කොයි අම්ම තාත්තාවත් අකමැති දෙයක් තමයි තමුන්ගෙ දරු පැටියට කරදරයක් වෙන එක. හැමෝම ආසා තමුන්ගේ දරුවා සුවසේ දියුණු වෙන එක සහ වැඩෙන එකටයි. ඉතිං ඔය විදියට හිතනකොට අපිට ඔටිසම් ගැන කතා නොකරම බැහැ. අවුරුදු එකහමාරක පමණ කාලයේදී දරුවෙකුගේ හැසිරීම්වලින් හඳුනාගන්න පුළුවන් දෙයක් වෙන ඔටිසම් රෝගය නිසා දරුවාගේ දියුණු විය යුතු සහ වර්ධනය විය යුතු බොහෝ පැතිවල නොදියුණුවක් දැකගන්නට පුළුවන්. කතා කිරීමේ අඩුවක්, සෙල්ලම් කිරීමේ අඩුවක් හෝ අනිත් අය සමග ගණුදෙනු කිරීමේ අඩුවකට ඔටිසම් නිසා මුහුණ පාන්නට සිදුවිය හැකි නිසා මේ සටහන දරුවාට ඔටිසම් රෝගය ඇතිදැයි සොයාගන්නට දෙමවුපියන්ට ප්‍රයෝජනවත් වේවි.
1. ඇසින් ඇස ගැටීම මගහැරීම
දරුවා සහ ඔබේ ඇසින් ඇස ගැටීම දරුවා මගහරිනවාද? දරුවන් තමන් ආදරය කරන පිරිස වගේම තමුන් නොදන්නා ආගන්තුකයින් දෙසත් ඇස මග නොහැර බලා සිටින්නට කැමැත්තක් දක්වනවා. නමුත් ඔටිසම් රෝගය වැලඳී ඇති දරුවන් ඇසින් ඇස ගැටීම වළක්වන්නට ඉඩ තිබෙනවා. ඇතැම් දරුවන් කිසිම මොහොතක ඇසින් ඇස ගැටීමට ඉඩක් දෙන්නේ නැහැ. නමුත් එයින් ඇසින් ඇස නොගැටෙන්නට වගබලාගන්නා දරුවන් හට ඔටිසම් රෝගය වැළඳී ඇති බව කියන්නට නොහැකියි. එය ඇතැම්විටෙක ඔවුන් තුළ ඇති ලැජ්ජාව නිසාත් මතුවිය හැකි ලක්ෂණයක් ලෙසින් දැක්වෙයි.
2. එකම දේ
සාමාන්‍යයෙන් එකම දේ එකම අයුරින් දිගින් දිගටම පවසනවා නම්, ගීතයක් සේ ගයමින් සිටිනවා නම් එය ඔටිසම්වල මූලික ලක්ෂණයක් ලෙසින් හැඳින්වීමේ හැකියාවක් තිබෙනවා. ස්ක්‍රිප්ටඩ් ලැන්ග්වේජ් කියල හඳුන්වන මේ දේ ගැන අවධානයෙන් සිටිය යුතුමයි. සාමාන්‍යයෙන් දරුවා මෙවන් තත්ත්වයක සිටිනවා නම්, තව ටික දවසක් බලමු වැනි අදහසක් නොදරා දෙමවුපියන් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතුයි. මේ ඔබේ දරුවාගේ ජීවිතයයි.
3. ස්පර්ෂ, ශ්‍රවණ, දෘෂ්ඨි සහ ඝන්දය
දරුවෙකු ඇතැම් දේ නිතරම ස්පර්ෂ කරන්නට හෝ සුවඳ බලන්නට කැමති නම්, එය නිතරම දරුවා අතින් සිදුවෙනවා නම් එයත් ඔටිසම්වල මූලික ලක්ෂණයක් විය හැකියි. නමුත් එය ඔටිසම් යැයි සැක කරන්නට තවත් කාරණයක් පූර්ණ විය යුතුයි. එනම් ඒ සමග දරුවාව හුරතල් කරනවාට, වඩාගෙන හෝ තුරුළු කරගෙන සිටිනවාට දරුවා අකමැතිද යන්න සෙවිය යුතුයි. එම කාරණා දෙකම සපිරෙන්නේ නම් එය ඔටිසම් රෝගයේ මූලික ලක්ෂණයක් වීමට ඉඩ තිබෙනවා. එසේම ඇතැම් දරුවන් නිතර ඇසෙන ශබ්දවලට අකමැති බව පෙන්වීමට ඉඩ තිබෙනවා. උදාහරණයකට ඔවුන් ටොයිලට් එක ෆ්ලෂ් කරන ශබ්දය ඇසෙන විට කන් වසාගැනීමට ඉඩ තිබෙනවා. එසේම ඔවුන් ආලෝකයට සංවේදී නොවීම නිසා දීප්තිමත් එළිය ඇති විට අකමැත්තෙන් වෙසෙන්නටත් ඉඩ තිබෙනවා. මේ සම්බන්ධව ඔටිසම් හා ක්‍රියාකාරී ආයතන සුවිශේෂ නිරීක්ෂණ සිදුකළ හැකි ක්‍රම දක්වා තිබෙනවා.
4. සෙල්ලම් බඩු හා සම්බන්ධය
දරුවන්ගේ සෙල්ලම් බඩු හා තියෙන සහසම්බන්ධයත් ඔටිසම්වලට රෝගී ලක්ෂණ හොයාගන්නට හොඳ උදවුවක්. උදාහරණයක් විදියට ඇතැම් දරුවන් සෙල්ලම් බඩුවක් ගෙනැවිත් දුන්නට පස්සෙ ඒකත් එක්ක සෙල්ලම් කරනවාට වඩා එහි යාන්ත්‍රණය කුමක්ද කියා සොයා බැලීමට උත්සුක වෙනවා. එහෙමත් නැත්නම් සීමාසහිත ක්‍රීඩා විලාසයක් ඇතුව තමයි මේ දරුවන් ඒ සෙල්ලම් බඩුවෙන් සෙල්ලම් කරන්නෙ. සාමාන්‍යයෙන් නම් දරුවෙක් තමන් හා සෙල්ලම් කරන්නට තමන්ගේ අම්මා තාත්තාට හෝ සහෝදර සහෝදරියන්ට කතා කරනවානෙ. නමුත් ඔටිසම් රෝග ලක්ෂණ සහිත දරුවෙක් බොහෝ විට තනිවම සෙල්ලම් කරන්නට තමයි කැමැත්තක් දක්වන්නේ. කොහොම නමුත් කුඩා කාලයේදී මෙය සාමාන්‍යයෙන් දැකිය හැකි තත්ත්වයක් වුවත්, වයස අවුරුදු 7 තරම් දරුවා වැඩුණු කාලයේදී මෙය දකින්නට හැකිනම් එය බැරෑරුම් තත්ත්වයක් බව සිතට ගත යුතුයි.
5. ඇඟවීම්
දරුවන් කුඩා කාලයේදී ඇඟවීම් කරන්නට බොහෝ ලැදියාවක් දක්වනවා. එනිසා ස්පොන්ජ් කෑල්ලක් කනේ තබාගෙන කෝල් එකක් ගන්නට, සෝෆාව උඩ නැගී මෝටර් රථයක් පදවන අයුරු පෙන්වන්නට ඔවුන් උත්සාහ කරන්නට ඉඩ තිබීම සාමාන්‍ය තත්ත්වයයි. නමුත් මෙවැනි ක්‍රියාකාරකම්වල නියැලෙන්නේ නැති දරුවෙකු නම්, ඒ දරුවා ඔටිසම් රෝගයේ මූලික ලක්ෂණවලට හිමිකම් කියන්නට ඉඩ තිබෙන බව කිව යුතුමයි. සාමාන්‍යයෙන් දරුවාට අවුරුදු එකහමාර වන විට මෙවැනි ඇඟවීම් හරහා සිදුකරන ක්‍රීඩාවලට මුලපිරීමක් සිදු නොවුනේ නම් එය ඔටිසම් අවදානමක් විය හැකියි.
6. එකම දෙයක්
මෙම තත්ත්වය නිරීක්ෂණය කළ හැක්කේ තරමක් වැඩුනු දරුවන්ගෙන් පමණයි. අවුරුදු 6ට වඩා වැඩි දරුවන් නිතරම එකම දෙයක් පිළිබඳ පවසනවා නම් (උදා – ක්‍රිකට් කණ්ඩායමක්, ස්මාට්ෆෝනයක් වැනි යමක් ගැන) එය ඔටිසම්වල ලක්ෂණයක් ලෙසින් දැක්වෙනවා.
මෙම තත්ත්වය කුඩා දරුවන්ගේද වෙනත් අයුරකින් නිරීක්ෂණය කළ හැකියි. ඔවුන් සැමවිටම තෝරාගන්නේ එකම සෙල්ලම් බඩුවද? ඔවුන්‌ට ඇත්තේ එකම විනෝදාංශයක්ද? කියා සෙවීමෙනුත් මෙම නිරීක්ෂණය සාර්ථකව සිදු කළ හැකියි.
7. සන්නිවේදනය සහ පිළිතුරු දීම්
දරුවා තමුන්ගේ නමට හෝ සුරතල් ආමන්ත්‍රණයකට පිළිතුරු නොදීමද ඔටිසම් රෝග ලක්ෂණයක් ලෙසින් දැක්වෙනවා. එසේම භාෂාවේ දක්වන අඩු භාවිතය, කුඩා දරුවන් ආසා කරන අහස් යාත්‍රා, බලු සුරතලුන් වැනි දේ අත දිගු කොට නොපෙන්වීම වැනි දෙයින් පවා මෙම සන්නිවේදන ඌනතා හඳුනාගත හැකියි. එසේම ඔවුන් ඔබ නිවසින් බැහැරව යන අවස්ථාවක හෝ ඔවුන්ගෙන් ඈතට යන අවස්ථාවකදී ඔබ සිදුකරන අත වැනීමකට ඔවුන් ප්‍රතික්‍රියා දක්වනවාද යන්නෙනුත් ඔබට එය නිරීක්ෂණය කළ හැකියි. අතවැනීමකට ප්‍රතිචාර නොදැක්වීම ඔටිසම් රෝගයේ පූර්ව ලක්ෂණයක් වන්නට පුළුවන්.
සැළකිය යුතුයි – මේ ලිපිය ගෙන ඒමේ අපේ පරමාර්ථය වන්නේ ඔටිසම් රෝග ලක්ෂණ ගැන ඔබව දැනුවත් කිරීමයි. ඉහත කී ලක්ෂණයක් දෙකක් පෙන්නුම් කළ පමණින් ඔබේ දරුවාට ඔටිසම් තත්ත්වයක් ඇතැයි කියා ඔප්පු වන්නේ නැහැ. කෙසේ වෙතත් මෙවන් ලක්ෂණ පෙන්වන අවස්ථාවකදී නොපමාව වෛද්‍ය උපදෙස් ලබාගෙන, ඒ ගැන සැකහැර දැනගෙන, ඉදිරි පියවර ගන්න මතක තබාගන්න.
Cover Image Source – findingthecoopersvoice.com
Leave a Reply