අපේ රටේ හන්දි ගාණේ, පඳුරු අස්සේ පොලිස් නිලධාරීන් ගිනි අව්වේ විඳින දුකට අපි හැමෝම වග කියන්න ඕන. එයාලාට එහෙම ඉන්න කියලා අපි කිව්වේ නෑ තමයි. ඒත් එහෙම ඉන්න ඉහළින් නියෝගයන් ලැබුණේ වක්‍රාකාරව අපේම වැරදි නිසා තමයි. අපේ කස්ටිය පාරෙ යන්න ගියාම ඉතින් මෙලෝ සිහියක් නෑනේ. දකුණට සිග්නල් දාලා වමට හරවනවා, BMW වල එහෙම නම් සිග්නල් ලයිට් එන්නේම නැද්ද කොහෙද. ඉතින් මේ වගේ අපේ උන්දැලාගේ විකාර වැඩ මොනවද කියලා හොයලා බලන්නයි දැන් හදන්නේ.
1. ස්කූටිය කියන්නේ ජෙට් එකක් නෙවෙයි අයියේ
ලොකු බයික් එකක් ගන්න සල්ලි නැති වුණත් හිතේ තියෙන යකඩ හීනෙ හැබෑ කරගන්න අපේ කොල්ලන්ට තියෙන එකම හයිය ස්කූටිය තමයි. ගත්ත ගමන් ඒකෙ නැගලා ෆොටෝ එකක් අරන් “යකඩ හීනෙ හැබෑ වුණා ප්‍රෙන්ස්” කියලා ආතල් එකේ ෆේස්බුක් එකට දැම්මාට “ඕක ප්ලාස්ටික් ගොඩක් බං” කියලා කමෙන්ට් දාන අ.කු.ප.හැ. නැතුවම නෙවෙයි. හැබැයි ඔය ත්‍රිල් එක පිට බයික් එකෙන් වැඩ දාන්න යන එක තමයි පරහට හිටින්නේ. අලුත් එන්ජින් ඔච්චර රේස් කරලා යන්න හොඳත් නෑ, ඔය ලංකාවෙ අතුරු පාරවල්වල එහෙම මේ ඇමරිකාවෙ ෆිල්ම්වල වගේ හැටට හැටේ යන්නත් බෑ. ඉතින් අපේ වැලමිටි වංගු වලින් ගද්දි කණේ වැලි ගෑවෙන්න නවනවා. වේගෙත් එක්ක එච්චර නැව්වාම ඊළඟ වංගුවෙදි අනිත් පැත්තට නවාගන්න බැරුව කෙලීන්ම ගිහින් ඩෝං ගාලා සද්දයක් එනවා. එච්චරයි මතක, හෙට ටිකට් කපයි.
2. වාහනවල බෆර් සිප ගැනීම ආතල් ය
බයික් එකේ යන ගමන් හෙමින් යන්න හොඳ නෑ. පොඩ්ඩක් සද්දෙ දාලා වටපිටාවෙ නංගිලාට පේන්න එහෙට මෙහෙට නවලා වාහන අස්සෙන් දාලා යද්දි හොඳ කාර් එකක් එහෙම තිබුණොත් එකෙ පැත්තෙන් සූට්ටක් ගාවගෙන ඉරක් ඇඳගෙන ගියේ නැත්නම් ආතල් එකක් නෑ. හැබැයි අවුල තියෙන්නේ ඔහොම වෙලා කාර් කාරයාට අලාබ ගෙවන්න ගියාම අර බල බලා ආසාවෙන් හිටපු නංකිලා ටික ඔය පුතාට සත පහක් දෙන්නේ නෑ, එයාලා එයාලාගේ ගමන යනවා. ඔයාට තමා අතින් කයිට් වෙන්නේ. වාහනේ ත්‍රීවීල් එකක් වුණත්, කාර් එකක් වෑන් එකක් වුණත්, තමන්ගේ වාහනේ තරම දැනගෙන වටේට සහ ඉස්සරහින් ඉඩ තියාගෙන බ්‍රේක් කරගන්න පුළුවන් සීමාවේ යන්න. අර කතාවකුත් තියෙනවානේ බව්වට ඇති වැඩකුත් නෑ හෙමින් ගමනකුත් නෑ කියලා. ඒත් ඉතින් බව්වගේ කකුල් වලට අපේ වාහනවලට වඩා හොඳට බ්‍රේක් තියෙනවා ඩ්‍රිෆ්ට් එකක් හරි ගහලා නවත්තගන්න පුළුවන් විධියට.
3. දානවද නැද්ද දානවද නැද්ද?
හන්දියකින් එහෙම වාහනේ ගන්නවා නම් ටිකක් පාර මැදටම ගන්න ඕන. අර හන්දිවල ඇඳලා තියෙන සුදු පාට ලයින් එක ගාවින් එහෙම වාහනේ නතර කරලා, දෙපැත්තෙන් වාහන එනවද කියලා බලලා එහෙම පාරට දාන්න එපා හොඳේ. ඊට පස්සේ පාර මැදම තියාගෙන, මේන් රෝඩ් එකේ වාහන රොත්තක් පෙළ ගැහිලා එද්දි කල්පනා කරන්න ඕන “මම පාරට දානවද නැද්ද?” කියලා. මේක විනාඩි පහක් විතර කළාට පස්සේ අපි යන්නෙ නැතිව බව දැනගෙන අනිත් වාහන යන්න හදද්දීම අපිත් දාන්න ඕන. එතකොට එයාලා ආයෙ නවත්ත ගන්නවා. ආන්න එතකොට අපි තවත් පාරක් කලින් වගේම “දානවද නැද්ද? දානවද නැද්ද?” කියලා හිතන්න ඕන. රටක් විධියට, ආ! නෑ වාහනයක් විධියට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ එතකොටයි.
4. පොලීසිය පේන්න නැත්නම් කලර් ලයිට් අදාලම නෑ
වෙන රටවල් රියඳුරු රහිත වාහන හදලා පාරට දාද්දි අපි තාම ස්වයංක්‍රීයව පාලනය වන මාර්ග පද්ධතියක් තිබිලා ඒකේ යන්නවත් දන්නේ නැහැ. කහ වැටෙද්දිම පාරෙ බාගයක් ගිහින් ඉවරයි.
වෙන්න ඕන මෙහෙමයි, රතු දැක්කොත් වාහනේ නවත්ත ගන්න ඕන. ඒකත්, ගහලා තියෙන ඉරි වලට මෙහායින් පදික මාරුවක් තියෙනවා නම් ඒකටත් මෙහායින් නවත්වගන්න ඕන. එහෙම නවත්වගන්න අමාරු නම් කලර් ලයිට් කිට්ටු වෙද්දි කඩාගෙන බිඳගෙන එන්නැතුව වේගෙ අඩු කරගෙනම එන්න. ඊළඟට කහපාට එක්කම වගේ කොළපාටත් වැටෙනවා. දැන් කොළපාට අංකවල තත්ත්පර ගාණ යනකම් අපිට ඉස්සරහට යන්න පුළුවන්. ඒ ගණනය කිරීම අවසන් වෙන්න කිට්ටු වෙද්දි කහපාට වැටෙනවා. අන්න එහෙම තිබුණොත් ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ කොළ පාට තියෙද්දී පාර මැද හිටපු අයට විතරයි. අර ලයිට් ගාව සුදුපාට ඉරේ ඉන්න කෙනෙක්ට කහ පාට තියෙද්දි යන්න බැහැ. එයාලා එතන නවත්වගෙන රතු වැටෙනකම් ඉන්න ඕන.
5. පොදු හේතුව මේකයි
අපිව පොඩි කාලේ හදලා තියෙන්නේ වැරද්දක් කළාම පාරක් ගහලා, දණ ගස්සවලා වාත කරලා මිසක් වැරැද්ද මොකක්ද, වැරැද්ද කළාම ඒකේ ආදීනව මොනවාද (ගුටිකෑම හැර) ඒක අපි නොකර ඉන්න ඕන ඇයි; ආදී දේවල් අපිට උගන්වන්නේ නැහැ. මේක ඉතින් ලොකු වුණාමත් පුරුද්දට යනවා. ඊට පස්සේ සමාජෙට මුහුණ දෙන්න ගියාමත් කවුරුහරි ළඟින් ඉඳන් ටොකු ඇණ ඇණ කියලා දුන්නේ නැත්නම් අපි ඉගෙන ගන්නේ නෑ. පාරෙ යන්න ගියාමත් ස්වයංක්‍රීය පද්ධතියක් වන වර්ණ සංඥා අපේ කස්ටියට අදාල වෙන්නේ නැත්තෙත් ඒකයි. සජීවී පොලිස් නිලධාරියෙක්ම ඉඳගෙන කලර් ලයිට් තියෙන තැන්වලදිත් වැරදි බලන්න ඕන. ඉතින් අපිට හරි යයිද මහත්තයෝ?
Cover Image Source – srilankaguardian.com
Leave a Reply