චරිතයක් වෙනුවෙන් වැඩිම කැපකිරීමක් කල රංගන ශිල්පීන් 8 දෙනෙක්

Actors Who Did A Huge Sacrifice For Their Roles

චරිතයක් වෙනුවෙන් ශ්‍රේෂ්ට රංගන ශිල්පීන් කරන කැපකිරීම් මෙතකැයි කියලා කියන්න බැහැ. රඟපෑමේදී කරන කැපකිරීම් වගේම ඒ චරිතය වෙනුවෙන් සාමාන්‍ය ජීවිතය පවා හාත්පසින්ම වෙනස් කරගනිමින් ඔවුන් කල කැපකිරීම් නිසා අපි බලන චිත්‍රපට ඉතාමත් තාත්විකව අපට දිස් වුණා. ඉතින් අපි මේ කතා කරන්න යන්නේ චරිතයක් වෙනුවෙන් විශාල කැපකිරීම් කරපු රංගන ශිල්පීන් 8 දෙනෙක් ගැන.

 

1. ජිම් කේරි – Man On the Moon චිත්‍රපටය

Actors Who Did A Huge Sacrifice For Their Roles

Source – popwrapped.com

ජිම් කේරි කියන්නේ හාස්‍යය මතු කරමින් රංගනයේ යෙදෙන්නෙක්. නමුත් ඒ රංගනයට එහා ගොසින් ඔහුගේ තාත්වික රංගන හැකියාව ඉස්මතු කරන්නට ඔහුට ප්‍රථම වරට අවස්ථාව ලැබුණේ වෘත්තියමය මල්ලවපොර ක්‍රීඩකයෙක් වුණු “ඇන්ඩි කෝෆ්මන්” ගේ ජීවිතය ගැන කෙරුණු Man On the Moon චිත්‍රපටයෙනුයි. ජිම් කේරි මේ චිත්‍රපටයට රූපගත කරන කාලය තුළ ඉතා තනිව කාලය ගත කල බවත්, ඔහුගේ පවුලේ උදවියට ඔහුගේ නමින් ඔහුව ඇමතීම තහනම් කොට තිබූ බවත් සඳහන්. ඒ වගේම චිත්‍රපටය රූගත කෙරෙන විට කෝෆ්මන් ගේ සැබෑ ජීවිතයම පෙන්වීමේ අරමුණින් ඔහු ඉතා වේදනාකාරී ජවනිකා පවා ඔහු විසින්ම කල බවත් සඳහන් වනවා. කේරීට මේ විශිෂ්ට රංගනය වෙනුවෙන් ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය හිමිවුණා.

 

2. ඩැනියල් ඩේ ලුවිස් – ඔහුගේ සියලුම චිත්‍රපට

Actors Who Did A Huge Sacrifice For Their Roles

Source – vanityfair.com

ඩැනියල් ඩේ ලුවිස් කියන්නෙත් විශිෂ්ට රංගන ශිල්පියෙක්. ඔහු My Left Foot සිනෙරුව රූගත කරද්දී චිත්‍රපටයේ ඔහු රඟපෑ චරිතය වගේම රෝද පුටුවට වී කාලය ගත කල බව සඳහන් වනවා. ඒ චරිතයට ආහාර පාන දුන් ආකාරයටම රූගත කරන කාලය තුල හැන්දෙන් යමකු විසින් ඩැනියල්ට ආහාර පාන ආදිය ලබා දුන් බවත් කියවෙනවා. මේ රංගනයට ඔහුට ඔස්කාර් සම්මානය හිමිවුණා.
ඒ වගේම ඔහුගේ The Last of the Mohicans චිත්‍රපටයේ ඔහු ඉදිරිපත් කල රංගනයට පෙර ඔහු මාස හයක් චරිතය හැදෑරීම සඳහා වනගත වුණු බවත් ඒ කාලය තුළ සතුන් ගැන, කැලයේ ජීවත් වීම ගැන, සතුන් දඩයම ගැන බොහෝ කරුණු ඔහු උගත් බවත් කියවෙනවා.

