ඔබ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු නව රැල්ලේ දමිළ චිත්‍රපටි 10ක්

New Wave Tamil Movies

21 වැනි සියවසට පය තබනවාත් එක්කම දමිළ සිනමාවත් වෙනසකට භාජනය වෙන්න පටන් ගන්නවා. විදෙස් සිනමාවන්ගෙන්ද ආභාෂය ලබාගත්ත තරුණ දමිළ සිනමාකරුවො රැසක් එක පාර වැඩ පෙන්නන්න පටන් ගන්නේ එතෙක් පැවතීගෙන ආපු දමිළ සිනමා විලාසිතාව වෙනසකට ලක් කරමින්. මේ වෙනසට පාර කපපු චිත්‍රපටය හැටියට වැඩි දෙනෙක් සළකන්නෙ 1999 දි තිරගත කරපු සේදු චිත්‍රපටයයි.

 

නවක සිනමාකරුවන් විසින් හඳුන්වලා දීපු මේ නව රැල්ලේ චිත්‍රපට වලදි සාම්ප්‍රදායික දමිළ සුපර්ස්ටාර් නළු නිළියෝ දකින්න ලැබෙන්නේ නැහැ. සාමාන්‍ය පෙනුමැති නළු නිළියන්, සුදු කලු හැටියට වෙන් නොවෙන අළු චරිත එක්ක බොහෝම සාර්ථක සහ වෙනස් ආරයේ තිරරචනා වලින් මේ චිත්‍රපටි සමන්විත වෙනවා. විජේ සේදුපති වගේ නළුවන් ජනතාවගේ සුපර්ස්ටාර්ලා හැටියට ඉදිරියට එන්නෙත් මේ දමිළ සිනමා නව රැල්ලත් එක්කයි.

අපේ මේ ලිපියේ උත්සාහය ඒ විදිහේ ඔබ නැරඹිය යුතුම දමිළ නව රැල්ලේ සිනමාපට කීපයක් ගැන ඔබට හඳුන්වා දෙන්නටයි.

 

1. ආරණ්‍ය කාණ්ඩම් (2011)

New Wave Tamil Movies

Source – youtube.com

දමිළ සිනමාවෙන් බිහිවුණ හොඳම ගැන්ග්ස්ටර් චිත්‍රපටයක් හැටියට ආරණ්‍ය කාණ්ඩම් හඳුන්වන්න පුළුවන්. බොහොම ස්ටයිලිෂ් විදිහට ප්‍රචණ්ඩත්වය සහ ත්‍රාසය මුසු කරල හදල තියන මේ චිත්‍රපටය ත්‍යාගරාජන් කුමාරරාජා නම් අධ්‍යක්ෂකවරයාගේ කුළුඳුල් සිනමා නිර්මාණයයි. මත්ද්‍රව්‍ය ජාවාරමක් හින්දා එකිනෙකා සමග ගැටෙන පාතාල කල්ලි දෙකකුත්, ඒ අතරට මැදිවෙන තවත් ජීවිත කිහිපයකුත් එක්ක ආරණ්‍ය කාණ්ඩම් චිත්‍රපටය දිගහැරෙන්නෙ නොසිතූ අවසානයක් දෙසට ප්‍රේක්ෂකයාව ගෙන යමින්.

2011 වර්ෂයේ තිරගත කරපු මේ චිත්‍රපටය ප්‍රචණ්ඩත්වය සහ අශ්ශීල වචන භාවිතය නිසා වාරණයටද ලක්වී තිබෙනවා. තිරගත කළ මුලදී වැඩි ප්‍රේක්ෂක ආකර්ශනයක් නොලැබුවත්, මේ වෙද්දි දමිළ සිනමාවෙ කල්ට් ෆේවරිට් එකක් හැටියට වැජඹෙන චිත්‍රපටයක් මේක.

