විශ්වාසභංගෙ කියන්නෙ පහුගිය දවස්වල හොඳට කනට ඇහිච්ච වචනයක්. ඒ ඇහිච්ච තරමේ හැටියට පුංචි එවුන් පවා කතා වුනේ විශ්වාසභංගෙ ගැන තමයි. අගමැතිවරයට ගෙනාපු විශ්වාසභංග තීරණේ ගැන පුංචි අපේ අදහස් වැඩක් නැති වුනත් අපේ තියෙනවා හොඳ අදහසක්. ඒ තමයි තවත් අපේ සමාජයේ අපට සේවය කරන්නට ඉන්න, ඒත් ඒ සේවය නිවැරදි අයුරින් නොකරන අපේ හිතේ විශ්වාසය භංග කරපු උදවිය සොයන එක. අපි ඉතිං ඒ විදියට ලඝු කරපු වෘත්තිකයින් අතරේ ඒ වෘත්තිය උපරිම අයුරින්ම පොදු ලෝකයට යහපතක් වෙන ලෙස කරන මිනිස්සු බොහොමයක් ඉන්නවා. ඒ පිරිසට අපේ භක්ති ආදරය හිමි වෙන අතරම, එහෙම නොවෙන අය තමුන් ගැන ලැජ්ජා වෙන්න කියලත් ඉල්ලා සිටිනවා.
1. ගුරුවරුන්

Source – quiterev.com
ගුරුවරුන් කියන්නෙ මේ ලෝකයේ සියළු වෘත්තිකයන් නිර්මාණයේ වැදගත්ම පියවර සපුරන්නන්. දෙමවුපියන්ට පස්සෙ තමුන්ට උගන්වපු, තමුන්ව යහමගට ගත්තු ගුරුවරුන් ඕනම මනුස්සයෙකුගෙ හිතේ ඉන්නවා. ඒ ගුරුවරුන් කරන ධනාත්මක බලපෑම නිසාමයි. ඒත් ඒ ගුරුවරුන් අතරේ ගුරුවරු කියන නමටත් නින්දාවක් වන, ළමුන්ගෙන් නොයෙක් වාසි බලාපොරොත්තු වන, ධනවත් දරුවන්ට වැඩි සැලකුම් දෙන, තම සේවයට වඩා පෞද්ගලික ටියුටරි වෙනුවෙන් ළමුන් පොළඹවන ගුරුවරුන් බොහොමයක් අපට දකින්නට ලැබෙනවා. ඒ පිරිස ඇතැම්විටක අපට මග හැර යන්නටවත් අවස්ථාවක් නැහැ. එවැන්නන් එම උතුම් වෘත්තියට කැළලක් නිසාම එවන් අයට අප විශ්වාසභංගයක් ගෙනැවිත් එය සම්මත කළ යුතුමයි.
2. හෙදියන්

Source – nursegail.com
උපස්ථානය කියන දේ උතුම් දෙයක්. ඒ වෙනුවෙන්ම ප්‍රතිඥා දීලා, ඒ වෙනුවෙන්ම තමුන්ගෙ ජීවිතේ කැපකරන පිරිසක් තමයි හෙදියන් කියන්නෙ. ඒත් ඇතැම් හෙදියන් තමුන්ගෙ නෑදෑ හිතමිතුරන් වෙනුවෙන් පමණක් කැප වෙලා ඉන්නා බව ආරංචි වෙනවා. ඇතැමුන් රෝගීන්ට අතිශය ක්‍රෑර අන්දමින් සළකන බව ආරංචි වෙනවා. එවැන්නක් ඔවුන්ගේ ප්‍රතිඥාවේ ඇත්තේ නැහැ. එනිසාම මෙවන් වූ උතුම් වෘත්තියක ගරුත්වය කෙලෙසන, රෝගීන් වෙනුවෙන් අති මානුෂීයව කටයුතු කරන ඇතැම් හෙද නිළධාරීන්ටත් අවනම්බුවක් වන ලෙස හැසිරෙන හෙදියන්ට පොදු ජනතාව වන අප විශ්වාසභංගයක් ගෙන ආ යුතුයි.
3. බස් රථ රියදුරන්

Source – youtube.com
බස් රථ රියදුරන් පොදු මහජනතාවගේ ගමනාගමන අවශ්‍යතාවය වෙනුවෙන් කැපවුන පිරිසක්. ඔවුන් නිවැරදි කාලසටහනට ක්‍රියා කරන පොදු මාර්ග නීතියට අවනතව කටයුතු කළ යුතු පිරිසක්. නමුත් මිනිසුන් ඔවුන්ව දුටු විගසම වාහනය ඉවත් කරගන්නේ ඔවුන් ඉවක් බවක් නැතිව මහමග ගමන් කරන නිසායි. එසේම ඔවුන්ගෙන් ඇතැමෙක් සිතන්නේ වඩාත්ම ලාබදායී ලෙස සහ තමන්ගේ කටයුතුවලට පහසු ලෙස රථය ධාවනය කරන්නේ කෙසේද කියායි. එවැනි මිනිසුන්ට එරෙහිව විශ්වාසභංගයක් සම්මත විය යුතුමයි.
4. තැපැල් බෙදාහරින්නන්

Source – milleniumpost.com
වර්තමානය වන විට දුරකතන සහ අන්තර්ජාල සන්නිවේදනය කොතරම් දියුණු මට්ටමක පැවතුනත්, තවමත් බොහෝ සේවා තැපැල් ගණුදෙනු හරහා සිදුවෙනවා. එහෙත් ජනතාවට සේවා සැපයීමට සිටින තැපෑල බෙදාහරින මහත්වරුන් ඇතැමෙකු විසින් ලියුම් විවර කර බැලීම, වටිනා දෑ සොරකම් කිරීම, ලියුම් බෙදීම පැහැර හැරීම වැනි බොහෝ විශ්වාසය භංග වන ක්‍රියා සිදුකරනවා. එවැන්නන්ට සම්මත නොවන විශ්වාසභංග කුමකටද?
5. මාධ්‍යවේදීන්

Source – aprilsixproof.com
ජනතාවගේ ප්‍රවෘත්ති දැනගැනීමේ අයිතිය යනු වටිනා දෙයක්. එය සපුරන පුරෝගාමීන් වන්නේ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතනයි. නමුත් ජනතාව විසින් තමන් වටා සිදුවන දේ පිළිබඳව දැනගත යුතු පූර්ණ සත්‍යය වෙනස් කර, විකෘති කර, පෙරා ලබාදෙන ඇතැම් මාධ්‍යකරුවන් ජනතාවට කරන්නේ විශාල අසාධාරණයක්. එවැනි එක් සිදුවීමක් නිසා පොදු මහජනයාගේ දිවියේ සුවිශාල වෙනස්කම් සිදුවන්නට පුළුවන් වගේම එයින් විශාල නරකක් සිදුවන්නටත් පුළුවන්. එනිසාම එවැනි වූ වැරදි ප්‍රවෘත්ති සපයන මාධ්‍යවේදීන් වෙත විශ්වාසභංගයක් සම්මත විය යුතුයි.
6. දේශපාලකයින්

Source – srilankamirror.com
අගමැතිවරයාට සම්මත වූ විශ්වාසභංගය ඔහු විසින් ජයගත් නිසා එවැන්නක් සම්බන්ධයෙන් අපගේ මතය තවදුරටත් පළ කර වැඩක් වන්නේ නැතත් ඔහු වටා සිටින ඔහුට පක්ෂ සහ විපක්ෂ සියල්ලන් සම්බන්ධයෙන් පොදු චෝදනාවක් එල්ල වෙනවා. ඒ ජනතා නියෝජිතයන් ලෙස පත් කර යවන දේශපාලකයින්ට බලය යන වියරුව අඝ්‍රානය වූ පසු ඔවුන් ජනතාව කිසිඳු ලෙසකින් නොසලකා හැරීමයි. ඔවුන් වෙනුවෙන් මහජනතාවගෙන් විශ්වාසභංගයක් සම්මත විය යුතුයි.
7. මහජනතාව

Source – colombotelegraph.com
රටේ පොදු මහජනතාව විශේෂයෙන් වෘත්තිකයන් ලෙසින් හැඳින්විය නොහැකි වුවත්, ඔවුන් එම වෘත්තිකයන් සියල්ල නියෝජනය කරන නිසා ඔවුන්ටත් මෙම සටහන තුළ ඉඩක් හිමි වෙනවා. තමුන්ගේ ලෙඩකදී හොඳම වෛද්‍යවරයා සොයන ඔවුන්, තමුන්ට යමක් උගනීමට අවශ්‍ය වූ විට හොඳම ගුරුවරයා සොයන ඔවුන්, තමුන්ට ආහාර ගැනීමට රසම ගුණම සහ පිරිසුදුම ආහාර සොයන ඔවුන්, ඒ සියල්ලට ඉහළින් තමන්ව පාලනය කරන්නට තෝරා හරින්නේ නූගත් කුහක මැරයන් පිරිසක් නම් සියල්ලන්ට පෙර එම ජනතාවට විශ්වාසභංගයක් ගෙනා යුතුයි. එම විශ්වාසභංගය සම්මත කර නව ජනතාවක් මෙරටට පත් කර ගත යුතුයි.
Cover Image Source – gossiplankanews.com
Leave a Reply