ඔෆිස් එකක නොවෙනස් වෙන දේවල් තමයි කාර්යාල උපකරණ කියන්නෙ. කාර්යාල උපකරණ ඔෆිස්වල තියන ඒවාටම ආවේණික තැන් තියෙනවා. ඒ ඒ තැන්වල ඒ ඒ බඩු තිබුනත් කාර්යාලවලට එන මිනිස්සු ඒ උපකරණ විවිධ වූ ප්‍රයෝජනයන් වෙනුවෙන් භාවිතා කරනවා. අපේ අද සටහන තැබෙන්නෙ කාර්යාලීය උපකරණ ඒ විදියට වෙනස් ප්‍රයෝජනයන්ට භාවිතා කරන ආකාරය ගැනයි.
1. ෆෝල්ඩර් ෆයිල්ස්
ඔය ෆෝල්ඩර් ෆයිල්ස් බොහෝවිට පාවිච්චි වෙන්නෙ පරණ වැදගත් ලියකියවිලි ඔබල තියන්නනෙ. එනිසා ඔය ෆෝල්ඩර් ෆයිල්ස් බොහෝවිට ඕපන් වෙන්නෙ නෑ. අන්න ඒ ෆෝල්ඩර් ෆයිල්ස් තමුන්ගෙ සුවපහසුව වෙනුවෙන් භාවිතා කරන්න බොහෝ ඔෆිස් ප්‍රජාව හිතනවා. ඒ නිසා තමයි ගොඩක් කට්ටිය කකුල් තියන්න වගේම හෑන්ඩ් රෙස්ට් එකක් විදියටත් ඔය ෆෝල්ඩර් ෆයිල්ස් ගන්නෙ. බොහෝ වෙලාවට ඔෆිස් එකේදි නං ඔය වැඩේ කරන්නෙ ගෑණු ළමයි තමයි.
2. ස්ටේප්ලර්ස්
ස්ටේප්ලර් එකක් තියෙන්නෙ කොළ අමුණන්න කියල අපි හැමෝම දන්නවනෙ. නමුත් මේ කොළ අමුණන්න තියෙන ස්ටේප්ලර් පින්ස් කට්ටිය පාවිච්චි කරන්නෙ වෙනිං පරමාර්ථයන්ට. ස්ටේප්ලර් නං බරට තියන්න පාවිච්චි කරනවා වගේම ස්ටේප්ලර් පින්ස් කාලා ඉවර වෙලා ටූත් පික්ස් විදියටත් පාවිච්චි වෙනවා. ඉතිං ස්ටේප්ලර් කියන්නෙ අතිශය ප්‍රයෝජනවත් දෙයක් කොළ අමුණනවට වඩා වැඩි වැඩවලට.
3. පන්චර්
සාමාන්‍යයෙන් කාර්යාල මේසයක් උඩ කේබල් රොත්තක් තියෙනවනෙ. ඒ තමයි ෆෝන් චාජර්, ෆෝන් කේබල්, පෝටබල් හාඩ්, ඉයර් ෆෝන් වගේ කේබල්. ඔය ටික අනිවාර්යෙන් කම්පියුටර් එක හරහා ප්ලග් වෙලා ආවට භාවිතයෙන් පස්සෙ ගලවන්නෙ නැත්තෙ කම්මැලිකමට. ඉතිං ඔහොම භාවිතා නොකර තියෙද්දි ඔය කේබල් බිම වැටෙනවා. ගන්නත් කරදරයි. අන්න ඒකයි එච්චර හිල් විදින්නත් නැති මේ කාලෙ ඔය කේබල් පන්චර් එක අස්සෙන් ඇදලා මේසෙට හිර කරලා තියාගන්නෙ.
4. කොළ බන්ඩ්ල්
ලැප්ටොප් එකක වැඩකරද්දි සමහරුන්ට ඒක යම් තරමක් උඩට ඉස්සුනාම වැඩ කරන්න ලේසියි. තවත් සමහරුන්ට ලැප්ටොප් තියෙන්න ඕන උසට සරිලන මේසයක් නෑ. ඔෆිස්වලට කම්ප්ලේන් කරලා වැඩක් නෑ. මොකද තනි පුද්ගලයට ඕන විදියට මේස හදන්නත් බෑ. කිවුව පළියට ලැප්ටොප් කූලර් අරගෙන දෙන්නත් බෑ. අන්න ඒ වගේ වෙලාවට ඔෆිස් එකට ගේන A4 බන්ඩ්ල් මේ වැඩේට සක්‍රීයව උදවු කරනවා. A4 බන්ඩ්ල් එක ඔෆිස් එකෙන් එළියට නොයන නිසා ලොක්කට අවුලකුත් නෑ.
5. කැල්කියුලේටර්
අපි මේ කියන්න යන වැඩේට සමහරු පෙන් හෝල්ඩරුත් පාවිච්චි කරනවා.ඒ තමයි කොළ හුළඟෙ යන වැඩේ. කොළ හුළඟෙ යනකොට බරට තියාගන්න ඕනතරං පේපර් වේට්ස් ඔෆිස් එකක තිබුනට ඔය කියන පේපර් වේට්ස් පාවිච්චි වෙන්නෙ වෙනිං වැඩවලට. ඒ නිසා පේපර් වේට්ස්වල රාජකාරිය කරන්න භාරවෙන්නෙ කවුරුත් ගණං නොහදන කැල්කියුලේටර් සහ පෑනක් ජීවිතේට නොදමන පෙන් හෝල්ඩර් වලට.
6. ඩික්ෂනරි
ඩික්ෂනරියක් තියෙන්නෙ නොදන්න වචනවල තේරුං බලාගන්න. සාමාන්‍යයෙන් ඔෆිස් එකකට කොච්චර අදාළ නැති වුනත් ඩික්ෂනරි පහක්වත් තියෙනවා වගේම ඒ අතරේ දෙමළ සිංහල ඩික්ෂනරි වගේ මළාට ඕපන් නොකරන ඩික්ෂනරිත් තියෙනවා. අන්න ඔය දේවල් තමයි කට්ටිය පූජනීය වැඩවලට යොදාගන්නෙ. උදාහරණයකට වතුර කෝප්පෙයි, අනිත් ඔක්කොම ලට්ටලොට්ටයි තියන තමුන්ගෙ මේසෙ උඩ බුදු පිළිම, යේසු පිළිම තියන්න කට්ටිය කැමති නැහැ. අන්න ඒ නිසා පූජනීය ස්ථානයක් විදියට තමන්ගෙ මේසෙ යම් කොටසක් බෙදාගන්න කට්ටිය මේ ඩික්ෂනරි පාවිච්චි කරනවා.
7. අඩිරූලයි කතුරයි පෑනුයි
බොහෝ වැඩ ඩිජිටලයිස්ඩ් නිසා දැන් වෙද්දි පෑන් ඕනවෙන්නෙ අත්සනක් ගහන්න විතරයි. අඩි රූලක් ඕන කොළයක් ඉරාගන්න විතරයි. කතුරක් ඕන වෙන්නෙම නැති තරං. ඉතිං ඔය කියන බඩු ජාති අනිවාර්යෙන්ම නවතින්නෙ මියුසීෂියන්ගෙ ඩෙස්ක් එකක් උඩ. ඒ කියන්නෙ පොරට ඩ්‍රම්ස් ගහන්න තමයි ඔය කියන උපාංග උවමනා වෙන්නෙ. ඔෆිස් එකේ කෙල්ලො ඔරව ඔරව බැලුවට කවදාවත් පොර ඔය ටිකෙන් ඩ්‍රම්ස් ගහන එකනං නවත්තන්නෙ නෑ.
8. බෝනස් – පේපර් වේට්
අපි මුලින්ම කිවුවනෙ පේපර් වේට් එකකින් කඩදාසි උඩින් බරක් විදියට තියෙනවට වඩා වෙනස් ප්‍රයෝජනයක් කට්ටිය ගන්නවා කියලා. ඉතිං ඔය කියන පේපර් වේට් එක සමහර කොල්ලො පාවිච්චි කරන්නෙ අතේ දුරට වඩා ඈතින් ඉන්න බුවාලට කතා කරන සන්නිවේදක උපාංගයක් විදියට තමයි. මොකද ගොඩක් උන් ඔෆිස් එකේ ඉන්නෙ මහ සද්දෙන් ඉයර්ෆෝන් වලින් සින්දු අහන ගමන්නෙ. අන්න ඒ නිසා හොඳ බරට පේපර් වේට් පාරක් පුටුව හෙල්ලිලා යන්න වැදුනම තමයි ඉයර්‌ෆෝන් ගලෝලා පුටුව කරකෝලා බලන්නෙ.
Cover Image Source – walmart.com
Leave a Reply