ශෝකී රසයක් ගෙනදෙන මරණය ගැන ලියැවුණු ගීත 7ක්

Songs Which Written About Death

කලාව කියන්නේ මිනිස් සන්තානය සුවපත් කරන්නක්. ජීවිතේ විවිධ වූ සිදුවීම් අකුරෙන් අකුර ගලපලා තාලයක් මුසු කරලා ගායනා කරන කලා මාධ්‍යය ගීත කලාව විදිහට හැඳින්වෙනවා. සිංහල ගීත කලාව මගින් චිත්‍රණය වන ජීවිතයේ විවිධාකාර වූ සිදුවීම් දහසක් අතරේ මරණයට හිමිවන්නේ සුවිශේෂීම තැනක්. මේ මරණය ගැන කියවෙන ගීත දෙආකාරයකට වර්ග කරන්න පුලුවන්. එක් වර්ගයක් තමයි බුදු දහම සමග බැඳෙන අනිත්‍යතාව සිහිකිරීම සඳහා මරණය තේමාව කරගත්තු ගීත. අනිත් වර්ගය තමයි ළබැඳියෙකුගේ මරණයක් ගැන කියවෙන ගීත. අපි මේ දෙවර්ගයටම අයත් ගීත කීපයක්ම ඔබ වෙතට අද ගෙන එනවා.

 

1. සන්නාලියනේ

ජීවිතය බිඳෙන් බිඳ වෙනස් වනවා. මේ දැන් ඉන්න ඔබ අපි නොවෙයි තව සුලු මොහොතකින් ඉන්නේ. ඒ අනිත්‍යතාව හොඳටම පහදන්න පුලුවන් කම ගීතයකට තියෙනවනම්, එයම ඒ ගීතයේ පරිපූර්ණත්වය ගැන විග්‍රහ කරන්නට ප්‍රමාණවත්.

සන්නාලියනේ සන්නාලියනේ
මේ හිමිදිරි උදයේ…

ලෙස ඇරඹෙන ගීතය ඉපදීම, විවාහය, මරණය යන ජීවිතයේ අවධීන් වගේම, උදය දහවල හැන්දෑව ආදී ලෙස දවසේ විවිධ අවධීන්ද අපූරුවට සමපාත කරමින් විවරණය කරනවා. මහගමසේකරයන්ගේ පද පෙළ අමර ස්වරයෙන් අමරදේවයන් අතින් ගැයෙන විට ඊටත් එහා ගිය සුමිහිරි ගීතයක් කොහිද..?

 

2. සුදු නෙලුම කෝ?

ගමේ වැවේ නෙලුම් මල් විකිණීම සඳහා ගෙන යෑමට සිතා නෙලුම් මල් නෙලීමට යන පාසල් දැරියක් වැවු දියට ඇද වැටී මරණයට පත් වෙනවා. මේ සිද්ධිය දකිනවා ඒ දැරිවියගේ පන්තියට උගන්නපු ගුරුවරයෙකු වුණු ප්‍රවීණ ගීත රචක රත්න ශ්‍රී විජේසිංහයන්. එතුමා ඒ ගැන ගීතයක් ලියනවා ස්ථාන නාම (සොරබොර වැව සහ මහියංගනය ලෙස) පමණක් වෙනස් කරලා.

සුදු නෙලුම කෝ සොරබොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ

ලෙස ඇරඹෙන ගීතය ඇගේ ඛේද ජනක මරණයට කලාත්මක විග්‍රහයක් ලබා දෙනවා. ගීතය ගයන්නේ පණ්ඩිත් අමරදේවයන් විසිනුයි.

 

3. පබලු නගේ

අනුරාධපුරේ දුෂ්කර ගමක ඉඳලා නීති විද්‍යාලයට එන තරුණයෙක් නිවාඩුවට ගෙදරට යද්දී ගමේ ඔහුගේ පෙම්වතිය බවට පත්වී සිටි “සුමනා” නම් ඔහුගේ ඇවැස්ස නෑනා මියගිය බව දැනගන්න ලැබෙනවා. කුමක් හෝ හේතුවකට ඒ මියගිය පුවත ඔහුගේ නෑදෑයින් ඔහුට දන්වලා නැහැ. ආපු ගමන් එක්වරම අහන්න ලැබෙන ඒ ආරංචියෙන් ඔහු කඩාවැටෙනවා. ඔහු ඇය සමග පෙමෙන් ගෙවූ තැන් වලට ගොසින් ඒ අතීතය ගැන යළි මතක් කරනවා. ඒ අතරේ ඔහුගේ අතින් කවියක් ලියවෙනවා.

පබලු නගේ නාමල් තිලකේ
පුංචි ඔසරි මැණිකේ
සුමනෝ… උඹ ඇයි නැත්තේ…

මේ තරුණයා අන් කවුරුවත් නෙමෙයි ප්‍රවීණ ගීත රචක රංබණ්ඩා සෙනෙවිරත්න. ඔහු ඒ ගීතය දෙන්නේ රජරට සේවයේ සේවය කරපු ඔහුගේ මිත්‍ර ගුණදාස කපුගේ ශූරීන්ට. ඔහු එය සංගීතවත් කරලා ගායනා කරනවා. හරිම ශෝකාකූල ගීතයක්.

 

4. මිනින්දෝරු කන්තෝරුවෙ

රත්න ශ්‍රී විජේසිංහයන් මිතුරන් කිහිපදෙනෙක් එක්ක දවසක් රාජකාරීමය කටයුත්තකට දඹුල්ල පැත්තෙ ගියාලු. ඒ කටයුත්ත අහවර කරලා එන ගමන් පවස නිවාගන්න කියලා අහම්බෙන් ගෙදරකට ගොඩ වැදිලා. වතුර බොන අතරේ ගේ මිදුල දිහා බැලුවම හොඳට වැඩිච්ච ගහක් යට පහන් පැලක් හදලා තියෙන ආකාරය පේනවා. ඔහු ඒ ගෙදර හිටපු වයසක නිවැසියාගෙන් අහනවා ඒ ගැන. “අනේ මහත්තයෝ ඔතන තමයි මගේ සුදු බණ්ඩි වලදාල තියෙන්නේ” ඔහු කෙඳිරිලි ස්වරයෙන් එහෙම කියනවා. සුදු බණ්ඩි කියන්නේ වසර කිහිපයකට පෙර මියගිය ඔහුගෙ බිරිඳ. ඇය මියගිය පසු වලදාල තියෙන තැන වැවුණු ගහ පාමුලයි අර පහන් පැල හදලා තියෙන්නෙ. තවදුරටත් ඔහු කියන විදිහට එහා ගෙදර අයිතිකාරයා අලුතින් ඉඩම් මනින්නයි හදන්නේ. එහා ගෙදර සහ ඔහුගේ ගෙදර මායිමේ තියෙන මේ මහා විසල් ගහ ඉඩම මැන්නම එහා ඉඩමට යාවි කියලා ඔහුගේ හිතට බයයි. ඒ බව ඔහු අහම්බෙන් හම්බවුණු රත්න ශ්‍රී ට කියනවා.

මිනින්දෝරු කන්තෝරුවෙ මුලාදෑනි ටික
සුදු බණ්ඩි මගේ නිදාඉන්න ඉඩම මනිනවද?

ලෙස රත්න ශ්‍රී විජේසිංහයන් ඒ සිදුවීම ගැන ලියන ගීතය ගායනා කරන්නේ කරුණාරත්න දිවුල්ගනේ ශූරීන් විසිනුයි.

 

5. පුර හඳට පේන්නට පන්සලේ

පන්සලේ හේවිසිය හැමදාම වයන, ගමේ හැම මළගෙදරකම හේවිසි වයන තමන්ගෙ මාමගේ මියයාම සංවේදීව විග්‍රහ කරන ගීතයක් විදිහට මේ ගීතය හඳුන්වන්න පුලුවන්.

පුර හඳට පේන්නට පන්සලේ
හේවිසි වැයූ මාමණ්ඩියේ

ලෙස ඇරඹෙන ගීතයෙන් මාමාගේ ගුණ සුවඳ, ගමේ සිද්ධ වුණු හැම මළ ගෙදරකදිම, පන්සලේ හැම උත්සවයකදිම මාමා ගේ දායකත්වය ගැන කලාත්මක විග්‍රහයක් කරනවා. ගුණදාස කපුගේ ශූරීන් විසින් මේ ගීතය ගායනා කරනවා.

 

6. මා මළ පසු සොහොන් කොතේ

මරණය කිවුවට මේ ගීතයේ කියවෙන්නේ මරණයෙන් පසුව කල යුතුයි කියලා කියවෙන දෙයක් ගැන. ප්‍රේමය බිඳී විරහව විඳි තරුණයෙක් ගයන ගීතයක් ලෙස හැඳින්විය හැකි මෙහි එක් තැනක,

මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනවි
නන්නඳුනනා ඔබගේ අත් අකුරින් ලියනු මැනවි

ලෙස ගායනා වෙනවා. ගීතය ගායනා කරන්නේ පණ්ඩිත් අමරදේව ශූරීන් විසිනුයි. මහගමසේකර විසින් රචිත සෝමදාස ඇල්විටිගල ශූරීන් අතින් සංගීතවත් වුණු මේ ගීතය විරහව විඳි තරුණයෙකුගේ භාවයන් ඉතා අපූර්ව ලෙස ලියැවුණු ගීයක් ලෙස අවිවාදයෙන්ම නම් කරන්නට පුලුවන්.

 

7. හිත වාවන්නේම නෑ

 

නව පරපුරේ ගී කලාව උඩු යටිකුරු කරපු ගායන ශිල්පීන් දෙන්නෙක් තමයි භාතිය සංතුශ් කියලා කියන්නේ. මේ දෙන්නගේ ගීත බොහොමයක් අර්ථ පූර්ණ ගීත.

හිත වාවන්නේම නෑ
ඔබ ආයිත් එන්නෙ නෑ

ලෙසින් ඇරඹෙන මේ ගීතය සිය පෙම්වතිය මියගිය පසු පෙම්වතා ගායනා කරන ගීතයක් ලෙසින් අරුත් ගන්වන්න පුළුවන්. මේ ගීතයේ පෙම්වතිය සමග ගත කල සොඳුරු කාලය ඉතාමත් අලංකාරවත් ලෙස ස්මරණය වනවා. ශෝකාකූල නාද රටාවන්ගෙන් පිරි මේ ගීතය හැමදා ජනප්‍රිය ගීතයක් ලෙස රසික සිත් වල රැඳී තිබෙනවා.

ඉතින් මේ අපි ඔබට ඉදිරිපත් කලේ මරණය ගැන ලියැවුණ ගීත කිහිපයක් පමණයි. මරණය ගැන ලියැවුණ ඔබ දන්නා තවත් ගීත ගැන පහලින් Comment එකක් දාන්න අමතක කරන්න එපා.

Cover Image Source – pintarest,com / flickr.com / hdwallpaperworld.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *