නවීන ආලෝක පූජාවකින් ආන්දෝලනයට ලක් වූ අසිරිමත් මහා ස්තූපය- රුවන්වැලි මහා සෑය

Sacred Ruwanweliseya

රුවන්වැලි මහා සෑය ලෙස හඳුන්වන මහා ස්තූපය ලක්දිව තිබෙන පූජනීය චෛත්‍ය අතරින් අග්‍රස්ථානය ගන්නා චෛත්‍යය වේ. ධාතුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් තැන්පත් කර තිබෙන රුවන්වැලි මහා සෑය අදටත් දෙවියන්ගේ ඇල්ම බැල්ම තිබෙන, අසිරිමත් අනුහස් ඇති බෞද්ධයින්ගේ ගෞරවනීය පින්බිමකි.

 

1. චෛත්‍යයේ දත්ත

Sacred Ruwanweliseya

Source – yudaganawa.com

ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා හෙවත් සමස්ථ සර්වඥ ධාතූන්ගෙන් අටෙන් එකක් පමණ තැන්පත් කර ඇති රුවන්වැලි සෑය ධාතුන් වහන්සේලා වැඩිම ප්‍රමාණයක් නිධන් කර ඇති ස්තූපය වේ. උසින් අඩි 400ක් වූ ජේතවන චෛත්‍යය කලකදී ලක්දිව වැඩිම උස චෛත්‍යය කර්මාන්තය විය. යුධගනාවේ ඇති නිම නොකල චෛත්‍ය කර්මාන්තයක් ලෙස සැලකෙන නටඹුන් වූ අර්ධ චෛත්‍යයේ වට ප්‍රමාණය අඩි දහසකට වැඩිය. උසින් අඩි 300ක්ද වට ප්‍රමාණය අඩි 950ක් වූ මෙම මහා චේතිය ලාංකික බෞද්ධයින් එදා පටන්ම වැඳුම් පිදුම් කල මූලික සිද්ධස්ථානයකි.

Sacred Ruwanweliseya

Source – youtube.com

මහනුවර මාලිගයේ වැඩ වසන සර්වඥයින් වහන්සේගේ දන්ත ධාතුව සේම, අනුරාධපුර පින් බිමේ පිහිටි ඉන්දියාවේ බුදුන් පිටදුන් ඇසතු වෘක්ෂය සේම සර්වඥ ධාතුන් වහන්සේලා සහ පූජ්‍ය වස්තූන් වැඩිම ප්‍රමාණයක් නිධන් කල ස්වර්ණමාලී මහා ථූපය ලංකාවේ බෞද්ධ ජනයාට ලැබුන මුල් පෙළේ සිද්ධස්ථානයකි.

 

2. වර්ෂයක් පාසා තීන්ත ගෑම

රුවන්වැලි මහා සෑයේ ගෝලාකාර කොටසේ පමණක් වර්ගඵලය වර්ග අඩි එක්ලක්ෂ අසූදාහකට ආසන්නය. එනම් සමස්ථ හතරැස් කොටුව පේසා වළලු ආදිය සමග වර්ග අඩි දෙලක්ෂයකට ආසන්න සුදු පැහැති වපසරියක් රුවන්වැලි මහා සෑයට අයිති වේ. මෙම සම්පූර්ණ වපසරියේ සුනු පිරියම් කිරීම වාර්ෂිකව අම්බලන්ගොඩ අලුත්ගම පිරිසකගේ දායකත්වයෙන් සිදුවන විශ්වකර්ම වැඩකි. උණ බම්බු එකතුකර ලණු වලින් බැඳ සැදූ ඉනිමං ආශ්‍රයෙන් කරන මේ පිරියම් කටයුත්තට පෙර චෛත්‍යයේ පැරණි තීන්ත තට්ටු සූරා දැමිය යුතුය. ඒ සඳහා වයර් බ්‍රශ් පමණක් තුන්සිය හැටකට වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වේ. මේ කාර්යය සඳහා අලේප කරන හුණු ප්‍රමාණය පමණක් ටොන් දහයක් පමණ වන බව රුවන් වැලි සෑයේ වර්ෂයක් පාසා හුණු ආලේප කරන අය ප්‍රකාශ කර තිබුණි. මේ චෛත්‍ය සුනු පිරියම් කාර්යය මාස 4ක් තිස්සේ තිස් හතලිස් දෙනෙකුගේ ශ්‍රම දායකත්වයෙන් වර්ෂයක් පාසා කරන අවදානමක් සහිත පිංකමකි.

 

3. වර්තමාන තත්ත්වයට පිළිසකර කිරීම

Sacred Ruwanweliseya

Source – wikimedia.org

1830 දී සහ 1850 දී එමර්සන් ටෙනන්ට් ගේ වාර්තාව අනුව රුවන්වැලි සෑය යනු එකල තනිකර කඳුවැටියක් මෙන් වූ මහා පස් ගොඩකි. එම පස් ගොඩ අද අපිට පේන සුදෝ සුදු බුබ්බුලාකාර මහා චේතිය දක්වා පැමිණි ගමන ලෙහෙසි පහසු එකක් නොවේ. 1870 සිට 1940 දක්වා පුරා වසර සැත්තෑවකට ආසන්න කාලයක් තිස්සේ කරගෙන ගිය රුවන්වැලි සෑය ප්‍රතිසංස්කරණ කාර්යයට අමරපුර නිකායික ස්වාමින් වහන්සේලා මුල සිටම මූලිකත්වය ගෙන ඇප කැපවී ක්‍රියා කලෝය.

මුල් කාලයේ චෛත්‍ය වර්ධනයට ඉංග්‍රිසි ආණ්ඩුවෙන් එතරම් බලයක් නොලැබුනද එයින් නොසැලුනු සිංහලයෝ එය තමුනගේ මූල්‍ය ශක්තියෙන් ශ්‍රම දායකත්වයෙන් ම නිම කරන්නට යෙදුනි. නිසි පුරාවිදු පසුබිමකින් තොරව එම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වීම නිසා සුලු සුලු පුරාවිද්‍යාත්මක හානි සිදුව ඇතත්, සමස්ථයක් ලෙස එය අපේ ජනයා බුරුම රටේද දායකත්වය ලබාගෙන නිම කල මහා චෛත්‍ය නැවත පිහිටුවීම නිදහසට පෙරම අප ලැබූ සුවිසල් ජයකි.

 

4. නම් තැබීම

Sacred Ruwanweliseya

Source – pintarest.com

දුටුගැමුණු රජතුමා චෛත්‍ය ඉදිකරන්නට යද්දී තෙළඹු ගසක් කපන්නට ගිය තැන ස්වර්ණමාලී නම් වෘක්ෂ දේවතාවියක් ඊට හරස් වී තිබේ. ඉන් පසු ඇයගේ නම චෛත්‍යයට තබන පොරොන්දුව පිට රජතුමා විසින් තෙළඹු ගස කපා චෛත්‍ය කර්මාන්තය ඉදිරියට ගෙන ගොස් තිබේ. අදටත් රුවන්වැලි මහා සෑය හඳුන්වන තවත් මාහැඟි නාමයක් ලෙස ස්වර්ණමාලී මහා චෛත්‍යය දැක්විය හැකිය.

 

5. නිම කිරීම

Sacred Ruwanweliseya

Source – youtube.com

චෛත්‍යයේ වැඩකටයුතු ආරම්භ කලද, චෛත්‍යය කර්මාන්තය නිම වන්නට පෙරම දුටුගැමුණු මහ රජතුමාට දෙව් ලොවින් කැඳවීම් එන්නට විය. මරණ මංචකයේ සිටි දුටුගැමුණු මහ රජතුමාට මහා චේතිය සුදු රෙදි වලින් සරසා නිම වූ කර්මාන්තයක් ලෙස පෙන්වීමට සද්ධාතිස්ස මහ රජතුමා ක්‍රියා කලේය. දොහොත් මුදුන් තබා චෛත්‍යයට නමස්කාර කරමින්ම දුටුගැමුණු මහ රජතුමා මෙලොවින් සමුගත් බව ඉතිහාසයේ සඳහන්ව තිබේ.

 

6. මහා චේතියේ හාස්කම්

බුදුන් වහන්සේ ගේ ලංකාගමනේදී ද සලකුණු වූ පුදබිමක් වන රුවන් වැලි සෑ පින්බිම බොහෝ අනුහස් ඇති පුදබිමක් ලෙස බෞද්ධ බැතිමතුන් විසින් සලකනු ලබයි. රුවන්වැලි සෑ පින්බිමේ සිට බණ භාවනා කිරීමෙන් නොයෙකුත් ආශ්චර්යමත් පිංවත් අත්දැකීම් ලැබුන බව උපාසක උපාසිකාවෝ මෙන්ම භික්ෂූන් වහන්සේලාද බැති සිතින් වාර්තා කර තිබේ. එදා දුටුගැමුණු රජතුමා විසින් චෛත්‍ය ඉදිකරන්නට පෙර සිටම පූජ්‍ය ස්ථානයක් වූ මෙම පින්බිම ශතවර්ෂ 20කට අධික කාලයක් තිස්සේ බෞද්ධයින්ගේ ගෞරවාදරයට පාත්‍ර වීමම මහත් වූ ආශ්චර්යයක් නොවන්නේද?

 

7. නවීන ආලෝක පූජා චෛත්‍යට ගැලපේද?

 

චෛත්‍ය තනා ඒවා වන්දනාමාන කිරීම ලොව බෞද්ධ රටවල් ගණනාවකම පුහුණු කරන පුන්‍ය ක්‍රියාවකි. චෛත්‍ය වුවද මියන්මාරයේ තායිලන්තයේ එක් ආකාරයකි, නේපාලයේ භූතානයේ තවත් ආකාරයකි. ජපාන චීන ආදී රටවල චෛත්‍ය වෙනස්ම ආකාරයකි. ස්තූප තැනීමේ පිළිවෙත බෞද්ධ විධික්‍රමය වුවත් ඒ විවිධ සංස්කෘතීන්ට අනුව ශතවර්ෂ ගණනාවක් තිස්සේ ඒ ඒ දේශ දේශාන්තර වලට අනුව චෛත්‍ය කර්මාන්ත සැකසී තිබේ.

ලක්වැසියන්ගේ මෙන්ම එදා පටන්ම බුරුම සහ සියම් (වත්මන් මියන්මාර සහ තායිලන්ත) වැසියන්ගේද අනුග්‍රහය, දායකත්වය සහ වන්දනාමානයට ලක්වූ මහාථූපය අප රටේ ජාතික සලකුණකි. එය නැමදීම සහ සිදුකරන පුද පිළිවෙත් පවා එම ස්ථානයේ ගෞරවය ආරක්ෂා වන ආකාරයටම ඉටු කල යුතුය. ස්වර්ණමාලී මහා ථූපය මෙන්ම එහි ඇති පූජනීය අගය රැකගැනීමත් වඩා වර්ධනය කරගැනීමත් බැතිමතුන්ගේද පූජනීය ස්ථානය භාර ස්වාමින් වහන්සේලාගේද අනුග්‍රාහක භවතුන්ගේද වගකීමකි.

 
Cover Image Source – youtube.com / pintarest.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *