නිවසක් මිලදී ගන්නට පෙර මේ සරළ කරුණු 7 ගැනත් හිතන්න

What to think before buying a house

ගෙදරක් ගන්න කලින් කොච්චර දේවල් හිතන්න තියෙනවද? ගෙයක් තෝරගත්තට පස්සෙ ඔබට එහි නීතිමය තත්ත්වය ගැන හිතන්න තිබුනත් අපි කියන්න යන්නෙ ගෙදරක් තෝරගන්න පෙරාතුව සිතිය යුතුම දේවල් පිළිබඳවයි. ගෙදරක් හොයනකොට යම් හදිස්සියක් කලබලයක් තිබුනත් නිවසක් මිලදී ගනිද්දී ඔබ තෝරාගන්නා නිව‌ස පිළිබඳ මේ දේවල් ඔබ මුලින් සිතිය යුතුමයි. එහෙම නැතුව නිවසක් මිලදී ගන්නට කරන උත්සාහය අසාර්ථක වෙන්නට බොහෝ ඉඩ තියෙන්නේ ඔබට මුණගැසෙන සැම මිනිසාම අවංක නැති නිසායි.

 

1. අනාගත සැළසුම්

What to think before buying a house

Source – booking.com

ඔබේ අනාගත සැළසුම් වලට අනිවාර්යෙන්ම නිවස සහසම්බන්ධයි. ඔබ කොතරම් ඉහළ පෙළේ රැකියාවක් කළත් ඔබේ විවේක කාලය ගෙවෙන්නේ නිවස තුළයි. ඔබ උපයන මුදල් මූලික වශයෙන්ම වියදම් වන්නේ ඔබේ ලබැඳියන් සිටින නිවසටයි. එනිසාම ඔබ නිවසක් මිළදීගන්නට පෙරාතුව ඔබේ අනාගත සැළසුම් පිළිබඳ සිතන්න. ඒ අනාගත සැළසුම දරුවෙකු බිහිකරන්නට නම් දරුවාට සෙල්ලම් කිරීමට ඉඩ පහසුකම් ඇති ගෙවත්තක් සහිත නිවසක් තෝරාගන්න. ඔබේ සැළසුමට අනුව ඔබ හා දෙමවුපියන් එක්ව පදිංචියට යනවානම් වැඩිහිටියන්ට ජීවත්වීමට අපහසු පඩිපෙළවල් පිරි නිවසක් මිලදී ගැනීමෙන් වළකින්න. අවම වශයෙන් පහල තට්ටුවක නිදන කාමරයක් සහ නානකාමරයක් සහිත නිවසක් ඔවුන් වෙනුවෙන්ද සිතා බලා තෝරාගන්න. ඔබ මෝටර් රථයක් මිලදී ගැනීමට අදහස් කරනවානම් එය නවතාලන්නට සුදුසු ඉඩක් ඇති මිදුලක් සහිත නිවසක් තෝරාගන්න. ඒ ආකාරයට ඔබේ ජීවිතයේ අනාගත බලාපොරොත්තු පිළිබඳ සිතන්න.

 

2. ගමන් බිමන්

What to think before buying a house

Source – youtube.com/ blogger.com/ 213rf.com

ඔබ ජීවිතයේ සියළු පැතුම් පොදි බැඳ නිවසක් මිලදීගත්තත් ඔබට සම්පූර්ණ කාලය නිවස තුළට වී වෙසෙන්නට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඔබට ඉන් පිටවන්නට සහ ගමනේ යෙදෙන්නට සිදුවෙනවා. එනිසා නිවසේ සිට ඔබේ රැකියා හෝ ව්‍යාපාරික ස්ථානයට ඇති දුර පිළිබඳව අනිවාර්යෙන්ම සිතන්න. එම ගමන ඔබ යන්නේ බස් රථයක නම් බස් රථයක් ලබාගැනීමට ඇති පහසුව, රාත්‍රියේ ඔබ නිවසට පැමිණෙන විට ඔබේ නිවසට යාමට ගත වන කාලය සහ ගමනාගමන සේවා ඇත්තේ කොපමණ කාලයකටද යන වග, නිවසේ සිට හදිසි අවස්ථාවකදී ත්‍රීරෝද රියක් සොයා ගැනීමේ ඇති පහසුව යන සියළු කාරණා පිළිබඳව සිතා බලන්න. ප්‍රවාහනය යන කාරණය ඕනෑම ජීවියෙකුට අදාළ කාරණාවක් නිසා ඒ පිළිබඳව ඔබ සිතිය යුතුමයි.

 

3. කන්න බොන්න

What to think before buying a house

Source – sgwebg.com

ආහාර ගැනීමට ඇති අවන්හල් ආපනශාලා පිළිබඳ සොයාබැලීම අද කාලයේ පවුලකට අනිවාර්ය ලක්ෂණයක්. ඔවුන් බොහෝවිට දිනකට එක් ආහාර වේලක් හෝ පිටතින් ලබාගැනීමට පෙළඹී තිබීම වැඩිහිටියන් එකඟ නොවුනත් දැකිය හැකි තත්ත්වයක්. එනිසාම ඔබේ සිතට සරිලන ආපන ශාලා අවටින් තිබීම වැදගත්. නිවසක් මූලිකව සොයද්දී ඔබට එය අනවශ්‍ය කරුණක් ලෙසින් පෙනෙන්නට ඉඩ තිබුනත්, දිනපතා රාත්‍රියට යමක් ආහාරයට ගෙනෙන්නට රුපියල් 100/150ක දුරක් ත්‍රීරෝද රථයක යන්නට සිද්ධ වුනොත් හෝ සෙට්වීමකට බයිට් එකක් ලෙස ගන්නට කොත්තුවක් අසළ කඩයක නැතිවුනොත් ඔබට ඒ අඩුපාඩුව හොඳින් වැටහේවි. ඒ වගේම නිවසේ ඉවුම් පිහුම් වෙනුවෙන් එළවළු සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාගත හැකි කඩ කිහිපයක්වත් (තරඟකාරීත්වයක් ඇතිවීම උදෙසා) නිවස අවට ඇතිදැයි සොයාබලන්න. ඊට අමතරව අනෙකුත් භාණ්ඩ හා සේවා ඔබ අසලින්ම තිබීම එම නිවස තෝරාගැනීමට දැඩි හේතුවක් වනු ඇත.

 

4. අසල්වැසියන් සහ ආරක්ෂාව

What to think before buying a house

Source – stockphotos.ie

නිවසක් තෝරාගැනීමේදී අසල්වැසියන් සම්බන්ධයෙන් ඔබ සිතිය යුතුමයි. ඔබ ඔබේ ජීවිතයේ වැඩි කාලයක් ගෙවන නිවස අවට සිටින්නේ ඔවුන්. ඔවුන්ගේ හොඳ හිත ඔබට අවශ්‍ය සේම ඔවුන් පරහිතකාමී හොඳ මිනිසුන් වීමද එම නිවස තෝරාගන්නට ඔබට හොඳ සාධකයක්. එසේම නිවස අවට ආරක්ෂාව පිළිබඳවත් සිතන්න. නිවසේ සිටින මිනිසුන්ගේ ආරක්ෂාව සහ ඔබේ වස්තූන්ගේ වටිනාකම පිළිබඳව සිතිය යුතුම නිසා නිවසක් මිලදීගන්නට ප්‍රථම සොරුන්ගෙන් ආරක්ෂා වීම සේම සර්පයින් වැනි සතුන් ඒ අවට සිටීදැයි යන කාරණයත් සොයාබලන්න. මේ සියල්ල සමග ඔබ සිතෙහි තබාගත යුතු කරුණක් ඇත. එනම් නිවසක් මිලදීගැනීම තරම් විකිණීම පහසු නොවේ යන්නයි.

 

5. වෙද හෙදකම්

What to think before buying a house

Source – i-vision.com

නිරෝගිකම හැර සැපතක් ලොවේ කොයින්දා කියල කියන්නෙ නිකං නෙමෙයිනෙ. ඇත්ත වශයෙන්ම ලෙඩ රෝග කියන්නෙ දැනුම්දීලා එන දේවල් නෙමෙයි. එනිසා ඒ සම්බන්ධයෙන් සැමවිටම පෙර සූදානමක් අප සතුව තිබිය යුතුයි. මූල්‍ය පරිපාලනයේදී එයට යම් කොටසක් වෙන්කරන්නට හැකියාව තිබිය යුතු සේම නිවසක් තෝරාගැනීමේදීත් ඔබ ඒ සම්බන්ධව සිතිය යුතුයි. එනිසා වෛද්‍යවරයෙකු සහ ඔසුසලක් ඔබේ නිවස අසළින් ඇතිදැයි සොයාබලන්න. ‌මෙම තීරණය විශේෂයෙන්ම ඔබ නිවසේ කුඩා දරුවෙකු හෝ වැඩිහිටියෙකු සිටියි නම් අනිවාර්යෙන්ම සොයා බැලිය යුතු කාරණයක් වනු ඇත.

 

6. ස්වභාවික විපත්

What to think before buying a house

Source – newsin.asia

සර්පයන් සේම මීයන් වැනි සතුන් ස්වභාවික කරදර ලෙසින් දැක්වුනත් අපගේ මෙම සටහනේ කොටස වෙන්වන්නේ ඉන් එහා ගිය කරදර වෙනුවෙනුයි. එයට උදාහරණයක් ලෙස වැස්සකදී අවට පරිසරය මුහුණ දෙන තත්ත්වය සැළකිල්ලට ගත හැක. පාරවල් සහ ගෙවතු යටවීම, නිවෙස් තුළට වතුර ඇතුළු වීම, මඩ වලවල් අධික වීම වැනි කාරණා සම්බන්ධයෙන් නිවසක් තෝරාගැනීමේදී ඔබ සැළකිළිමත් විය යුතුමයි. නැතිනම් ඔබව රවටා නිවස අලෙවි කළහොත් ඔබ නොසිතූ මොහොතක ඔබට විශාල කරදරයකට මුහුණ පාන්නට සිදුවිය හැකියි.

 

7. මිල සහ අලුත්වැඩියා වියදම්

What to think before buying a house

Source – youtube.com

නිවසක් හෝ ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් මිලදී ගන්නට සූදානම් ඔබට අවශ්‍යම කුමක්ද? මුදල්. ඔවු මුදල් තරම් ඔබට අවශ්‍ය තවත් දෙයක් නැහැ. එනිසා මුදල් නිවැරදි ලෙසින් ඔබ වියදම් කළ යුතුයි. ඔබ ගෙවන මිලට සරිලන නිවසක් ලැබෙනවාද කියා සිතිය යුතුයි. එනිසා වෙළඳපොල සම්බන්ධයෙන් තීරණයක් ගන්න. වෙළඳපොල මිල අධ්‍යයනය කරන්න. නිවසක් මිලදීගැනීමේදී ඔබට අලුත්වැඩියා කිරීමට ඇතිනම් ඒ වෙනුවෙන් වැයවන මුදල සම්බන්ධයෙන් දැනුමක් ලබාගත හැකි පුද්ගලයෙකුද ඔබ සමග නිවසක් බලන්නට යන්නට තෝරාගන්න. එසේම බොහෝ අලෙවි කරන්නටම සැකසූ නිවෙස් බාල තත්ත්වයෙන් නිමවන්නට ඉඩ ඇති නිසා ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂා කර අවබෝධයක් ලබාගන්න.

 
Cover Image Source – pintarest.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *