ඔබ නොසිතන හේතු නිසා තහනමට ලක්වුනු මේ ආහාර වර්ග ගැන ඔබ දන්නවාද?

Banned food around the world

ලෝකයෙන් තහනම් කරන්නට හැකි දේ මොනවාද? මත්ද්‍රව්‍ය වැනි මිනිස් ජීවිතයට අතිශය අහිතකර දෑ එලෙසින් තහනම් වීමට ඉඩ තිබෙනවා. නමුත් මිනිසාට ආහාරය වෙනුවෙන් වෙන් කරන ආහාර අතරිනුත් ඇතැම් ආහාර ලෝකය තුළ තහනම් කර තිබෙන වග ඔබ දන්නවාද? එයට විවිධ හේතු ඇති බව මෙම සටහන කියැවීමෙන් ඔබට පැහැදිලි වේවි. කෙසේවුවත් ඔබ යම් කිසි අන්තරායන් අත්හදා බැලීමේ උවමනාවක පසුවන්නෙක් නම් ඒ වෙනුවෙන් කිසිවිටෙකත් මෙම සටහන උත්තේජකයක් කර නොගන්නා ලෙසත් අපි මතක් කර සිටිනවා.

 

1. ෆුගු (Fugu)

Banned food around the world

Source – eater.com

ලෝකයේ විෂ අධිකම මාළු විශේෂයක් විදියට ෆුගු හඳුන්වන්න පුළුවන්. එය නිසියාකාරව පිස ඔබට පිළිගැන්වුවේ නැතිනම් ඉන් ඔබ මරුමුවට පත්වීමේ හැකියාව තිබෙනවා. එනිසාම එය පිසින කෝකීන් විශේෂ පුහුණුවක වසර ගණනක් යෙදෙන්නේ එය විෂ නොමැතිව පිළිගන්වන්නටයි. එසේම ඒ වෙනුවෙන් ඔවුන් ලබන සහතිකය නොමැතිව ඔවුන්ට එම ආහාරය පිසින්නට තහනම් කර තිබීමත් සුවිශේෂයි. ෆුගු මාළුවා තුළින් නැගෙන විස, සයනයිඩ්වලට වඩා 1200 ගුණයකින් ඉහළ නිසා, වැරදි ක්‍රමයට පිසින ලද අල්පෙනෙත්තක තරම් ෆුගු මාළු ප්‍රමාණයක් මිනිසෙකු ජීවිතක්ෂයට පත් කරවන්නට සමත්.

 

2. කාසු මර්සු (Casu marzu)

Banned food around the world

Source – reddit.com

මැගොට් චීස් එහෙමත් නැත්තං කාසු මර්සු කියන්නෙ කීයටවත් හිත හදාගෙන කන්න අමාරු චීස් එකක්. පණුවො පිරිච්ච චීස් එකක් කන්න කාටද පුළුවන්? කාසු මර්සු කියන එකේ අදහසම කුණු වෙච්ච චීස් කියන එක. එය ලෝකයේ ආහාරයට භයානකම චීස් විශේෂයක්. යුරෝපය පුරාම මේ චීස් විශේෂය තහනම් වෙන්නෙ මේ චීස් ආහාරයෙන් සිරුරට ඇතුළු වන පණුවන් ඔබට අහිතකර විය හැකි නිසායි.

 

3. කැවියා(ර්) (Caviar)

Banned food around the world

Source – troozy.com

කැස්පියන් සහ කළු මුහුදෙ ඉන්න බෙලූගා මාළුවගෙ බිත්තරවලින් හදන, ලෝකයේ අධික ධනවත් මිනිසුන් රස බලන ආහාරයක් ගැනයි මේ කතාව. අති විශාල ආන්දෝලනයකට තුඩු දුන්, ඇතැම් විට තහනමට පවා ලක්වුනු මෙම ආහාරය ගැනත් මෙම සටහනට එකතු විය යුතුමයි. ලෝකයේ වඳවී යාමේ තර්ජනයට මුහුණ දී සිටින සතුන් වෙනුවෙන් ඇති සංවිධාන මැදිහත් වීමෙන් මෙම ආහාරය ලෝකයේ බොහෝ රටවලට තහනම් කොට තිබෙනවා. ඒ මෙම මාළුන් සීඝ්‍ර ලෙස මරා දැමීම නිසායි.

 

4. ඕටොලාන් (Ortolan)

Banned food around the world

Source – geekandsunday.com / wikipedia.org

මේ ප්‍රංශෙ ඉන්න ලස්සන චූටි කුරුල්ලා අඳුරේදී අධික වේගයකින් ආහාර ගන්නවා. එනිසා ඔවුන් කිහිප දෙනෙකු ධාන්‍ය සමග පෙට්ටියක දමා අඳුරේ තබන්නේ ඔවුන්ගේ ශරීර ප්‍රමාණය විශාල වනතුරු ආහාර ගන්නටයි. ඉන්පසු මෙම කුරුල්ලන් ආමන්‍යැක් බ්‍රැන්ඩිවල පොඟවා පිස ගනු ලබනවා. එයින් අනතුරුව ඇටකටු සහ සියල්ල පිටින්ම මේ පක්ෂියාව ආහාරයට ගැනීම සිදු කරනවා. ඕටොලාන් පක්ෂියාව ඇල්ලීමේ සිට ආහාරයට ගැනීම දක්වා වන ක්‍රියාවලියේ ඇති කුරිරු බවත්, එම පක්ෂියා දුර්ලභ වීමත් නිසා මේ ඕටොලාන් ආහාරය තහනමට ලක්කොට තිබෙනවා.

 

5. මෝර වරල්

Banned food around the world

Source – ocean.si.edu

මෝරු ඇවිල්ල ‘ආ අයියෙ වරළ කපාගෙන යන්න’ කියල කියන්නෙ නැහැනෙ. එනිසා ඉතිං මෝරුන්ව මරල තමයි වරළ කපන්නෙ. චීන ආහාරවල ධනවතාගෙ මට්ටමට යනකොට තියෙන සුවිශේෂ සුප් එකක් වෙනුවෙන් මෝර වරළ උප‌යෝගී කරගන්න නිසාම මේ ආහාරය බොහෝ රටවල තහනම් කර තිබෙනවා. ඒ තහනම සිද්ධ කරන්නෙ ඇතැමුන් මුහුදේදිම මෝරාගේ වරළ කපාගෙන වේදනාබර මරණයක් ඔවුන්ට උරුම කර දීමේ අමානුෂික මට්ටමට යන නිසායි. අවුරුද්දකට මිලියන සියයක් පමණ මිනිසා අතින් මියයන මෝරු දිහා මිනිස්සු වෙන අපි බලන්නෙ කොතරම් බියකින්ද?

 

6. හැගිස් (Haggis)

Banned food around the world

Source – thesun.co.uk

රස දන්නෝ අතරෙ ප්‍රසිද්ධම කෑමක් වෙන හැගිස් කියන්නෙ පුඩිමක්. බැටළු හදවත, අමාශය සහ පෙනහළුවලින් හදන මේ ආහාර ඇමරිකාවේ නම් තහනම්. ඒත් මෙය හඳුන්වා දුන් ස්කොට්ලන්තය තුළ මෙය ජනප්‍රියම ආහාරයක් වගේම ස්කොච් විස්කිවලට පස්සෙ ජාත්‍යන්තරයට ගිය ආහාරය විදියට පිළිගැනෙනවා. ඇමරිකානුවන් 1971දී මෙම ආහාරයට තහනම පනවා තිබෙන්නේ මෙයට බැටළුවාගේ පෙනහළු භාවිතා කරන නිසා පමණක් වීමත් සුවිශේෂයි.

 

7. සමෝසා/කෙචප්/චුවින්ගම්

Banned food around the world

Source – flickr.com / blogger.com / youtube.com

මේ ආහාර හතරම ලෝකයේ කොහේ හෝ තැනක තහනම් වී ඇති බවක් අපට කිසි ලෙසකින් සිතෙන්නේ නැහැ. ප්‍රංශය පෙර පාසල් සිසුන්ට කෙචප් තහනම් කළේ සිසුන් තම සාම්ප්‍රදායික ප්‍රංශ ආහාර කෙචප් සමග ආහාරයට ගනිතැයි බිය වීම නිසායි. සෝමාලියාවේ යුධකාමී පාලනයක් ගෙනයන්නට උත්සාහ කළ මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් වන අල් ෂබාබ් සමෝසා තහනමක් ගෙන ආවේ වෙළෙන්දන් ඒ තුළට නරක් වූ මස් යොදන්නට පෙළඹුනු නිසායි. සිංගප්පූරුව ලෝකයේ පිරිසිදුම රටක් කිරීමේ අභිලාෂයත් සමගම චුවින්ගම් තැන තැන දමා යෑම වැලැක්වීමට චුවින්ගම් තහනමක් ගෙන ඒම ගැන පුදුම වෙන්නට දෙයකුත් නැහැ.

 
Cover Image Source – seesmit.com / nationalgeographic.com / youtube.com / reddit.com / buzzfeed.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *