කරනවාද කියලා හිතෙන වෙලාවලුත් එමටයි.
2. අහ් දොස්තර මහත්මයා පරක්කුයි නේ

Source – blogger.com
දත හිරි වැටෙන්න ඉන්ජෙක්ෂන් එකක් ගහල දොස්තර ගියා වෙන ලෙඩෙක් බලන්න, දැන් පැයක් වෙනවා, හක්ක නෑ වගේ දැනෙන්නේ.
අපි චැනල් එකකට ගෙවලා දොස්තර මහත්මයෙක් ඒවිය කියලා වෙලාවක් වෙන් කරගන්නවා. බොහෝවිට මේ කියන වෙලාවට දොස්තර ඒ අපි යන චැනල් එක ළඟටවත් ඇවිත් නැහැ. ඉතිං පෑ ගණන් රස්තියාදු වෙන්නට අපිට සිද්ද වෙනවා. මේ වගේ වගකිව යුතු, අපි මුදල් ගෙවා වෙන්කරගන්නා වෙලාව පවා වරද්දන විට අපේ රාජකාරි සහ අපි විසින් කල යුතු දේවලුත් කල් යනවා. මුදල් ගෙවා තිබේ නම් අඩුගානේ පැය බාගෙකින්වත් ආවේ නැත්නම් ඒ ගෙවූ මුදල් යළි ලබාගන්න ක්‍රමයකුත් අපිට නැහැ. අපි ගෙව්ව නම් ගෙව්වාම තමයි. දොස්තර මහත්වරු වගේ අය එක්ක වාද විවාදත් බැහැ නේ… ඉතිං රෝගියා, රෝගියා රැගෙන එන වාහනය, ඒ සමග යන අපි ඇතුලු බොහෝ දෙනාට පමා කරමින් තමයි අපේ දොස්තර මහත්තුරු ප්‍රමාද වෙන්නේ. ආන්න ජපානේ කියලා අපිට ඉඳලාම ජපානේ පෙන්වන දොස්තර මහත්වරු රූපවාහිනී වැඩසටහන් වල දකිනවා. ඇත්තටම ඒ දොස්තර මහත්තයවත් එයාගේ චැනල් එකට වෙලාවට යනවද?
3. එතුමා

Source – gossip-lankanews.com
ඔක්කොම හරි! මැඩම් ට තියෙන්නේ ටිකක් කලින් එන ඒකයි.
එතුමා වෙලාවට එන අවස්ථා බොහෝම අඩුයි. එතුමා එනතෙක් විවෘත කිරීම්, වැඩ පටන් ගැනීම්, මීටින් පටන් ගැනීම් කීයක් නම් දවසකට අපේ කල් යනවාද? ජපානේ නම් මෙහෙමයි කියලා එතුමා ජපන් ගිහින් ඇවිත් අපිට කිව්වාට, එතුමා ඡන්ද කාලේ අපේ ඡන්දේ හිඟාකන්නවත් හරි වෙලාවකට ආවද? නෑනේ. පොකට් මීටිමට බීම බෝතල් තියාගෙන, ජනයා රැස් කරගෙන, සරසගෙන, හවස ඉඳන් බලා ඉද්දි මෙන්න එතුමා එන්නේ මහ රෑ වෙලා. .ඉතිං ඒ වගේ අයගෙන් අපි කෝමද අනාගත ජපානයක් ලංකාවේ බලාපොරොත්තු වෙන්නේ?
4. උත්සව නේ

Source – festivalsharpa.com
උත්සව කියද්දි අනෙකාට පීඩාවක් නොවන ආකාරයට උත්සව පැවැත්වීමට වඩා අපේ ලොකු තැන් වගේම ජනයාත් උත්සාහ කරන්නේ මිනිසුන්ට වඩාත් පීඩාවක් වෙන ආකාරයටම ඒවා පවත්වන්න. පෙරහැරක් නම් පාර බ්ලොක් නොවුනොත් වැඩක් නෑ… ඒ වගේ විවිධාකාර උත්සව සහ උත්සව කාල නිසාත් අපේ පාරවල් බ්ලොක් වෙලා වැඩට වෙලාවට යන්න බැරිවෙනවා. ජපනා නම් උත්සව නිසා අනුන්ගේ වැඩ සහ තමුන්ගේ වැඩ පාඩු කරගන්නා අවස්ථා අඩු ඇති.
5. අපි යන්නේ කොයි පාරේ

Source – baltimoresun.com
මෙහෙම කියමින් පිරිසක් මාසෙකට දෙතුන් වතාවක් කොළඹ එනවා. ඇවිත් පාරවල් හිර කරන් පෙළපාලි යනවා. ඔවුන්ගේ සුරතාන්තය සම්පූර්ණ වන්නේ හරියට මුළු කොළඹම වාහනයක් යන්නම බැරි ගාණට වාහන බ්ලොක් වුනොත් පමණයි. උදේ ඉඳන් කොහේට හරි වෙලා වේලි වේලි ඉඳලා, හැන්දෑවේ ඔෆිස් අරින වෙලාවටම අපි යන්නේ කොයි පාරේ කණ්ඩායම පාරට බැහැලා අනික් මිනිස්සුන්ගේ වෙලාව ආහාරයට ගන්නවා. ඉතිං එයාල කොයි පාරේ ගියත් අනික් අයට බාදාවක් නොවෙන්න “අපි යන්නේ කොයි පාරේ” කණ්ඩායම් යන්න උත්සාහ කරනවා නම්, ආන්න එදාට අපිටත් ජපනා වගේ වෙලාවට වැඩ කරන්න හැකි වෙයි.
6. ට්‍රැෆික් සහ මෙට්‍රො මොනො රේල්

Source – actionpixel.com
මේ අද ඊයෙක නෙමෙයි, මීට වසර සිය ගාණකට පෙර ලන්ඩන් නුවර, මොස්කව් නුවරත් මේ අපේ කොළඹ වගේ ට්‍රැෆික් තිබුනා. වාහනයක් හරෝගන්නත් යනවා විනාඩි දහයක් විතර. ඉන් පස්සේ ඒ රටවල් පොළවට යටින් උමං ගහලා හෝ උඩින් ට්‍රැක් ගහලා මෙට්‍රො දුම්රිය ඇති කලා. ඉන්දියාවේ දිල්ලි, මුම්බයි, බැංගලෝර්, චෙන්නයි වගේ නගර 4කම මේ වෙද්දි සාර්ථක මෙට්‍රො සහ මොනෝ රේල් තියෙනවා. ට්‍රැෆික් කියන්නේ වාහනයකට පාරේදී ඉදිරියට යන්න බැරි බාධාව. අපිට මෙට්‍රො දුම්රිය සේවයක් හෝ මොනො රේල් සිස්ටම් එකක් තියේනම්, ඒ හරහා ගමන් පහසුව වාහනයකට වඩා ලේසියෙන් ගන්න හැකි නම් මිනිස්සු ඒවයේ යාවි. කොහොම වුනත් අපේ පාලකයෝ ඒ වගේ දේවල් කියද්දි ජපානේ වගේ රටවල් උදාහරණයට ගන්නවා. තව ප්‍රසන්ටේශන් වලට පිංතූරත් ජපානෙන් එහෙම ගන්නවා. ඒත් අපි වැඩට යන්න ගියාම හැමදාම ප්‍රසන්ටේශන් විතරයි. මහපොළවේ ඒවා ඉදිවෙන දවසක් නැහැ.
7. අපේ වෙලාවට යන ඇටිටියුඩ් එක

Source – odessy.com
ඉස්සර අපි ස්කෝලේ යන කාලේ පරක්කු උන වෙලාවට සර් ඇහුවම හැමදාම බස් ප්‍රමාදයි. කෝච්චි ලේට්, ට්‍රැෆික් වගේ දේවල් කියනවා. ඇත්තටම ඒ අස්සේ වැඩිපුර නින්ද ගිය, අනේ අද කම්මැලියි කියලා හිතුන දවසුත් තිබුනා නේද? වැඩට යද්දිත් එහෙමයි. රෑට ජපනාගේ විස්කම් බලල නින්දට ගියාට අපිට උදේ වෙද්දි නැගිටින්න හිතෙන් නෑ… වැඩට යන්න මොකද්ද වගේ. හැමදාම යන බස් පරක්කු නම්, දුම්රිය පරක්කු නම් අපිට ටිකක් උදෙන් යන්නට වෙනවා වැඩට. කාලයක් එහෙම වැඩට යද්දි අපි හැමදාම උදේ යන කුරුල්ලෙක් බවට පත්වෙලා, ඒ තැන්වල හොඳ ලකුණක් අපේ නමට කලින් එකතු වෙනවා.
වෙලාවට වැඩ කිරීම කියන්නේ අපිට විතරක් නෙමෙයි. සමාජයටම වැදගත් යෙදීමක්. පාලකයො අපිට වෙලාවට ජපනා වගේ වැඩට යන්න හැකි පරිසරයක් හදලා දීලා අපිත් ඒ ජප්ස් ලා වගේ වෙලාව වරද්දන් නැතුව වැඩ කරන්න හුරුවුනොත්, අපිටත් ජපානය දක්වාම නැතත් ඒ මගට හරි යාගන්නට හැකියාව ලැබේවි.
Cover Image Source – japanpost.com
Leave a Reply