 

2. සූදු කව්වුම් (2013)

New Wave Tamil Movies

Source – imdb.com

නාලන් කුමාරස්වාමි කියන්නේ දමිළ සිනමාවේ නව රැල්ල ගැන කියද්දි අමතක කරන්නම බැරි අධ්‍යක්ෂකවරයෙක්. සූදු කව්වුම් කියන්නේ කුමාරස්වාමිගේ ජනප්‍රියම චිත්‍රපටයක්. මිනිස්සුන්ව පැහැරගෙන ඉතාම සුළු කප්පම් මුදලකට ඔවුන්ව නිදහස් කරන දාස් නැමැති පුද්ගලයෙක් තමයි මේකෙ ප්‍රධාන චරිතය. දාසුත්, ඔහුට අලුතින් එකතුවූ චක්ගෝලයන් පිරිසත් එකතුවෙලා කරන එක්තරා පැහැරගැනීමක් නිසා අවුල් වියවුල් රැසකට මුහුණ දෙන්න ඔවුනට සිදුවෙනවා.

හාස්‍ය රසයෙන් පිරුණු, බ්ලැක් කොමඩි වර්ගීකරණයට දාන්න පුළුවන් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟන විජේ සේදුපති මතක හිටින චරිත නිරූපණයක් කරනවා.

 

3. පීසා (2012)

New Wave Tamil Movies

Source – facebook.com

2012 දි ආපු පීසා චිත්‍රපටය නම් ඔබ වැඩි දෙනෙක් නරඹා ඇතුවාට සැකයක් නැහැ. තවමත් නරඹලා නැත්නම් මේක අනිවාර්යෙන් නැරඹිය යුතුම චිත්‍රපට ලැයිස්තුවට එකතු කරගන්න අමතක කරන්න එපා. හොල්මන් වගේම හොඳ ප්ලොට් ට්විස්ට් එකකුත් තියන චිත්‍රපටයක් මේක. පීසා ඩිලිවරියක් කරන්න යන තරුණයෙක්ට මුහුණ දෙන්න වෙන අද්භූතජනක සිදුවීමක් විස්තර කරමින් තමයි මේ චිත්‍රපට කතාව දිගහැරෙන්නේ. මුලදී භීතිය මුසුවෙමින් ගලායන චිත්‍රපටය පහුවෙද්දී වෙනස්ම පැත්තකට හැරෙන්න පටන් ගන්නවා. අවසානය දක්වා ප්‍රේක්ෂකයා ඇද බැඳ තබාගන්න සමත් සුපිරි චිත්‍රපටයක් මේක.

 

4. The Wolf and a Lamb (2013)

\

New Wave Tamil Movies

Source -imdb.com

වෙඩි පහරකට ලක්වෙලා පාරේ සිහිසුන්ව වැටිලා ඉන්න මනුස්සයෙක්ව දකින වෛද්‍ය ශිෂ්‍යයෙක් සැත්කමක් කරලා ඔහුගේ ජීවිතේ බේරගන්න සමත්වෙනවා. සැත්කමට පහුවදා තුවාලකරු පැදුරටත් නොකියා පළා යනවා. ඊට පස්සේ රහස් පොලීසිය වෛද්‍ය ශිෂ්‍යයාව හොයාගෙන එනවා අත්අඩංගුවට ගන්න. වෛද්‍ය ශිෂ්‍ය තරුණයා විසින් බේරගෙන තියෙන්නේ ඉතාම භයානක අපරාධකාරයෙක් බවට තොරතුරු හෙළිවෙනවා. තරුණයාව පොලිස් ප්‍රශ්න කිරීම් වලට ලක්කරමින් ඉන්නා අතරේ බේරී පළාගිය අපරාධකරුවාගෙන් ඔහුට ඇමතුමක් එනවා හමුවෙන්න එන්නය කියලා. පොලිසිය උත්සාහ කරන්නේ තරුණයාගෙ ආධාරයෙන් ඒ භයානක අපරාධකරුවාව ඝාතනය කරවන්නටයි. මේ සියල්ල තවත් අවුල් ජාලාවක් වෙන්න පටන් ගන්නේ තවත් පාතාල නායකයෙක් ඉහත කියපු අපරාධකරුවාව අල්ලාගැනීමට වෙනමම ගේමක් ගහන්න ගැනීමත් එක්කයි.

අවසානය දක්වා ත්‍රාසය කුතුහලය පිරුණු මේ චිත්‍රපටයත් අපි ඉහලින්ම රෙකමදාරු කරනවා.

 

5. ජිගර්තන්ඩා (2014)

New Wave Tamil Movies

Source – youtube.com

කාර්තික් කියන්නේ ජනප්‍රිය සිනමා අධ්‍යක්ෂකයෙක් වෙන්න හීන මවන තරුණයෙක්. එක්තරා නිෂ්පාදකයෙක් කාර්තික්ගෙන් ඉල්ලනවා ගැන්ග්ස්ටර් වර්ගයේ චිත්‍රපටයක් හදන්නටය කියලා. මේ චිත්‍රපටයට කථාවක් හොයාගන්න කියලා කාර්තික් කරන්නේ තවත් හිතවතෙක් එක්ක එකතු වෙලා සැබෑ පාතාල නායකයෙක් ගැන තොරතුරු හොයන එක. මේ තොරතුරු හෙවිල්ල නිසා කාර්තික්ගෙ ජීවිතේ නොසිතූ හැලහැප්පිලි ගොඩකට ලක්වෙන්න පටන් ගන්නවා. ඔහුගේ ජීවිතයටත් තර්ජනයක් වෙන තරමට දේවල් අවුල් වෙනවා.

සිද්ධාර්ත් සහ බොබී සිම්හා ප්‍රධාන චරිත රඟන මේ චිත්‍රපටය හාස්‍යය මුසුවුණ සුන්දර සිනමා අත්දැකීමක්.

 

6. විසරනයි (2015)

New Wave Tamil Movies

Source – chaibisket.com

සැබෑ සිදුවීමක් ඇසුරින් තමයි විසරනයි චිත්‍රපට කතාව නිර්මාණය කරලා තියෙන්නෙ. අහිංසක තරුණයන් හතර දෙනෙක්ව නිරපරාදේ පොලිස් අත්අඩංගුවට පත්වෙනවා. පොලිස් ස්ථානයේදී මේ තරුණයන්ව ඉතාම අමානුෂික වධ බන්ධනයන්ට ලක්කෙරෙනවා. පොලීසිය උත්සාහ කරන්නේ නොකළ වරදක් පිළිගන්නය කියලා මේ තරුණයන්ට බල කරලා අපරාධයක් යට ගහන්නටයි. තරුණයින් මේ අසාධාරණයට එරෙහිවන තරමටම ඔවුන්ට පැනවෙන දඬුවම් වල අමානුෂිකත්වයත් ඉහළ යන්න පටන් ගන්නවා. අවසානයේ පොලීසියේ අයුක්තිය ජය ගනියිද? නැතිනම් තරුණයන්ට සාධාරණය ඉටුවෙයිද? ඒ ගැන දැනගන්නට නම් බලා සිටින්නට අසීරු එහෙත් අපූරු සිනමා පටයක් වන විසරනෙයි නරඹන්නටම වෙනවා.

 

7. උරියඩි (2016)

New Wave Tamil Movies

Source – youtube.com

අපේ රටේ රූපවාහිනීයෙන් උනත් පෙන්නන්ත ඉතාම සුදුසු කාලීන තේමාවකින් යුතු චිත්‍රපටයක් මේක. කුල බේද ඇති කරමින් තමන්ගේ දේශපාලන ස්ථාවරය ඇතිකරගන්න උත්සාහ කරන කපටි දේශපාලකයින් පිරිසකුත්, මැර බලය පතුරවන තවත් පිරිසකුත් සමග ශිෂ්‍යයන් පිරිසක් ඇතිකරගන්නා ගැටුමක් තමයි මේ චිත්‍රපටයෙන් පෙන්වන්නේ. විනාඩි 90ක කෙටි ධාවන කාලයකින් යුක්ත වන මේ චිත්‍රපටය මුල සිට අගට ප්‍රචණ්ඩත්වයෙන් පිරුණ එකක්. මිතුරුකමේ උණුසුමත්, දේශපාලන රූකඩ සෙල්ලම් වල යථාර්තයත් මනාවට විදහා දක්වන චිත්‍රපටයක් මේක. නැගී එන තරුණ අධ්‍යක්ෂකවරයෙක් වන විජේ කුමාර් මෙහි අධ්‍යක්ෂණයෙන් වගේම ප්‍රධාන චරිත රංගනයෙනුත් දායක වනවා.

 

8. වික්‍රම් වේදා (2017)

New Wave Tamil Movies

Source – wordpress.com

2017 අවුරුද්දෙදි දමිළ සිනමාව විතරක් නෙමෙයි, ඉන්දියානු සිනමාවම හොල්ලපු අති සාර්ථක චිත්‍රපටයක් තමයි වික්‍රම් වේදා. වික්‍රම් කියන පොලිස් නිලධාරියාත්, වේදා කියන අපරාධ කල්ලි නායකයාත් අතර සිදුවන හමුවීම් කීපයක් එක්ක වික්‍රම් වේදා කථාව දිගහැරෙන්නේ අතීතයත් වර්තමානයත් අතරේ දෝලනය වෙමිනුයි. වේදා ක්‍රම ක්‍රමයෙන් තමන්ගේ අතීත කතන්දර වික්‍රම්ට කියද්දී හතුරන් සහ මිතුරන් අතරේ වෙනසත්, හරි වැරැද්ද අතරේ වෙනසත් ක්‍රම ක්‍රමයෙන් බොඳවෙන්න පටන්ගන්නේ වික්‍රම්ව අතරමං කරමින්. විජේ සේදුපති සමගින් මාධවන් ප්‍රධාන චරිත රංගනයෙන් වික්‍රම් වේදා හැඩගන්වනවා.

 

9. කුට්‍රමේ දණ්ඩනෛ (2016)

New Wave Tamil Movies

Source – pintarest.com

රවී කියන්නේ ක්‍රම කමයෙන් අන්ධභාවයට ලක්වීගෙන යන, ටනල් විෂන් නම් දෘෂ්ඨි රෝගී තත්ත්වයකින් පෙළෙන්නෙක්. තමන්ගෙ මේ රෝගී තත්ත්වය ලෝකෙන් වසන් කරගෙන තමයි රවී ජීවත් වෙන්නෙ. ඔහුගේ ඇස් යථා තත්ත්වයට පත් කරගන්න නම් විශාල මුදලක් වියදම් කරලා කළ යුතු සැත්කමකට මුහුණ දිය යුතු වනවා. දවසක්දා අනපේක්ෂිත විදිහට රවීගෙ ජීවිතය වෙනස් කරන්න සමත්වෙන සිදුවීමකට මුහුණ පාන්නට ඔහුට සිදුවෙනවා. ඒ අසල්වැසි තරුණියකගේ මිනීමැරුමකට ඇසින් දුටු සාක්ෂිකාරයෙක් බවට ඔහු පත්වීමෙන්. පොලිසියත්, මිනීමරුවාත්, වෙනත් පාර්ශවත් අතර ගැටෙමින් රවීගෙ ජීවිතේ හැලහැප්පීමට ලක්වෙද්දි නොසිතූ රහස් රැසකුත් එළිදරවු වෙන්න ගන්නේ චිත්‍රපට කථාව තවත් උණුසුම් කරමින්.

 

10. දුරුවංගල් පදිනාරු (2016)

New Wave Tamil Movies

Source – quora.com

කාර්තික් නරේන් කියන 21 හැවිරිදි තරුණයෙක් තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ. වයසින් මුහුකුරා නොගියත් කාර්තික්ගේ සිනමාපටයේ නම් ආධුනික බවක් ගෑවිලාවත් නැහැ. 2016 වසරේදී තිරගත කල සාර්ථකම දමිළ චිත්‍රපටයක් බවට මෙය පත්වෙනවා. මිනීමැරුම් අභිරහසක් වටා ගෙතිල තියන මේ චිත්‍රපට කථාව අවසානය දක්වා ප්‍රේක්ෂකයාව පඹ ගාලක පටලවන්න සමත් චිත්‍රපටයක්. ප්ලොට් ට්විස්ට් රැසකින් සමන්විත මේ චිත්‍රපටයේ අවසානය ඔබව පුදුම කරන්නටත් සමත් වේවි.

 
Cover Image Source – youtube.com / imdb.com / facebook.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *