ජපන්නු හපන්නු කියලනේ කියන්නෙ. ඒක කියමනක්ම නොවෙයි හැබෑවක් කියලා ඔවුන්ගේ තාක්ෂණ භාවිතය සහ ඉක්මන් ආර්ථික දියුණුව දැක්කම අපට වැටහෙනවා. ඉතින් ඒ තත්ත්වෙට ඔවුන් පත්වුණේ කොහොමද කියලා හොයලා බැලුවම පළවෙනියටම එන කාරණය තමයි ඔවුන් කාලය බොහෝ සෙයින්ම ඉතුරු කරගැනීම මේ දියුණුවට ප්‍රධාන වශයෙන්ම හේතු වෙනවා කියන එක. ඉතින් අපි මේ ලිපියෙන් ඔබට කියන්න යන්නේ ජපනා කාලය ඉතුරු කරගන්න භාවිතා කරන ක්‍රම කිහිපයක්. ඔබේ ජීවිතේටත් මේ දේවල් කොයිතරම් වැදගත් වේවිද කියලා හිතලා බලන්න.
1. අතහැරීමේ න්‍යාය
ජපනා ඕනවට වඩා ඕනම දෙයක් ගැන බලන් ඉන්නෙ නෑ. කාලය නිරපරාදේ වැය වෙනවනම් ඔවුන් ඒ දේ අතහරින්න දෙසැරයක් හිතන්නෙ නෑ. උදාහරණයක් විදිහට පත්තර කාරයා එන්නෙ 8ටනම් හරියටම 8ට ඔහු ආවෙ නැත්නම් ඔවුන් එදාට පත්තර කියවීමේ අදහස අත හැරගන්නවා. හැම කෙනාම වගේ ඒ න්‍යායට වැඩ කරන හන්දා ප්‍රමාදයක් කියලා දෙයක් වෙන්නෙ ඉතා කලාතුරකින්.
2. වෙලාවට වැඩ කිරීම
ජපානයේ හැම මනුස්සයම නිසි වෙලාවට වැඩක් නිමා කරන්න පුදුම මහන්සියක් ගන්නවා. පොඩි මනුස්සයගෙ ඉඳලා ලොකු මනුස්සයා දක්වා කිසි භේදයකින් තොරව වෙලාවට තමන්ගෙ වැඩේ නිම කරන්න උත්සාහ ගන්නේ ආදර්ශ රැසක් අපට මවමින්.
3. වෙලාවට වැඩ ඉගැන්වීම
“අපේ ඉස්කෝලෙන් අපිව ට්‍රිප් එකක් එක්කගෙන ගියා. කාටත් හරියටම 8ට එන්න කිව්වා. 8 වෙද්දි අපි ඔක්කොම බස් එකට නැග්ගා. එක්කෙනෙක් එද්දි 8:01යි වෙලාව. ඌ බස් එකේ දොර ගාවට එද්දිම දොර වැහුවා. ඌ බලන් ඉද්දිම දාලා ගියා. එහෙ එහෙමයි කවුරුවත් වෙනුවෙන් බලන් ඉන්නෑ.”
මේ ජපානයේ මගේ මිතුරෙක් කියපු කතාවක්. ඉතින් පේනවනේ වෙලාවට වැඩ කරන්න ඔවුන් අනාගත පරම්පරාව හුරු කරන්නෙ කොහොමද කියලා. අනාගත පරම්පරාවත් කාලය සුරකින පරම්පරාවක් බවට පත් කිරීම තමයි ඔවුන්ගේ අරමුණ වෙන්නේ.
4. පොදු ප්‍රවාහන සේවා භාවිතය
ජපානයේ ගොඩක් උදවිය තමන්ට වාහනයක් තිබුණත් රැකියාවට යද්දී භාවිතා කරන්නේ පොදු ප්‍රවාහන සේවා. ඒක නිසා උදෑසන කාලයේ සහ සවස බොහෝ විට මාර්ග වල දකින්න ලැබෙන්නේ බස් සහ ට්‍රෑම් රථ. ඒ නිසා වැඩි තදබදයක් නගර වල ඇති වෙන්නේ නෑ වගේම වෙලාව ඉතුරු කරගන්න එය බොහෝ සෙයින්ම දායක වෙනවා.
5. පාට් ටයිම් ජොබ් වලට වෙලාව ඉතුරු කරන හැටි
ජපානයේ උද්ධමනය ටිකක් ඉහළයි. රටේ ආර්ථිකේට හරියන්න ඔවුන්ගේ ආර්ථිකය හදාගන්න ඕන නිසා ජපන්නු කරන්නේ අමතර රැකියාවක් කරන එක. හවසට වැඩ නිමවලා නිවසට ඇවිත් අමතර රැකියා වලට යන එක ඕනෑම රැකියාවක නියැලෙන කෙනෙක් කරන දෙයක්. රෑ වෙනකන් රැකියා කරද්දී නිදිමත සහ මහන්සිය ඒම අනිවාර්යයෙන් වෙන දෙයක්. ඉතින් එය වලක්වාගන්න ඔවුන් හරි අපූරු ක්‍රමයක් අනුගමනය කරනවා. රැකියාව නිමවලා නිවසට එද්දී බස් රථ වල, දුම්රියේ ආසන වල ඔවුන් ගමනාන්තයට එනකම්ම නිදාගන්නේ අන්න ඒ නිදිමත නැති කරගන්නයි. ආසන ඔවුන්ට පහසු නෑ වගේ දැනෙනවනම් බස් රථයේ හෝ දුම්රියේ බිම නිදාගන්න ඔවුන් දෙපාරක් හිතන්නෙ නැහැ.
6. කාලය ඉතුරු කරන පොඩි පොඩි ක්‍රම
ජපාන නිවාස බොහෝ විට S5 ක්‍රමය අනුගමනය කරනවා. විශේෂයෙන්ම නිවාස වල බොහෝ දේ ලේබල් ගත කර තිබීම තුළ ඔවුන්ගේ කාලය බොහෝ ලෙස ඉතුරු වනවා.
ගෙදරකට යන කොට අපි සෙරෙප්පු ගෙදරින් එළියෙන් තියලයි යන්නේ. ජපන්නුත් ඒක කරනවා. හැබැයි වෙනස් විදිහකට. ජපන්නු සෙරෙප්පුව දොර ළඟ තියන්නේ සෙරෙප්පුවේ පිටුපස පැත්ත නිවස දෙසට වන ලෙසයි. ඒ කියන්නේ ආපහු එද්දී සෙරෙප්පුව ප්‍රමාදයකින් තොරව දාගන්න ඔවුන්ට ඒකෙන් හැකියාව ලැබෙනවා. බලන්න තත්පරය ඉතුරු කරන හැටි.
ජපන්නු බොහෝ වෙලාවට ඔවුන්ගේ මෝටර් රථ ගාල් කරන්නෙත් පිටුපසට. ඒක ඔවුන් කරන්නෙත් කාලය ඉතුරු කරගන්න ක්‍රමයක් හැටියට.
ජපානයේ කෙනෙක් තව කෙනෙක්ගෙ ගෙදරකට යද්දී තවත් කෙනෙක් ඒ ගෙදරට අමුත්තෙක් විදිහට ඇවිත් ඉන්නවා කියලා පේනවනම් ඒ නිවසට යන්නේ නෑ. අර අමුත්තා යනකන් ඉන්නවා. හේතුව තමයි වැඩි වැඩියෙන් පිරිස එකතු වෙද්දී කතාවට යන වෙලාව වැඩි වීම.
7. ප්‍රමාදයට සමාව
ජපානයේ මිනිස්සු තමන් අතින් ප්‍රමාදයක් වුනාම සමාව ගන්න අමතක කරන්නේ නෑ. ප්‍රමාදයට සමාව ගැනීම තුලින් ඔවුන්ගේ ප්‍රමාදය පිලිබඳව කණගාටුව ප්‍රකාශ කරනවා වගේම බාල පරම්පරාවට ප්‍රමාදය යනු බරපතල වරදක් බව පෙන්වා දීමත් අනියමින් සිද්ධ වෙනවා.
ප්‍රමාදය අඩු කිරීම වගේම නියමිත වේලාවට වැඩ කිරීමටත් ජපනුන් උනන්දු වනවා. දුම්රිය තත්පර විස්සක් කළින් පිටත් වූ නිසා ජපාන දුම්රිය සමාගම් ප්‍රධානියෙක් සමාව ගත්තු පුවතක් පහුගිය දවසේ අන්තර්ජාලය කැළඹූ පුවතක් බවට පත් වුණා. ඒත් ජපානයේ ඒවා ඉතාම සාමාන්‍ය සිද්ධි.
ඔබත් ජපානයේ කාලය ඉතුරු කරන හැටි ගැන මීට වඩා දේවල් දන්නවනම් පහතින් ඒ ගැන කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.
Cover Image Source – kids.nationalgeographic.com / amazon.com
[…] එක් තැනක් විදියට ජපන් රටේ මිනිසුන් වෙලාවට වැඩ කිරීමේ පුරුද්ද දක්වන්නට පුලුවනි. පිරිසක් එකතු වී කරන […]