ලංකාවෙ බොහෝමයක් ගෑණු ළමයින්ට තියෙන ලොකුම ගැටළුවක් තමයි රූපය සහ තරුණකම රැකගන්න සැලෝන් වලට දාස් ගණන් වියදම් කරන්න වෙන එක. සතියට පාරක් සැලෝන් එකකට යන වියදම පර්ස් එකේම තියාගන්න පුළුවන් උපදෙස් ටිකක් තමයි මේ ඔයාලට කියන්න හදන්නෙ. ඔය අයිබ්‍රෝව්ස් ටික හදාගන්න වගේ දේකට ඇරුණම සැලෝන් නොයා ගෙදරදීම සමට ස්වභාවිකව ප්‍රතිකර්ම කරගෙන ලස්සනට ඉන්න පුළුවන් විදි ගැන ඉදිරියේදි අපි ටික ටික කියල දෙනව. මේ ඒකෙ මුල් පියවර. මුලින්ම අපි කතා කරමු සම ගැන.
පැහැපත් සමක් කිව්ව ගමන් මතක් වෙන්නෙ සුදෝ සුදු මූණක් නම් ඔයාල ඉන්නෙ පැහැපත්කම ගැන වැරදි වැටහීමක. සම පැහැපත් වෙන්න නම් ලප කැළැල්, කුරුළෑ, බිබිලි නැති නිරෝගී සමක් වෙන්න ඕන. ඒකට සමේ පාට අදාළම නැහැ. ලංකාවෙ බහුතර යුවතියන් තලෙළු සමක් ඇති යුවතියන්. සම සුදු කරගන්න බ්ලීචින් ක්‍රීම් ගාල, තියෙන සමට හානි කරගන්න එපා කියල මුලින්ම මතක් කරන්න කැමතියි. පැහැපත් සමක් ලබාගන්න නම් මෙන්න මේ දේවල් කරන එක අනිවාර්යයයි.
1. පිරිසිදුව ඉන්නම ඕනෙ
පිරිසිදුකම තමයි රූපලාවන්‍ය ගැන කියද්දි මුලින්ම කියන්න ඕන. දවස තිස්සෙ දාඩිය කුණු දූවිලි පෙරාගෙන ඉඳල රෑට නෑවට ඔයා පිරිසිදු කෙනෙක් වෙන්නෙ නෑ. දවස පුරා පිරිසිදුව ඉන්න එක සමේ නිරෝගීකමට බලපානව. දිනකට දෙවරක් මුහුණ සමට ගැලපෙන ෆේස් වොශ් එකකින් පිරිසිදු කරන්න. දවස අවසානයේ ක්ලෙන්සර් එකක් පාවිච්චි කරන්න. කුරුළෑ ඇති වෙන එකට එක් ප්‍රධාන හේතුවක් පිරිසිදු නැතිකම.
2. මේකප් ඉවත් කරන එක හරියට කරනවද?
රැකියාවට යන යුවතියක් නම් දිනපතාම පුංචියට හරි මේකප් එකක් කරනවනෙ. මේ මේකප් එක නිසියාකාරව ඉවත් කරගත්තෙ නැත්නම් ඒකෙන් සමට හානි වෙන්න පුළුවන්. කුරුළෑ, බිබිලි, බ්ලැක් හෙඩ්ස් එහෙම එන්න මේකප් හරියට ඉවත් නොවීම බලපානව. මේකප් රිමූවර් එකක් නැත්නම් බේබි ක්‍රීම් ටිකක් මූණෙ වැඩිපුර ආලේප කරල ටිශූ හෝ වියලි පුළුන් කෑල්ලකින් පිහිදල දාන්න. මේකප් හොඳින් ඉවත් උනාට පස්සෙ ක්ලෙන්ස් කරගන්න.
3. සමේ තෙතමනය රැකගන්න
සමට ගැලපෙන මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්න. මූණට විතරක් නෙවෙයි මේ සත්කාර මුළු ශරීරයටම කරන්න. මූණෙ විතරක් ක්‍රීම් ගාල ඔබට සුන්දර රූ සපුවක් ලබාගන්න බෑ. බොඩි ලෝශන් එකක් දවසට දෙවරක් පාවිච්චි කරන්න.
4. ඉර බැල්ම දානව නේද?
සන් ප්‍රොටෙක්ශන් අඩංගු නිෂ්පාදන පාවිච්චි කරන්න. ලංකාව ඝර්ම කලාපීය රටක් නිසා නිතරම අපේ හම හිරු එළියට නිරාවරණය වෙනව. මේ නිසා පාවිච්චි කරන ක්‍රීම් වර්ග, මේකප් වර්ග හිරු කිරණින් සම ආරක්ෂා කරන ඒවද කියල සැලකිලිමත් වෙන්න.
5. පෝෂණය ඇතිද?
හැම වෙලේම කියවෙන දෙයක් සමේ නිරෝගීකම තියාගන්න නම් වතුර බොන්න කියන එක. හැබැයි වතුර බීල විතරක් මදි. සමබල කෑම වේලක් ගන්න. පලා කොළ ටිකක්, අළුත් එළවළු, පළතුරු වගේම මාළු වර්ග නිතර ආහාරයට එකතු කරගන්න. සමට අවශ්‍ය විටමින් වර්ග බොහොමයක් ආහාර තුලින්ම ලබාගත්තම පිටින් එක එක පෙති ජාති බොන්න ඕන නෑ.
6. හොඳ නින්දක් සුව මනසක්
රෑ එළි වෙනකම් ෆෝන් එකේ ලැප් එකේ ඉඳල පහුවදාට මූණ ඇදිල ගිහින් කියල හිත හිත ලතැවුනාට වැඩක් නෑ. ඔබේ රුව ගැන සැලකිලිමත් නම් සුව නින්දක් ලබාගන්න එක අනිවාර්යයයි. අවම පැය 7ක නින්දක් ලබාගන්න ඕන. මනස සැහැල්ලුවෙන් තියෙන එකත් රූපයට බලපානව. හිත පිරිසිදු කෙනාගෙ මූණ ලස්සනයි කියල කතාවට කියනව කියල හිතුවට ඒකෙ ඇත්තකුත් නැතුවාම නෙවෙයි.
7. මැරුණ සමෙන් වැඩක් නෑනෙ… ඉවත් කරගන්න
මේකට ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන්න. සිහින් ඇට සහිත සීනි ටිකකට මී පැණි ටිකක්, දෙහි යුශ බින්දු දෙක තුනක් දාගෙන ඕනම සමකට සුදුසු ස්ක්‍රබ් එකක් ලේසියෙන්ම හදාගන්න පුළුවන්. මූණ විතරක් නෙවෙයි මුළු ඇඟම මේ විදියට ස්ක්‍රබ් කරල මැරුණ සම ඉවත් කරගන්න පුළුවන්. හැබැයි ස්ක්‍රබ් කිරිල්ල සතියට දවසක් විතරක් කරන්න මතක තියාගන්න. දිනපතා ස්ක්‍රබ් කරන එක සමට හානිකරයි.
8. සමට ගෙදරදීම ස්වභාවික පැක් පාවිච්චි කරන්න
රූපලාවන්‍යාගාර වල පාවිච්චි වෙන්නෙ රසායනික ද්‍රව්‍ය අඩංගු පැක් වර්ගනෙ. එහෙම දේකට වියදම් නොකර ගෙදරදීම පහසුවෙන් හොයා ගන්න පුළුවන් දේවල් වලින් ඔයාලට සමට සත්කාර කරන්න පුළුවන්. මේ එහෙම පැක් වර්ග තුනක්. විවිධ ආසාත්මිකතා තියෙන අය ඒවා ගැන සැලකිලිමත් වෙලා මේ දේවල් පාවිච්චි කරන්න කියලත් මතක් කරනව.
- දෙහි යුශ, බිත්තර සුදු මද, කිරි සම ප්‍රමාණයෙන් ගෙන මිශ්‍ර කර මුහුණේ සහ බෙල්ලේ ආලේප කර විනාඩි 15ක්-20ක් විතර තියල ලා රස්නෙ වතුරෙන් සෝදන්න. තෙල් සහිත සමකට මේ පැක් එක සතියට දවස් දෙක තුනක් කරන්න පුළුවන්.
- මී කිරි කප් 1කට ග්‍රේට් කරගත් පිපිඤ්ඤා මේස හැඳි 1 1/2ක් එක් කර මුහුණේ සහ බෙල්ලේ ආලේප කර විනාඩි 15ක්-20ක් විතර තියල ලා රස්නෙ වතුරෙන් සෝදන්න. වියළි සමකට මේ පැක් එක සතියට දවස් දෙකක් කලාම ඇති.
- කිරි ගතිය නැති හොඳින්ම ඉදුණ ගස් ලබු වලට දෙහි යුශ බින්දු දෙක තුනක් එක් කර පොඩි කර, මුහුණේ සහ බෙල්ලේ ආලේප කරල විනාඩි 10-15කින් සීතල වතුරෙන් සෝදල හරින්න. මේ පැක් එක සාමාන්‍ය සමක් තියෙන කෙනෙක්ට සතියට දෙපාරක් කරන එක ප්‍රමාණවත්.
Cover Image Source – womenshealth / wikipedia.org / facebook.com
Leave a Reply