පාටියට, වෙඩිමකට අතේ ඇති මුදලට බඩු ගන්න පිටකොටුවේ මේ තැන් ගැන දැනගෙන ඉන්න

Pettah Shopping

මංගල උත්සවයක් ගන්නට ඉන්න ඕනෑම කෙනෙක්ට තිබෙන්නේ සීමාසහිත බජට් එකක්. ඒ අතේ තියෙන ගාණට අනුව අපිට විවිධාකාරයේ තෝරාගැනීම් ගොඩාක් තිබේනම් එතනදී අපේ කැමැත්ත සහ අතේ තියෙන ගාණ බැලන්ස් කරලා වැඩේ ලස්සනට කරගන්න පුලුවනි. මේක සරලව කිව්වොත් අපි හිතමු වෙඩින් කේක් කෑල්ල දාල තියෙන පෙට්ටි කියලා. පිටකොටුවේ එක කඩේක මේ පෙට්ටි එකිනෙකට වෙනස් වර්ග සීයකටත් වඩා තිබෙනවා. මැලිබන් විදියේම මේ විදියේ කේක් බොක්ස් වෙඩින් කාඩ් ඩෙකරේශන් කරන කඩ සාප්පු 20කට වඩා තිබෙනවා. ඉතිං එතනින් අපිට බොහෝම ලේසියෙන් අපේ බජට් එක, කොලිටිය, අනුව අපේ වෙඩිමේ කේක් බොක්ස් එක තෝරාගත හැකියි.

මේ කියන්න යන්නෙ ඒ විදිහේ විවිධ තෝරාගැනීම් කරන්න පුළුවන් පිටකොටුවේ තවත් තැන් කිහිපයක් ගැනයි.

 

1. සාරි සාරී – මේන් ස්ට්‍රීට් සහ දෙවැනි හරස් වීදිය

Pettah Shopping

Source – visitcolombo.com

විවාහ මංගල්‍යයකදි දේශීය හුරුවට සැරසීම ලෝකයේ බොහෝ රටවල සිදුකරන චාරිත්‍රයක්. අපේ වෙඩින් වලත් අපේ අම්මලා, අක්කලා, නංගිලා පුංචිලා සාරි ඇඳලා සැරසිලා වෙඩිමට එද්දි හරියට වෙසක් කූඩු ටිකක් පේළියට තියලා වගේ එළියක් එනවා වෙඩින් එකට. පිටකොටුවෙන් නම් ප්‍රධාන වීදිය හෙවත් මේන්ස්ට්‍රීට් එකේ ටිකක් ඉහළ පෙළේ සාරි සහ වෙඩින් සල්වාර් ආදිය තිබෙනවා. ඒ වගේම දෙවන හරස්වීදියෙත් විවිධ තැන්වල සාරි සහ සල්වාර් මිලදී ගන්නට හැකියි. ටිකක් වැඩි මිල සහ ඉහළ මට්ටමේ සාරි මේන්ස්ට්‍රීට් එකේ විශාල කඩසාප්පු සෙට් එකෙන්ද, විශාල පරාසයක සාරි සහ සල්වාර් ආදිය දෙවන හරස්වීදිය සහ යාබද වීදි වලින්ද මිලදී ගත හැකියි.

 

2. වෙඩින් කාඩ් සහ කේක් බොක්ස් – මැලිබන් වීදිය

Pettah Shopping

Source – serandib.com

වෙඩින් කාඩ් ගැන කියද්දි මැලිබන් විදිය තරම් තැනක් ලංකාවෙම වෙඩින් කාඩ් වලට වෙන නැතුව ඇති. විවිධාකාර අලංකාර වෙඩින් කාඩ් වගේම කේක් බොක්ස් ආදියත් මැලිබන් වීදියෙන් මිලදී ගන්නට හැකියි. හැමෝම කරන අපි නිතර දකින මෝස්තර වගේම අපිට අවශ්‍ය නම් අපේ හිතේ තිබෙන ලස්සන මෝස්තරයක් අනුව උනත් කදිම වෙඩින් කාඩ් එකක් හදාගන්න, කේක් බොක්ස් එකක් ගහගන්න මැලිබන් විදිය කියාපු තැනක්.

 

3. රන් අබරණ මිලදී ගැනීම/පාට කිරීම – හෙට්ටි වීදිය

Pettah Shopping

Source – youtube.com

රත්තරං නම් ඉතිං වෙන කොහෙද හෙට්ටි වීදිය තරම්. හෙට්ටි වීදිය කියන්නේ තනිකර ස්වර්ණාභරණ වලට වෙන් වුන වීදියක්. රත්තරං රිදී ප්ලැටිනම් ආභරණ දිළිසි දිළිසි සෝකේස් වල තිබෙන ආකාරය මෙම වීදියේ ගමන් කිරීමේදී පේනවා. මංගල උත්සවයකට වගේ නම් ඩිසයින් ගණනාවක් දැකබලාගෙන මාලයක් , මුද්දක් කරාබුවක් ගන්න ඉතිං හෙට්ටි වීදියට යන එක ලේසියි.

 

4. අල, ළූණු, හාල්, පිටි සීනි, කරවල – 4-5 හරස් වීදි

Pettah Shopping

Source – pintarest.com

වෙඩින් එකක් කිට්ටු වෙද්දි බඩු ගන්න කොළඹ ආවම, වෙඩින් එක කිට්ටු නම් ගෙදරට බඩු මුට්ටු ටිකක් අඩුවට රැගෙන යන්න නම් 4-5 හරස් වීදිවල පොඩ්ඩක් කැරකුනාම හරි. හැබැයි මේ තැන්වල සිල්ලර දෙනවා අඩුයි. ඒත් ගමක නම් වෙඩින් එක හෝල් එකේ තිබුනත් තාමත් ගෙදරට කට්ටිය යනවා එනවා උදව් කරනවා එහෙම නේ. ඇරත් වෙඩිම හෝ උත්සව අවස්ථාව අපේ නිවසක ගන්නවා නම් සිල්ලර බඩු ටික තොගේට ගන්නට මෙම හතර පහ හරස්වීදි වලදී හරිම ලෙහෙසියි. මේ පෙටා සිල්ලර බඩු තිබෙන ඒරියා එකට ගිහින් සිල්ලර ගැනීම සුපිරි වෙළද සැලක බඩු ගැනීම වගේ නම් නෙමෙයි. ආයිං…ආයිං ගාගෙන කරත්ත කාරයෝ යනවා. සයේඩ් සයේඩ් ගාගෙන නාට්ටාමිලා යනවා. ඒ අස්සේ කපුටෝ පරෙයියෝ එහෙමත් කැරකෙනවා. හරිම ගෝෂාවක් එතැන. ඒකත් එක්තරා අත්දැකීමක්ම තමයි ඉතිං.

 

5. ලන්ච් ෂීට්, ප්ලාස්ටික් කප් සහ පොලිතීන් – චීන වීදිය

Pettah Shopping

Source – yamu.lk

උත්සව අවස්ථාවකදී නම් ලන්ච් ෂීට් ප්ලාස්ටික් කප් වගේම පොලිතිනුත් විවිධ වෙලාවට ඕනා වෙනවා. ඉතිං ඒවා ලොකු තොගයක් බොහෙම ලාබෙට ගන්න නම් පිටකොටුවෙ ටිකක් ඈත පැරණි ශාන්ත බස්තියන් මාළු වෙළඳපොල තිබුන හරියේ චීන විදියට යන්නට ඕනා.

 

6. මල් මල් ප්ලාස්ටික් මල් – බංගසාල වීදිය

Pettah Shopping

Source – timeout.com

නිවාස හැඩකරගන්න, උත්සව අවස්ථාව හැඩ කරගන්න මල් ආදිය ගන්න නම් හොඳම තැන් බංගසාල වීදියේ තියෙනවා. ප්ලාස්ටික් වුනත් ඇත්තම වගේ හැඩකාර මල් මේ බංගසාල වීදියෙන් ලබාගන්නට පුලුවන්.

 

7. චොකලට් ඇපල් මිදි – රතු පල්ලිය අසළ

Pettah Shopping

Source – roar.lk

වෙඩින් උත්සව වලදී පැරණි ක්‍රමයට වෙඩින් කේක් නොදී චොකලට් ස්වීට්ස් මල්ලක් ලබාදිමේ අලුත් සිරිතක් තිබෙනවා. එසේ අමුතු අමුතු පිටරට ස්වීට්ස් ජාති රස බලන්න වගේම තොගේට ගන්නත් දෙවන හරස්වීදියේ මේන්ස්ට්‍රීට් කෙළවරේ තිබෙන රතු පල්ලිය ආසන්නයෙන් හැකියි. රතු පල්ලිය ආසන්නයේ ඉදිරිපිටම වගේ එවැනි එක් ජනප්‍රිය චොකලට්, රටකජු, රටඉඳි පළතුරු කඩයක් තිබෙනවා.ඒ ආසන්නයෙත් තවත් ඒ වගේ කඩසාප්පු කිහිපයක රස වෑහෙන ජාති ගොඩගසා තිබෙන්නේ මග යන්නවුන්ට පවා කටට කෙළ උනවමින්…

 

8. බෙඩ්ෂීට් තුවා සරං ඇඳ ඇතිරිළි – ප්‍රින්ස් ස්ට්‍රීට්, කේසර් ස්ට්‍රීට් සහ දෙවන හරස්වීදිය

Pettah Shopping

Source – twitter.com

වෙඩිමක් වගේ දෙයක් වුනත් අලුත් තැනකට යනවා නම් අලුතින් බෙට්ෂීට් තුවා කොට්ට උර ගන්න එක වැදගත්. ඒ නැතත් උත්සව අවස්ථාවක අපේ ගෙවල් වලට එන අයට නිදාගන්න දෙන්න මූලික පහසුකම් විදියට අපේ අම්මලා නම් ඒ කාලේ පටන්ම ගෙදර පෙට්ටගමේ, අල්මාරියේ වැඩිපුර බෙඩ්ෂීට් කොට්ට උර ස්ටොක් තියාගෙන උන්නා. ඒ විදියට පිටකොටු ඇවිත් බෙඩ්ෂීට්, සරං තුවා ආදිය තෝරාගන්නට ප්‍රින්ස් ස්ට්‍රීට්, කේසර් ස්ට්‍රීට් සහ දෙවන හරස්වීදිය හරහා ගියොත් පුලුවන් ලේසියෙන්ම.

 

9. තෑගි දෙන්න මෙන්න බඩු – මේන් ස්ට්‍රීට් කෙළවර සහ තුන්වෙනි හරස් වීදිය

Pettah Shopping

Source – timeout.com

සල්ලි නං මොනාද මතක හිටින්න මොනාහරිත් අපි දෙන්න එපැයි කියලා හිතන අය උත්සව අවස්ථා වලට වෙඩින් වලට තෑගි තෝරගන්නවා. ඉලෙක්ට්‍රික් බඩු නම් ෆස්ට් ක්‍රොස් එකේ මේන්ස්ට්‍රීට් කෙළවරෙන්ද. ලස්සන විසිතුරු බඩු ආදිය නම් තුන්වන හරස් වීදියෙන්ද මිලදී ගැනීමට පිටකොටුවේදී හැකියි.

 

10. ප්ලාස්ටික් ආභරණ ආදිය – රතු පල්ලිය/ මැලිබන් වීදිය

Pettah Shopping

Source – trover.com

කුඩා දරුවන්ට පළඳවන ආභරණ, නිළමේ ඇඳුම් සාරි වැඩට ගන්නා විසිතුරු කොටස් ආදියත් පිටකොටුවේ විවිධ ස්ථානවල තොගේට වගේම සිල්ලරටත් අලෙවියට තිබෙනවා. එවැනි නූල් බොත්තම් අලංකාර පටි ආදිය රතු පල්ලිය ආසන්නයෙන් සොයාගත හැකියි. ලස්සනම ලස්සන කොණ්ඩ කටු, කරාබු, සාරි කටු ආදිය නම් මැලිබන් ස්ට්‍රීට් එකේ කඩසාප්පු කිහිපයකම තිබෙනවා.

 

11. සපත්තු, සෙරප්පු, බෑග් – මල්වත්ත පාර සහ අනෙකුත් හරස් වීදි

Pettah Shopping

Source – pintarest.com

මේකනං ගොඩක් අය දන්න දෙයක් නේ. පිටකොටුවේ සපත්තු නම් වැඩිපුර තියෙන්නේ මල් වත්ත පාරේ. බෑග් නම් මල් වත්ත පාරේ කෙළවරේ. පිරිමි අයට නම් විශාල පරාසයක සපත්තු සෙරෙප්පු මේ පොඩි තීරුවෙන් සොයාගන්නට හැකියි. කාන්තා සෙරෙප්පු නම් හරස්වීදි වලත් අනෙක් වීදි වලත් තැනින් තැන ඇති සාප්පු වල තිබෙනවා.

පිටකොටුවේ බඩු ගැනීමට යන ඔබට එහි උත්සව අවස්ථාවකදි අපිට ඕනා බඩු තිබෙන තැන් ගැන දළ අදහසක් මේ හරහා එන්නට ඇති. ඔබත් පිටකොටුවට යනවා නම් මේ විස්තරය දෙතුන් වතාවක් කියවලා යන එක වැදගත් වෙයි. ඉතිං ඔයාගේ යාළුවන්ටත් පිටකොටුව ගැන විස්තරය කියාදෙන්න ෂෙයා කරගෙනම යන්න අමතක කරන්නට එපා.

 
Cover Image Source – tryout.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *