මොකක් හරි තැනක නමක් හැදුන විදිය ගැන ඔයා කොයි වෙලේ හරි හිතලා තියනවද? ගමක නමක් රටක නමක් හැදුණ විදිය වගේ සෑහෙන පොදු දෙයක් ගැන එහෙම හිතනවාට වඩා බස් හෝල්ට් එකක් වගේ නිතර දෙවේලේ ඇහැ ගැටෙන තැන්වල නම් හැදුන විදිය ගැන පුංචිම හරි කුතුහලයක් ඇති වෙලා නැද්ද? MC, රෝයල්, සලාකා, ටවුන් හෝල් ගැන කියලා බස් කොන්දොස්තර ටිකට් කඩනකොට ඇත්තටම ඒ නමින් හැඳින්වෙන තැන අපිට අදටත් දකින්න පුළුවන්. ඒත් සමහර බස් හෝල්ට් තියනවා ඒවාට වැටුණ නම්වලට හේතු වුණ ස්ථාන කාලයත් එක්කම නැතිවෙලා ගියත් තාමත් ඒ නමින් ම හඳුන්වන. මේ එහෙම තැන් කීපයක්.
1. කුණු මෝල

Source – lifie graphics
මෙතන තමයි ඉස්සර කොළඹ තියන දහජරාව සේරම වගේ පුච්චලා තියෙන්නේ. පිටකොටුව පැත්තට එනකොට සුගතදාසේ හරියේ පාරෙන් වම් පැත්තට වෙන්න තමයි මේ කුණුමෝල තිබ්බේ. මේ හරියෙදී බස් එකෙන් බැහැලා චුට්ටක් ඉස්සරහට ගියාම පඩිපෙළක් තියනවා. එතැනින් බොරැල්ලට යන බස් එකක නගින්න පුළුවන්. උදාහරණයක් විදියට 230 අංකය දරන බස් එකක ඇවිත් කුණු මෝලෙන් බැහැලා බොරැල්ලට යන බස් එකක නගින්න පුළුවන්කමක් තියනවා.
2. රෙදි මෝල

Source – lifie graphics
චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ආණ්ඩුව පැවැත්වුණ සමයේ වැල්ලවත්තේ තිබ්බ ලොකු රෙදි මෝලක් වැහුවා. දැන් එතන තියෙන්නේ විශාල නිවාස සංකීර්ණයක්. අද හැව්ලොක් ටවුමෙන් කට්ටිය බහින්නේ මෙන්න මෙතනයි. තාමත් බොහෝ දෙනා පුරුද්දට කියන්නේ රෙදි මෝලෙන් බහිනවා කියලා. මාර්ග අංක 120,138, 141,190 වගේ බස්වලට මේ හෝල්ට් එකෙන් නගින්න පුළුවන්.
3. ගාමිණී හෝල්

Source – lifie graphics
ගාමිණී හෝල් කියන්නේ 1983 කලු ජූලියේදී විනාශ කෙරුණ චිත්‍රපට ශාලාවක්. අද ඒක දකින්න නැහැ. ඒත් තවමත් බස්වල කොන්දොස්තර අයියා ටිකට් කඩන්නේ ගාමිණී හෝල්වලට. ඩාලි පාරේ යන 120, 125 වගේ බස් ගාමිණි හෝල් හෝල්ට් එකේදී නවත්තනවා.
4. කල්පනා

Source – lifie graphics
කල්පනා කියන්නෙත් චිත්‍රපට ශාලාවක් නිසා නමක් පටබැඳුණ බස් හෝල්ට් එකක්. දැන් ඒ චිත්‍රපට ශාලාව නම් දකින්න නෑ. ඒකත් ගිනි තියලා විනාශ කරලා දැම්මා. ඒත් අංක 141 දරන බස්වල යන අය අදටත් කල්පනා එක ගාවින් බහිනවා.
5. ස්වීට් හවුස්

Source – lifie graphics
පොතේ හැටියට නම් මේ හෝල්ට් එකේ නම හයේ කණුව. නුගේගොඩ අනුලා විද්‍යාලය පහු වුණාම තියන බස් හෝල්ට් එක තමයි මේ. කාලෙකට කලින් මෙතන තිබුණා ස්වීට් හවුස් එකක්. ඒ නමින් අදටත් සමහරු ටිකට් ගන්නවා.
6. ලාල්සිරි

Source – lifie graphics
මොරටුවේ කටුබැද්ද ප්‍රදේශයේ තිබුණා මේ නමින් ලී බඩු සාප්පුවක්. මේ අසල තිබුණ නිසා බස් හෝල්ට් එකට ලාල්සිරි කියන නම වැටුණා. ලාල්සිරි ෆර්නිචර්ස් පාඩු ලබපු නිසා වහලා දැම්මා. ඒත් පුරුද්දට වගේ තාමත් බස් හෝල්ට් එකට කියන්නේ ලාල්සිරි.
7. ලාදුරු හෝල්ට්

Source – lifie graphics
මහනුවර පොලීසියට ඉස්සරහින් තමයි මේ හෝල්ට් එක පිහිටලා තියෙන්නේ. කාලෙකට කලියෙන් මෙතන ලාදුරු නිවාරණය සම්බන්ධයෙන් ලොකු පුවරු කීපයක් තිබිලා තියනවා. ඒවා අයින් කරලා දැන් අවුරුදු 20කට වැඩි වුණත් තවමත් එතනට කියන්නේ ලාදුරු හෝල්ට් එක කියලයි.
8. කොමර්ෂල් හෝල්ට්

Source – lifie graphics
මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයට කලින් තියෙන හෝල්ට් එක තමයි කොමර්ෂල් හෝල්ට් එක. මෙතනට මේ විදියට නමක් පටබැඳෙන්නේ ඒ ළඟ තියන කොමර්ෂල් බැංකුවක් නිසා නම් නෙවෙයි. ඉස්සර මෙතන තිබිලා තියනවා Colombo Commercial Company කියලා ආයතනයක්. අද ඒ ආයතනය නැතත් මෙතනට කොමර්ෂල් හෝල්ට් කියලා තමයි කොන්දොස්තර ටිකට් කඩන්නේ.
9. සියඹලා ගහ ගාව

Source – lifie graphics
කෑගල්ල දිස්ත්‍රික්කයේ මාදෙයියාවට කලින් තමයි සියඹලා ගහ ගාව හෝල්ට් එක දකින්න ලැබෙන්නේ. අවුරුදු 15කට විතර කලින් මෙතන සරුවට වැඩුණ ලොකු සියඹලා ගහක් තිබිලා තියෙනවා. ඒක කපා දාලා. ඒත් කොන්දොස්තර බස් එකේ අයට කියන්නේ සියඹලා ගහ ගාව බහින අය ඉස්සරහට එන්න කියලා.
ඔයාගේ ගම් පළාතේ තියන විශේෂ බස් හෝල්ට් ගැනත් කියලා දැනුම බෙදාගන්න එකතුවෙන්න.
Cover Image Source – lifie graphics
Leave a Reply