මේ දේවල් දන්නැත්නම් හෑන්ඩ්බෑග් එකක් පාවිච්චි කරලා වැඩක් නෑ

Handbag Hacks

පාරට බැස්සම වටේටම ඇඩ්‍රස් නැති වෙන විදියේ ගෑල්ලමයෙක් වෙන්න අද කාලේ බාහිර ආටෝපෙත් තියෙන්න එපැයි. ඉතින් එහෙම කැටයමකට ඉඩ දෙන ආයිත්තමක් තමයි කාන්තා අත්බෑගේ. සිංහලෙන් කිව්වොත් හෑන්ඩ්බෑග් එක. ඕක බ්‍රීෆ්කේස් එකක් වගේ නැත්නම් පොහොර මල්ලක් වගේ අරගෙන යන තාලේ එකක් නෙවේ. ඒ කියන්නේ හෑන්ඩ්බෑග් එකකටම අනන්‍ය කල්චර් එකක් තියනවද? පාවිච්චිය, පිරිසිදු කිරීම වගේ දේවල් ගැන හිතලා බැලුවාම එහෙම වෙනම එකක් තියනවා කියලත් හිතෙන්න පුළුවන්. ඉතින් ඒවා ගැන දැනගමු.

 

1. බෑග් එක පුරවලාම තියමු

Handbag Hacks

Source – coloursofmylife.co.uk

බෑග් එක පාවිච්චි කරන් නැති වෙලාවල් තියෙනවනේ? අන්න ඒ වෙලාවට නිකන්ම ඕක පැත්තක තියනවාට වඩා මොනාහරි අඩුම කුඩුමයක් ඇතුළට දාලා තියන්න. නැත්තන් බෑග් එක පොත්තක් වගේ ඇකිළිලා තියෙන්නේ. බෑග් එකේ හැඩේ ගාණට තියාගන්න පුළුවන් මේ ක්‍රමේ අනුගමනය කරාම.

 

2. බෑග් ඕගනයිසර් එකක් පාවිච්චි කරමු

Handbag Hacks

Source – amazon.com

මේක මේ අමුතු ගැජමැටික් එකක් නෙවේ. ඊ බේ එකේ අඩු ගාණට ගන්න පුළුවන්. මේක බෑග් එකක් ඇතුළේ ම තියෙන තවත් බෑග් එකක් කියලා හඳුන්වන්නත් පුළුවන්. හෑන්ඩ්බෑග් එකක් ඇතුළේ අපි දාන බඩුවලින් තමයි ඒක පිටට මොන වගේ පේනවද කියලා තීරණය වෙන්නේ. උදාහරණයක් විදියට මේදය අධික කෑම ගත්ත මනුස්සයෙක්ව තෙල් තට්ටු නිසා තල්මහෙක් වගේ පේන්නත් සෞඛ්‍ය සම්පන්න ආහාර ගන්න අයෙක්ව ලස්සනට පේන්නත් හේතුවෙන්නේ අභ්‍යන්තරේ නොවැ. ඒ වගේ තමයි. බෑග් ඕගනයිසර් එකකින් පිළිවෙළක් තියන පෙනුමක් ඇති වෙනවා.

 

3. පුරුද්දක් විදියට බෑග් එක පිරිසිදු කරමු

Handbag Hacks

Source – pintarest.com

අපි බෑග් එකක් කඩෙන් ගත්තාම හිතන්නේ මේවා ඇඳුම්-කැඩුම් වගේ නැති නිසා පිරිසිදු කිරීමේ අවශ්‍යතාවක් නෑ කියලයි. පාවිච්චි කරන විදිය අනුව පිරිසිදු කළ යුතු කාල සීමාවල් වෙනස් වෙනවා. ඒ වගේම බෑග් එක හදලා තියෙන්නේ මොන වගේ ද්‍රව්‍යයකින් ද කියන එකත් වැදගත් වෙනවා. කපුවලින් හදලා තියෙනවා නම් ගින්නක් නැතුව හෝදලා ගන්න පුළුවන්. ඒත් හම්වලින් කරපු බෑග් බොහොම පරිස්සමට පිරිසිදු කරගන්න ඕනි. තෙත රෙදි කැබැල්ලකින් පරිස්සමට කරන තෙතමාත්තු කිරීමකට සීමා වෙන්න වෙනවා ගොඩක් වෙලාවට.

 

4. බෑග් එකේ තියෙන යකඩ ගැජමැටික්ස් ටික ගැන අවධානය දෙමු

Handbag Hacks

Source – youtube.com

අද කාලේ බෑග් එක කිව්වාම ඒක නිකන්ම නිකන් පන් මල්ලක් නෙවෙයිනේ. ඕකේ අරුමෝසම් කෑලි තියෙනවා නප්පෙට. හාට් ෂේප්, තරු, සත්තු වගේ වෛවාරණ හැඩ බෑග් එකටම මූට්ටු කරලා තියෙනවා. මේවා හෑන්ඩ්බෑග් එක ලස්සනට තියාගන්නවා වගේම ඔයාගේ නොසැලකිලිමත්කම නිසා අවලස්සන වීමේ හේතුවක් වෙන්න පුළුවන්. මලකඩ කන්න, අනවශ්‍ය විදියට හීරෙන්න ඉඩ දුන්නොතින් එහෙම හෑන්ඩ්බෑග් එකේ අගයත් නැති වෙනවා. ලස්සන මූණක කුරුලෑ ආවා වගේ තමයි. ඇඟේ තියන සියලු ම ශක්තිය සිපර් එක පිටින් යවන්නත් එපා.

 

5. හරි විදියට ගබඩා කරමු

Handbag Hacks

Source – amazon.com

ගෑල්ලමයෙක්ට තියෙන්න පුළුවන් එකම එක හෑන්ඩ්බෑග් එකයි කියලා මොන පුස්කොළ පොතකවත් ලියවිලා නෑ. ආන්න ඒ නිසා තියන තරමක් හැටහුටහමාරක් හෑන්ඩ්බෑග් අතරින් නිතර පාවිච්චි කරන් නැති ඒවා අඩුක් කරන රාක්කයක නැත්තම් අල්මාරියක උඩින්ම තියන්න. නිතර පාවිච්චි කරන ඒවා පහතින් අඩුක් කරන්න. ලේසියෙන්ම ගන්න පුළුවන්. බෑග් අඩුක් කරන්න පොත් රාක්ක පාවිච්චි කරනවා නම් හොඳයි. එතන දී පාට, ප්‍රමාණය, වර්ගය වගේ සාධක මත බෑග් තියන්න. නිතරම භාවිත කරන හෑන්ඩ්බෑග් බිත්තිවල හැන්ගර්ස් හදලා එල්ලලාත් තියන්න පුළුවන්.

 

6. වැඩිපුර දේවල් බෑගයට නොදා ඉමු

Handbag Hacks

Source – youtube.com

බෑග් එකේ හැඩය අනවශ්‍ය විදියට විකෘති කිරීමක් තමයි බෑග් එකට වැඩිපුර බඩු පුරවන්න ගියාම වෙන්නේ. මේක හෑන්ඩ්බෑග් එක හදලා තියෙන ද්‍රව්‍ය අනුව වෙනස් වෙනවා. හැබැයි ප්‍රතිඵලය නම් බෑග් එකේ ආයු කෙටි වෙන එක. ලෙදර් හෑන්ඩ්බෑග් එකකට අනවශ්‍ය බඩු ඔබ්බවන්න ගියාම ඒක ඇදිලා හැඩය වෙනස් වෙනවා. කපු නැත්නම් නයිලෝන්වලින් හදපු බෑග්වල නූල් කෙඳි කැඩිලා බෑග් එක හබක් වෙලා යන්න පුළුවන්.

 

7. අනේ මේ දේවල් නම් කරන්නම එපා

Handbag Hacks

Source – futureloka.com

ක්‍රීම් ගාපු අතකින් කෑමක් කාපු අතකින් බෑග් එකක් අල්ලනවා නම් අනික් අතට පිරිසිදු කරන්න බලාගෙන ඒ දේ කරන්න ඕනි. නැත්නම් ඕකේ පැල්ලම් කැත විදියට හෑන්ඩ්බෑග් එකේ හිටිනවා. බෑගයක් කිසිදාක බිමින් තියන්නත් එපා. දූවිලි තට්ටු බැඳුණාම ඉක්මනට ම බෑග් පරණ පාටක් ගන්නවා. ඉර එළියට කෙලින්ම හසු වුණාමත් බෑග් එකේ කොලිටිය යනවා. දුර්වර්ණ පාටක් ගන්නවා. ඒ වගේම අනවශ්‍ය තෙතමනයෙනුත් හම වගේම හෑන්ඩ්බෑග් එකත් ආරක්ෂා කරගන්න ඕනි. පුස් තට්ටුවලට කැමති නම් පොඩ්ඩක් තෙමලා තියාගත්තාට කමක් නෑ.

ඔයාලාත් හෑන්ඩ්බෑග් ඔස්තාර්ලා නම් දන්නා දේවල් අපිත් එක්ක බෙදාගන්න

 
Cover Image Source – pintarest.com / pixels.com / cosmopolitan.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *