අපි අද කතා කරන්න යන්නෙ මිනීමැරීම තමන්ගෙ වෘත්තිය කරගත්තු පිරිසක් ගැනයි. Contract Killers එහෙමත් නැත්නම් කුළී ඝාතකයො තමයි ඒ පිරිස. මතකනේ ඒ කාලෙ අපි ආසාවෙන් ක්‍රීඩා කරපු හිට්මෑන් PC ගේම් එක? අන්න ඒ ගේම් එකත් නිර්මාණය වෙලා තිබ්බෙ මේ විදිහෙ කුළී ඝාතකයෙක්ව මූලික කරගෙනයි.
හැඟීම් වලට වහල් වෙලා මිනී මරන කෙනෙක්ටත්, මිනීමැරීම විනෝදාංශයක් හෝ පුරුද්දක් කරගත්ත සීරියල් කිලර් කෙනෙක්ටත් වඩා වෙනස් ආකාරයේ අපරාධයක නිරත වෙන කෙනෙක් තමයි මේ කුළී ඝාතකයෙක් කියන්නේ. ඔහු කරන්නෙ කෙනෙක්ව මරන්නටය කියල තවත් කෙනෙක් දෙන අණක් ක්‍රියාත්මක කරල, ඒ සඳහා ගාස්තුවක් හෝ වරප්‍රසාදයක් ලබන එකයි.
එතෙක් මෙතෙක් ලෝකයේ හිටපු භයානකම කුළී ඝාතකයො ගැන කතා කරද්දි ඉහලින්ම සඳහන් වෙන නම් කීපයක්ම තියනවා. අන්න ඒ අය ගැනයි මේ ලිපිය.
1. රිචඩ් කුක්ලින්ස්කි – The Iceman

Source – youtube.com
රිචඩ් කුක්ලින්ස්කි කියන්නේ ඇමරිකානු ජාතික අති භයානක කුළී ඝාතකයෙක්. මාෆියා සංවිධාන කීපයකම කුළී ඝාතකයෙක් හැටියට වැඩ කරල තියන කුක්ලින්ස්කි විසින් සිදුකරපු මිනීමැරුම් ගණන සියයකටත් අධික බවයි කියවෙන්නේ. මිනී මැරීමට වගේම මළසිරුරු සැඟවීමටත් කුක්ලින්ස්කි භාවිතා කරන්නෙ ඉතාම වෙනස් ක්‍රමවේදයන් තමයි. කුක්ලින්ස්කි තමන්ගේ ඝාතනයන් සිදු කරන්න ගිනි අවි වලට අමතරව දුනු, අත් බෝම්බ, දම්වැල් කියත් (Chainsaw), අයිස් පික්ස් ආදී විවිධ උපකරණ යොදාගෙන තියනවා. මේ හැම එකකටම වඩා කුක්ලින්ස්කිගේ ප්‍රියතම ඝාතන ක්‍රමය වෙලා තියෙන්නෙ සයිනයිඩ් ඉසීමෙන් පුද්ගලයන් මරණයට පත් කිරීමයි. තමන්ගේ ඝාතනයන් සිදුකල වෙලාව වසන් කරන්නට කුක්ලින්ස්කි කරන්නෙ මළසිරුරු අධිශීතකරණය කරන එකයි. මේ නිසා තමයි අයිස්මෑන් කියන අනවරත නාමය ඔහුට පටබැඳිල තියෙන්නෙ.
1986 වර්ෂයේදි නීතියේ රැහැනට හසුවෙන කුක්ලින්ස්කිට ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවම් දෙකක් නියම වෙනවා. වසර 18ක් සිරගතව වෙසෙන කුක්ලින්ස්කි 2006 වර්ෂයේදී රෝගී තත්ත්වයක් හේතුවෙන් සිපිරිගෙදරදීම අවසන් හුස්ම හෙලනවා.
2. ඒබ් රෙල්ස්

Source – gettyimages.com
1930 ගණන් වෙද්දි නිව්යෝර්ක් නගරය භීෂණයෙන් පුරවන්න සමත්වෙච්ච කුළී ඝාතකයෙක් තමයි ඒබ් රෙල්ස්. නොයෙකුත් දරුණු ඝාතකයන්ගෙන් සමන්විත වෙච්ච Murder Inc. නැමැති අපරාධ සංවිධානයේ භයානකම ඝාතකයා හැටියට වැජඹුන කෙනෙක් තමයි ඒබ් රෙල්ස්. කුළී ඝාතනයන් කිරීම විතරක් නෙමෙයි, අහිංසක පුද්ගලයන්වත් හිතක් පපුවක් නැති ආකාරයෙන් ඝාතනය කරපු කෙනