ඔබේ දරුවාට නිවැරදිම පෙරපාසල තෝරාගන්නේ මෙහෙමයි

How to Choose the Correct Preschool

පොඩ්ඩාව මොන්ටිසෝරි යවන්න ඕනි කියලා යවන්නන් වාලේ ඒවාට යවන එක තේරුමක් නෑ. නිසි අවබෝධයක් ඇති දෙමව්පියන් නම් පස්මහ බැලුම් ටික බලලා කරලා පොඩ්ඩාව මොන්ටිසෝරියකට යවනවා. ඒත් මේ සිද්ධියේ දී සමහර දෙමව්පියන් අසරණ වෙනවා. ඒ නොදැනුවත්කම නිසා. ඒකෙන් දෙමව්පියන්ට වඩා පොඩ්ඩෝ අසරණ වෙනවා. අපේ රටට අනන්‍ය වුණ අධ්‍යාපන ක්‍රම ඕනෑ තරම් තියෙද්දී විදේශීය අධ්‍යාපන ක්‍රමයේ කැටයමට අහු වෙලා බොහෝ දෙමව්පියන් තමන්ගේ පොඩ්ඩාට කරන්නේ ලොකු අසාධාරණයක්. ඉතින් නිවැරදිම පෙරපාසල තෝරාගන්නේ කොහොමද?

 

1. පෙරපාසල ලියාපදිංචි කර ඇති ආකාරය පිළිබඳ සොයා බැලීම

How to Choose the Correct Preschool

Source – jobfactory.lk

ඉස්සෙල්ලාම දෙමව්පියන් විසින් කරන්න ඕනි මෙන්න මේකයි. අදාළ පෙරපාසල පළාතේ අධ්‍යාපන කාර්‍යාලයේ ලියාපදිංචි වී තියෙන්න ඕනි. මේකෙන් නිකන්ම නිකන් ලියාපදිංචියකට වඩා පෙරපාසලක තියෙන්න ඕනි නිර්ණායක ටික ඒ ආයතනය විසින් සම්පූර්ණ කරලයි තියෙන්නේ කියලා ඔයාලාට සහතික වෙනවා. මේ නිර්ණායක ගැන කිව්වොත් ඒක උගන්වන ගුරුවරුන්ගේ ඉඳලා සෞඛ්‍ය සහ සනීපාරක්ෂක කටයුතු දක්වාම බලපානවා. ඒ වගේම මෙහෙම රජයේ ලියාපදිංචි වුණ පෙරපාසලකින් කිසිසේත්ම අයථා විදියට මුදල් අය කරන්න බැහැ.

 

2. ඔබේ අවශ්‍යතාව මත පෙරපාසල තෝරාගැනීම

How to Choose the Correct Preschool

Source – kelliinsrilanka.wordpress.com

පෙරපාසල විදියට තෝරාගන්නේ අන්තර්ජාතික, රජයේ හෝ අර්ධ රාජ්‍ය මට්ටමේ පෙරපාසලක් ද යන්න ඔබ තීරණය කරන්න ඕනි ඒක ඔබේ දරුවාගේ අනාගතයට බලපාන නිසා. උදාහරණයක් විදියට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් කෙරෙන අන්තර්ජාතික මට්ටමේ පෙරපාසලක අධ්‍යාපනයක් ලබා දීලා සිංහල මාධ්‍යයෙන් ඉගැන්වීම් කරන පාසලකට පස්සේ දරුවාව ඇතුළත් කරන්න බලාගෙන ඉන්නවා නම් එතන දී දරුවාගේ බස හැසිරවීමේ දක්ෂතාව පිළිබඳ වැඩි අවධානයක් දෙන්න වෙනවා (ඉංග්‍රීසි අමතක වෙලාම යන්න පුළුවන්). ඒ වගේම සිංහල මාධ්‍යයෙන් උගන්වන පෙරපාසලක ගිහින් පස්සේ ඉංග්‍රීසි මාධ්‍යයකින් ඉගැන්වෙන පාසලකට ඇතුළත් වුණාම එතන දී දරුවා අපහසුතාවයට පත් වෙන්න පුළුවන්.

 

3. වයස් මට්ටම් පිළිබඳ අවධානය

How to Choose the Correct Preschool

Source – bethany.com

සාමාන්‍යයෙන් පෙරපාසල් යවන්නේ වයස අවුරුදු 3-5 අතර කාණ්ඩේ පොඩ්ඩන්වනේ. මේ කාලය අතරතුර පොඩ්ඩා මුහුණ දෙන සිදුවීම්, එයා ලබන අත්දැකීම් අනාගතයට සෘජුවම බලපානවා. ගෙදර තනියම හැදී වැඩුණ පොඩ්ඩෙක් නම් ඔහු සමාජ ආශ්‍රයක් ඉස්සෙල්ලාම ලබන්නේ පෙරපාසලෙන්. එතන දී ආශ්‍රය කරන්න ලැබෙන්නේ මොන වයස්වල පොඩ්ඩොන් ද කියන එක බලපාන්නේ මෙහෙමයි. ඔබේ දරුවාට වයස අවුරුදු 5යි නම් අවුරුදු 3ක පොඩ්ඩන් වැඩි ප්‍රමාණයක් ඉන්න පෙරපාසලකට ඔහු හෝ ඇයව ඇතුළත් කරන්න එපා. එහෙම අවස්ථාවක දරුවන් කොන් වෙනවා.

 

4. අධ්‍යාපනික ක්‍රියාවලිය පිළිබඳ සොයා බැලීම

How to Choose the Correct Preschool

Source – ficf.com

සමහර පෙරපාසල්වල නිසි ආකාරයෙන්ම සිද්ධ කරන්නේ ඒ වයසට ගැලපෙන විදියට එක එක බලි රූප අඳින එක, සෙල්ලම් කරන එක, නටන එක, සින්දු කියන එක වගේ ක්‍රියාකාරකම්. ඒත් තවත් සමහර පෙරපාසල් තියනවා අකුරු උගන්වන්න යන. පාසල් අධ්‍යාපනයෙන් තමයි ඔය අකුරු ලියවිල්ල හරිහැටි සිද්ධ කරන්නේ. කලින්ම උගත්තු කරන්න ගිහින් වැරදි විදියට ඔබේ පුංචි පුතා නැත්නම් දුව අකුරු ලියන්න පෙළඹෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන අවධානයක් දෙන්න ඕනි.

 

5. වියහියදම්

How to Choose the Correct Preschool

Source – mezzino.wordpress.com

සෝෂල් ස්ටේටස් කියන එක පෙන්නා ගැනීමේ බලවත් ආශාවෙන් අපේ අම්මලා තාත්තලා කරන ලොකු වැරැද්දක් තියෙනවා. ඒ තමයි තමන් ලබන ආදායම් තත්ත්වයන් නොසලකා ලොකු ලොකු පෙරපාසල්වලට දරුවන් ඇතුළත් කරන්න යන එක. එතනදී කලින් කිව්වා වගේ මේක රජයේ ලියාපදිංචි ආයතනයක් ද කියලාවත් හොයා බලන්නේ නෑ. පිට පොත්ත දිහා විතරක් බලාගෙන කරන මේ වැඩෙන් අසරණ වෙන්නේ ඔබමයි. සමහර පෙරපාසල් තියෙනවා ලියාපදිංචි ගාස්තු වගේ දේවල් අඩු වුණාට අධ්‍යාපනයේ නිරත වෙන අතරතුර අටෝරාසියක් වියදම් වෙන ඒවා.

 

6. ස්වයං අධ්‍යයනයක් සිදු කිරීම

How to Choose the Correct Preschool

Source – heelping-srilanka.blogspot.com

ඔයාගේ අවශ්‍යතාවලට ගැලපෙන විදියේ පෙරපාසල් කීපයක් හොයාගත්තා කියලා හිතන්නකෝ. දැන් මේවා එකිනෙක ගැන ඔයාටම අධ්‍යයනයක් කරන්න පුළුවන්. සමහර පෙරපාසල්වලට අධ්‍යයන කටයුතු සිද්ධවෙන ආකාරය බලන්න පොඩි විසිට් එකක් දාන්න පුළුවන් හැකියාව ලබා දීලා තියෙනවා. ඒ ඒ පෙරපාසල්වල ඉතිහාසය, ඒවාට ගියපු දැන් පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ දෙමව්පියන් ඔබේ යහළුවන් වෙන්න පුළුවන්. ඔවුන් එක්ක කතා කරලා බලන්න.

 

7. දරුවාගේ අවශ්‍යතා පිළිබඳ සැලකිලිමත් වෙන්න

How to Choose the Correct Preschool

Source – sarvodayasuwasetha.org

අවුරුදු 3-5 අතර කියන්නේ ජීවිතයක රෝස මල් පොහොට්ටුව වගේ කාලේ. ඒ වයස් සීමාවේ දරුවන්ට තියෙන්නේ ඔවුන්ටම අනන්‍ය වුණ අවශ්‍යතා. මේවාට සංවේදී වෙන පරිසරයක් පෙරපාසල තුළ තිබෙනවාද යන්න සොයා බැලිය යුතු කාරණයක්. සමහර දරුවන්ට නිශ්චිත කාල වෙලාවක් තියෙනවා නින්ද යන. ශරීර කෘත්‍යයන් සිදුකරන්න සමහර අයට වැඩිහිටියෙකුගේ උදව්ව අවශ්‍යයි. මේ වගේ එදිනෙදා ජීවිතයේ ඔවුන්ගේ අවශ්‍යතාවලට පෙරපාසල ප්‍රතික්‍රියා දක්වන ආකාරය පිළිබඳ විමසා බැලීම ඉතාම වැදගත්.

දරුවන්ටත් ඔබටත් ඔබින පෙරපාසල සොයාගන්න මේ ලිපිය වැදගත් වුණා කියලා අපි හිතනවා. මීට අමතරව මේ සම්බන්ධයෙන් ඔබේ අත්දැකීම් තිබෙනවානම් අපි සමග බෙදා ගන්න කියලත් අපි ආරාධනා කරනවා.

 
Cover Image Source – leeds.lk/ aruthal.com/ rainbowcenterssrilanka.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *