මෙම ලක්ෂණ පහළ වේ නම් ඔබටත් පියයුරු පිළිකා අවදානමක් තිබිය හැකියි

Symptoms of Breast Cancer

ගැබ්ගෙල පිළිකාවයි පියයුරු පිළිකාවයි කාන්තාවන්ට පරහට හිටින පිළිකා වර්ග දෙකක්. ඔය අතුරින් පියයුරු පිළිකාවට නිරාවරණය වෙන කාන්තාවන් ප්‍රමාණය ගැබ්ගෙල පිළිකා රෝගී ප්‍රමාණයට වඩා වැඩී. අපි එච්චර දැනුවත් නොවුණාට පිරිමි පාර්ශ්වයටත් පියයුරු පිළිකා අවදානමක් තියෙනවා. පිළිකාවක් කියන්නේ බය හිතෙන දෙයක් තමයි. හැබැයි ඉස්සර වගේ පිළිකාවක් කිව්ව ගමන් සුදු කොඩියයි පෙට්ටියයි මතක් වෙන ගාණට බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද දැන් වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් එක්ක ‍රෝගවලට අලුත් ප්‍රතිකාර ක්‍රම තියෙනවා. හැබැයි ඉතින් මේකට රෝගයේ පූර්ව ලක්ෂණ පිළිබඳ දැනගෙන ඉන්න ඕනි.

 

1. පියයුරු ප්‍රදේශයේ ගැටිති සහ කිහිලි ආශ්‍රිත කුද්දටි ඇතිවීම

Symptoms of Breast Cancer

Source – youtube.com

මෙතනදී දැනගන්න ඕනි දෙයක් තියනවා. පියයුරක ගැටිත්තක් ආ පමණින් ඒක පියයුරු පිළිකාවක ලක්ෂණයක් බවට පත් වෙන්නේ නෑ. නමුත් ඒ වගේ වෙලාවට වෛද්‍යවරයෙකු මුණ ගැසීම අත්‍යාවශ්‍ය වෙනවා. එතන දී ඔහුගේ නිර්දේශය මත Biopsy පරීක්ෂණයක් හරහා මේක ඇත්තටම පිළිකාවක ලක්ෂණයක් විදියට ආ ගැටිත්තක් ද කියලා හඳුනාගන්න පුළුවන්. පියයුරුවල ඇතිවන මේ ගැටිති වේදනාවක් ගෙන දෙන්නේ නැහැ. කිහිලි ආශ්‍රය කරගෙන කුද්දටියක් ඇති වුණොත් ඒකත් පියයුරු පිළිකා අවදානමක් වෙන්න පුළුවන්. පියයුරු ප්‍රදේශය තනපුඩුව ආශ්‍රය කරගෙන පමණක් සීමා වෙන්නක් නෙවෙයි කියලත් මතක තියාගන්න ඕනි.

 

2. පියයුරු තුඩුවලින් ස්‍රාවයක් නිකුත් වීම

Symptoms of Breast Cancer

Source – thesun.co.uk

තනපුඩුව ආශ්‍රය කරගෙන සුදුපැහැ හෝ අවර්ණ ස්‍රාවයක් නිකුත් වෙන බවක් ඔබට දැනුනොත් වෛද්‍යවරයෙකු ළඟට යන්න අදිමදි කරන්න එපා. පියයුරු පිළිකාවක මුල් අවස්ථාවේ සිද්ධ වෙන සංසිද්ධියක් නිසා නොසළකා ඉන්න බැහැ.

 

3. පියයුරු ප්‍රදේශයේ සමෙහි ඇතිවන වෙනස්කම්

Symptoms of Breast Cancer

Source – thelancet.com

පියයුර ආශ්‍රය කරගෙන ඇති සම දොඩම් ලෙල්ලක් වගේ ඝනකමක් දක්වනවා නම් ඒක පියයුරු පිළිකා අවදානමකට අත වැනීමක් විය හැකියි. ඒ වගේම ඒ ප්‍රදේශය කවරදාකවත් නොවූ විරූ විදියට තද රතු පාටක් ගන්නවා නම් එයත් නොසළකා ඉන්න බැරි දෙයක්. මෙතන සම ආශ්‍රය කරගෙන වේදනාවක් සහ කැසිල්ලක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ හැම විටම මේ පිළිකාවක ලක්ෂණ කියලා කියන්න බෑ. මෙන්න මේ නිසයි ස්වයං පරීක්ෂණයක වැදගත්කම ඉස්මතු වෙන්නේ (ස්වයං පරීක්ෂාවක් සිදු කරන ආකාරය පැහැදිළි කරන වීඩියෝවක් මේ ලිපිය අවසානයේදී ඔබට නැරඹිය හැකියි). දිගින් දිගට ම මේ විදියට කහනවා නම් රිදෙනවා නම් එය ඔබෙත් හිතට වදයක් නිසා වෛද්‍යවරයෙකු හමුවෙලා අදාළ උපදෙස් පිළිපැදීම නුවණට හුරුයි. පියයුරේ හැඩය ඔබ කණ්ණාඩිය ඉදිරිපිට නිරීක්ෂණය කිරීමේදී වෙනදාට වඩා වෙනස්කමක් දකින්න පුළුවන්. ඒ කියන්නේ එක් පියවුරක් අනෙකට වඩා හැකිලී කුඩා වී ඇති බවක්. මේ ලක්ෂණ තියෙනවා නම් අනිවාර්‍යයෙන්ම වෛද්‍ය සහය පතන්න ඕනි.

 

4. තනපුඩුව ආශ්‍රය කොට ඇතිවන ආසාදන තත්ත්ව

Symptoms of Breast Cancer

Source – blogger.com

තනපුඩුව ඉරිතලා ගිහින් වගේ පෙනෙන්න තියනවා නම්, ඒක ඇතුළට හැකිලිලා ගිහින් සෑහෙන අස්වාභාවික ගතියක් පෙන්නුම් කරනවා නම් ඔබ පියයුරු පිළිකා අවදානම් කළාපයක ඉන්නවා වෙන්න පුළුවන්. ඒ වගේම තනපුඩුව වටා ආසාදන තත්ත්වයක් (කුෂ්ඨයක්) දකින්න තියෙනවා නම් ඔබ වෛද්‍ය උපදෙස් පතන්න ප්‍රමාද වෙන්න නරකයි.

 

5. කෑම අරුචිය, බර අඩුවීම සහ ශරීරයේ දුර්වලත්වය

Symptoms of Breast Cancer

Source – Theredish.com

සාමාන්‍යයෙන් ඕනෑම පිළිකා තත්ත්වයකදී මේ විදියට කෑම අරුචියක්, බර අඩුවීමක් සහ දුර්වල ගතියක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඉහත ශාරීරිකව දක්වපු ලක්ෂණත් එක්ක මේ දේවල් පෙන්නුම් කරනවා නම් නොපමාව විශේෂඥ වෛද්‍යවරයෙකු හමු විය යුතුයි.

පියයුරු පිළිකාව හැදෙන්නේ ගොඩක් වෙලාවට වයස අවුරුදු 45-55 අතර කාන්තාවන්ටයි. ඒ නිසා මේ වයසේ දී ඔසප්වීම සිදු වුණාට පසු දිනවල ස්වයං පරීක්ෂණවල නිරත වෙලා තමන්ගේ පියයුරුවල ඇති අස්වාභාවිකතා පිළිබඳ දැනුමක් ලබා ගැනීම වැදගත් වෙනවා. ජානමය වශයෙනුත් ඇති බලපෑම නිසා එවන් පවුලක කාන්තාවක් නම් ඔබ වඩාත් පරෙස්සම් විය යුතුයි. මැමෝග්‍රම් පරීක්ෂණ සිදුකිරීම ඉතාම වැදගත්. එතන දී අපේ ඇසට අසු නොවන, අපේ ස්පර්ශයට නොදැනෙන දේවල් හඳුනාගන්න පුළුවන්. පිළිකාවක් මුල් අදියරේ දී ම හඳුනාගෙන අදාළ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙනවා නම් මේ සම්බන්ධයෙන් සමාජයේ ඇති දුර්මත නැති කිරීමත් සරල දෙයක්.

පියයුරු පිළිකා සම්බන්ධයෙන් ස්වයං පරීක්ෂණයක් සිදු කරන ආකාරය ගැන පහත වීඩියෝව නැරඹීමෙන් ඔබට දැනගැනීමට හැකිවේවි.
 

 
Cover Image Source – nypost.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *