මහජනතාවගේ ඡන්දය තමන් වෙනුවෙන් වෙන් කරගන්න මහා මැතිවරණ වලදී, ජනාධිපතිවරණ වලදී ඡන්දේ ඉල්ලන පක්ෂ වල උදවිය ඡන්දෙට කලින් නොයෙකුත් පොරොන්දු ලබා දෙනවා. ඒ පොරොන්දු අතර ගොඩක් දුරට තියෙන්නේ ප්‍රතිපත්තිමය පොරොන්දු වලට වඩා භෞතිකමය පොරොන්දුයි. ප්‍රතිපත්තිමය වේවා භෞතිකමය වේවා බලයට ඇවිත් ඒ පොරොන්දු ඉෂ්ට කරපු අයනම් හොයාගන්න බොහොම අමාරුයි. ඉතින් අපි බලමු කවුරුත් බලයට කලින් දෙන පොරොන්දු ටිකක් ගැන.
1. බඩු මිල අඩු කිරීම

Source – intrepidtravel.com
ආහාර ද්‍රව්‍ය වල මිල අඩු කිරීම කියන්නේ සර්වකාලීන ජනප්‍රිය පොරොන්දුවක්. දෙයියනේ කියලා බලයට පත් වුණාට පස්සේ බඩු මිල වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නම් නෑ. අඩු වුනත් මහා ජනතාව තෘප්තිමත් කරන්නත් අමාරුයි. ආහාර ද්‍රව්‍ය ඇරුණම ඔය කිරිපිටි, ගෑස් වගේ දේවල් වල මිල අඩු කිරීම, ඉන්ධන වල මිල අඩු කිරීම වගේ දේවලුත් ජනප්‍රිය පොරොන්දු. ආපු හැටියේම මිල ටිකක් අඩු කරාට ටික කාලයක් යද්දී අඩු කරපු ගාණ වගේ දෙගුණෙකින් තුන් ගුණයකින් මිල වැඩි කරන්න රට කරවන ඇත්තෝ පසු බට වෙන්නේ නම් නෑ.
2. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම

Source – telo.org
විධායක ජනාධිපති ධුරය කියන්නේ පිළිලයක් කියලයි සමහරුන් කියන්නේ. ඒ මතය දරන පක්ෂ කිහිපයක්ම ලංකාවේ ඉන්නවා. ඉතින් ඒ අය වෙනුවෙන් ඒ අයගේ පාක්ෂිකයන්ගේ ඡන්දය ලබා ගැනීම වෙනුවෙන් හැමදාම ඉදිරිපත් කරන පොරොන්දුවක් තමයි මේක. මේක හරිම ලස්සන පොරොන්දුවක්. ග්‍රීම් සහෝදරයන්ගේ සුරංගනා කතාවක් වගේ ජනාධිපති ධුරය අහෝසි කරලා ගේන අලුත් ව්‍යවස්ථාව ගැන.. ඒ යටතේ පාර්ලිමේන්තුවේ සංයුතිය ගැන පවා මේ අය පොරොන්දු ඉදිරිපත් කරනවා. මහජනතාව ඉතින් “මෙච්චර දැක්මක් තියෙන නායකයෙක් මෙලොව පහල වුනේ නෑ” කියල හිතලා ඡන්දේ දෙනවා. මෙන්න අවුරුදු හතරක් යද්දී ජනාධිපති ක්‍රමය අහෝසි කරනවයි කිවුව කෙනා තමන්ගේ ඊළඟ ධූර කාලය ගැන කතා කරනවා.
3. ගොවීන් වෙනුවෙන් සහන

Source – aljazeera.com
ගොවීන් කියන්නේ රටට බත සපයන උදවියනේ. කෘෂිකාර්මික රටක් විදිහට ලංකාවේ ජනගහණය ඇතුලේ ඡන්දෙකදී බලපෑමක් කරන්න පුළුවන් කණ්ඩායමක් විදිහට ගොවීන් හඳුනාගන්න පුළුවන්. ඒ හන්දම ආණ්ඩු කරන්න බලන් ඡන්දේ ඉල්ලන අය ගොවීන් ට සුඛ විහරණය සලසනවා කියලා කියන එක පොරොන්දුවක් හරි පොරොන්දු පත්‍රිකාවට දානවමයි. පොහොර ගැන.., එහෙමත් නැත්නම් ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් ගැන.., නොමිලේ බිත්තර වී ලබා දීමක් ගැන වගේ පොරොන්දු ටිකක් දාල කොහොම හරි ගොවි ජනතාවගේ ඡන්ද ටික අරගන්න මේ අය බලයට පත් වෙලා පිටරට ඉඳන් එන ආහාර ද්‍රව්‍ය වල බදු ලිහිල් කරද්දී තමයි අපේ ගොවි මහත්තුරුන්ට හීන් දාඩිය දාන්නේ.
4. මාධ්‍ය නිදහස ලබා දීම

Source – thesundayleader.com
මාධ්‍ය නිදහස කියන්නෙත් හොඳ උණුසුම් පොරොන්දුවක්. හැම ආණ්ඩුවක්ම රාජ්‍ය මාධ්‍ය පාවිච්චි කරන්නේ එයාලගේ උවමනාවන්ට. ඉතින් ඊළඟට පත්වෙන්න එන අය කියනවා අපි රාජ්‍ය මාධ්‍ය ස්වාධීන කරනවා කියලා. බලයට ආවට පස්සේ එයාලත් රාජ්‍ය මාධ්‍ය භාවිත කරන්නේ එයාලගේ ව්‍යාපෘතිවලට තමයි. ඒ වගේම තමයි මාධ්‍ය කරුවන්ට වන ප්‍රහාර නවත්වනවා කියලා පොරොන්දු දෙනවා. බලයට ආවට පස්සේ ඒවානම් මතක නෑ. අමුතිත්ත කුණුහරපෙන් මාධ්‍ය වේදීන්ට බනින අතරේ මාධ්‍ය නියාමනය කරන්න නව පනත් කෙටුම්පත් ආදිය ගේන්නත් මේ අය කටයුතු කරනවා.
5. දුෂණය නැති කිරීම

Source – fco.gov.co.uk
“වංචාව දුෂණය කලින් ආණ්ඩුවේ උදවිය කලේ මෙහෙමයි.. මෙන්න මෙච්චර ගාණක හොරකමක් වෙලා තියෙනවා.. අපේ ආණ්ඩුවක් බලයට ආවට පස්සේ මේ හොරු ඔක්කොම හිර ගෙදරට යවනවා.. අපේ ආණ්ඩුවේ දුෂණ වෙන්න දෙන්නේ නෑ..” කියලා තමයි හැම ආණ්ඩුවක්ම බලයට එන්නේ. බලයට ආවට පස්සේ අර හොරුයි කියලා එයාලම කියපු විරුද්ධ පක්ෂයේ හිටපු ඇමතිවරු, මන්ත්‍රීවරු ඒ ආණ්ඩුවටත් ඇවිල්ල ආණ්ඩු පාක්ෂිකයෝ වෙනවා. ඒ විතරක්ද..? දුෂණය පිටු දකිනවා කියලා බලයට ආපු උදවිය පෙරටත් වඩා වංචා දුෂණ කරන්න පටන් ගන්නවා. ලංකාවේ මිනිස්සු කම්මුලට අත තියාගෙන හැමදාම හූල්ලනවා.
6. තාක්ෂණික පොරොන්දු

Source – thequint.com
දැන් දැන් තාක්ශණය අලුත් වීමත් එක්ක තාක්ෂණික පොරොන්දුත් මැතිවරණ පොරොන්දු ලැයිස්තුවට වැටෙනවා. විශේෂයෙන්ම මේවා බලපාන්නේ තරුණ පරම්පරාවට. “රටටම වයිෆයි දෙනවා” වගේ කතා ඇහුණා. දුරකථන ගාස්තු අඩු කරනවා කිවුවා. ඒත් ඒවා ඉෂ්ට උනාද..? අන්තිමට වෙන්නේ තිබුණටත් වඩා ගාස්තු වැඩි වීම.
7. වැටුප් වැඩි කිරීම

Source – topbusinessjournal.com
වැටුප් වැඩිකිරීම කියන්නේ ලංකාවේ දේශපාලනය පටන් ගත්තු දවසේ ඉඳලා තියෙන පොරොන්දුවක්. මේකනම් ඉෂ්ට උනේ නෑමයි කියලා කියන්න අපට බැහැ. ඒත් ලංකාවේ ජිවන වියදමට සාපේක්ෂව වැටුප් තියෙන්නේ පහල තැනක කියලනම් අපට පිළිගන්න වෙනවා. ගොඩක් වෙලාවට විශාල මුදලකින් වැටුප් වැඩි කරනවා කියලා බලයට පත්වෙන අය කරන්නේ මොකක් හරි “වැටුප් විෂමතා දුරලීම” වගේ කාටවත් නොතේරෙන සංකීර්ණ චක්‍රලේඛනයක් ගෙනැල්ලා වැඩේ කළා කියලා ශේප් න්‍යායෙන් පැත්තකට වෙන එකයි.
පොරොන්දුනම් තව ඕනෑ තරම් තියෙනවා. ඒත් මේවා තමයි හැමදාම ඇහෙන ප්‍රධානම පොරොන්දු. ඉතින් මේ පොරොන්දු අතරේ නැති තවත් පොරොන්දු ඔබට මතක් උනානම් පහලින් Comment එකක් දාන්න අමතක කරන්න එපා.
Cover Image Source – ft.com
Leave a Reply