 

3. මාලන් බ්‍රැන්ඩෝ –The Men

Actors Who Did A Huge Sacrifice For Their Roles

Source – pintarest.com

ලෝක යුධ සමයේදී සෙබලුන්ට සහ සාමාන්‍ය වැසියන්ට සිදුවන මානසික සහ කායික අසමතුලිතතාවන්ට හදිසි ප්‍රතිකාර ලබාදෙන කණ්ඩායමක් ගැන සැකසූ මේ චිත්‍රපටය රූගත කිරීමට ප්‍රථම බ්‍රැන්ඩෝ එවැනි ආයතනයක රෝහලකට රෝගියෙක් ලෙස ඇතුළු වී බොහෝ කලක් එහි ඇඳක හිඳ, එම ස්ථානයේ ලබාදෙන හෙදකම් පිළිබඳව අධ්‍යයනය කල බව සඳහන්. ඔහු රෝහලේ එහා මෙහා ගියේ රෝද පුටුවකින් බවයි කියවෙන්නේ. එම ස්ථානයේ සිටි අයගෙන් ඉතා කිහිප දෙනෙක් පමණක් මේ බොරු ලෙඩ ගැන දැන සිටි බවයි කියවෙන්නේ. කොහොම උනත් දවසක් ඔහු තනියම මේ රෝහලේ රෝද පුටුවකට වෙලා ඉඳිද්දී ආපු මහලු කාන්තාවක් ඇය සමග එක්ව දෙවියන්ට යාඥා කරන ලෙසත් එයින් ඔහුගේ ඇවිදීමට නොහැකි දුබලතාව සුව වනු ඇති බවටත් පැවසුවාලු. යාඥාව අවසානයේ බ්‍රැන්ඩෝ එක්වරම නැගිටලා “මට දැන් ඇවිදින්න පුලුවන්” යැයි කෑ ගසා රෝහලෙන් එලියට දිව ගියාලු. ඒ අමතර රස කතාවක්.

 

4. සනත් ගුණතිලක – විරාගය

Actors Who Did A Huge Sacrifice For Their Roles

Source – sundaytimes.com

සනත් ගුණතිලක කියන්නේ ලංකාවේ සිනමාව තුළ සිටින විශිෂ්ට රංගධරයෙක්. ඒ වගේම තරුණ කාලයේදී යුවතියන්ගේ ආකර්ශනය දිනූ කඩවසම් පුද්ගලයෙක්. විරාගයේ අරවින්ද කියන්නේ කෙසඟ සිරුරක් තිබුණු එතරම් කැපීපෙනෙන තරුණයෙක් නොවෙයි. සනත්ට විරාගයේ චරිතය ලැබුණම එය ආරංචි වුණු බොහොමයක් අය එය සනත්ට නොගැලපෙන බව කීවත් සනත් ඒ නොගැලපීම ගැලපීමක් කරගැනීම සඳහා තමන් විසින්ම සටනක් ආරම්භ කරනවා. සනත් රූගත කිරීම ආරම්භ වන දිනට මාස තුනකට පෙර ඉඳලා සාමාන්‍ය ආහාර වේල් තුන ගැනීම ප්‍රතික්ෂේප කරනවා. ඒ වෙනුවට ඒ මාස තුනම දවසකට ක්‍රීම් ක්‍රැකර් බිස්කට් කිහිපයක් බැගින් අරගෙන බඩ පුරවාගන්න ඔහු පියවර ගන්නවා. ටිකෙන් ටික හැඩිදැඩි සිරුරක් තිබුණ සනත් කෙසඟ අරවින්ද බවට පත් වෙනවා. කඩවසම් සනත් එතරම් කඩවසම් නොවූ අරවින්ද බවට පත් වෙනවා. ඒ චරිතය වෙනුවෙන් ඔහු කල කැප කිරීම සිනෙමා පටය පුරාවටම දකින්නට ලැබෙනවා වගේම මේ චිත්‍රපටයේ ඔහුගේ රඟපෑම වෙනුවෙන් ඔහුට ඒ වසරේ සම්මාන උළෙල වල පිදුන හැම හොඳම නලුවා සම්මානයම හිමිවනවා.

 

5. ඇෂ්ටන් කුචර් – Jobs

Actors Who Did A Huge Sacrifice For Their Roles

Source – youtube.com

ඇපල් ආරම්භකයා ස්ටීව් ජොබ්ස් ගේ ජීවිත කතාව රැගෙන 2013 ආපු චරිතාපදාන සිනෙරුව ඔබට මතක ඇති. එහි ජොබ්ස් ගේ චරිතය රඟපාන්නේ ඇෂ්ටන් කුචර්. කුචර් ජොබ්ස් ගේ චරිතයට ආරූඪ වෙන්න බොහෝ කාලයක් සූදානම් වුණා. ඒ විතරක් නෙමෙයි ඔහු ජොබ්ස් වගේම වෙන්න කියලා හිතාගෙන මාස ගාණක් ජොබ්ස් ගේ ආහාරවේල ආහාරයට ගත්තලු. ඔබ දන්නවද ජොබ්ස් ගේ ආහාර වේල..? ටිකක් හිතාගන්න අමාරු වෙයි. ජොබ්ස් කියන්නේ පළතුරු පමණක් ආහාරයට ගත්තු පුද්ගලයෙක්. එහෙම නැත්නම් Fruitarian කෙනෙක්. ඉතින් මේ ආහාර ගැනිල්ල අවසානයේ ඇල්ස්ටන්ට දරාගන්න අමාරු වෙලා රෝහල් ගත වෙන්න පවා සිදු වුණා කියලා කියවෙනවා.

 

6. ශාරුක් ඛාන් – My Name is Khan / Happy New Year

Actors Who Did A Huge Sacrifice For Their Roles

Source – nerdgfeekfeelings.com

මැදි වියේ ඔටිසම් ක්‍රියාකාරී රෝගයකින් පෙලෙන පුද්ගලයෙකුගේ චරිතයක් රඟපෑමට My Name is Khan චිත්‍රපටයේදී ශාරුක් ඛාන් ට සිදු වුණා. ඒ වෙනුවෙන් ශාරුක් බොහෝ කාලයක් චරිතය අධ්‍යයනය කල බව සඳහන් වනවා. ඔටිසම් රෝගීන්ගෙන් , ඒ රෝගීන්ගේ පවුල් වල උදවිය සමග බොහෝ කාලයක් ඇසුරු කරමින් ශාරුක් මේ චරිතය පිළිබඳ අධ්‍යයනය කල බව සඳහන්.

Happy New Year චිත්‍රපටය තුළ ශාරුක් රඟපෑවේ සටන් කරුවෙක්ගේ චරිතයකට. ඒ චරිතය වෙනුවෙන් ඔහුගේ සිරුර මනාව සකසාගැනීමට ඔහු මහත් වෙහෙසක් ගෙන තිබෙනවා. ආහාර බොහෝ ලෙස පාලනය කරමින් සහ දිනකට පැය හතරක් පහක් පමණ ශරීරයට ව්‍යායාම කරමින් ඔහු ඔහුගේ සිරුර මනාව සකසාගෙන තිබුණා.

 

7. අමීර් ඛාන් – දංගල්

Actors Who Did A Huge Sacrifice For Their Roles

Source – youtube.com

අමීර් ඛාන් කියන්නේ ඉන්දියානු සිනෙමාවේ Mr. Perfect ලෙස හැඳින්වෙන්නෙක්. සුපිරි ඛාන් වරු තිදෙනාගෙන් එක් අයෙකු වන අමීර් ඛාන් තමන්ගේ සිනෙමා පට සඳහා බොහෝ මහන්සි වන්නෙක් විදිහට හැඳින්විය හැකියි. එයට හොඳම උදාහරණය දංගල්. අමීර් ඛාන් දංගල් හි හිටපු මල්ලවපොර ශූරයා වෙනුවෙන් සිය සිරුර හැඩ ගස්සවා ගැනීමට මාස පහක් බොහෝ වෙහෙස මහන්සියෙන් ව්‍යායාම කර තිබුණා. එමගින් සිය සිරුරේ මේදය 38% සිට 9% දක්වා අඩු කරගෙන සිය සිරුර තරමක් දැඩි ලෙස පෙනෙන පරිදි සකසා ගන්නට ඔහු අවසානයේ සමත් වුණා. ඒ කැපවීමට ඉමහත් ප්‍රතිඵල ලැබුණු අතර දංගල් චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 2000 සීමාවද පසු කරමින් තවමත් තිරගත වනවා.

 

8. ක්‍රිස්ටියන් බේල් – ද මැෂිනිස්ට්

Actors Who Did A Huge Sacrifice For Their Roles

Source – watchfit.com

හොලිවුඩ් නළු ක්‍රිස්ටියන් බේල් කියන්නෙත් තමන් කරන චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරන්න කැප වෙන පුද්ගලයෙක්. ක්‍රිස්ටියන් බේල්ගෙ මේ කැපවීම උපරිමයෙන්ම පෙන්නපු චිත්‍රපටයක් තමයි 2004දි තිරගත කරපු ද මැෂිනිස්ට් චිත්‍රපටය. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙනුවෙන් තමන්ගේ සිරුර දැඩි ලෙස කෘශ කරගන්නා ක්‍රිස්ටියන් බේල්ව හඳුනා ගැනීමටත් අපහසු තරම්. මේ චිත්‍රපටයේ චරිතය වෙනුවෙන් රාත්තල් 60ක ප්‍රමාණයක් බර අඩුකරගත් බේල් රංගනයෙන්ද එම චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරන්න සමත් වුණා.

Cover Image Source – bodywhat.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *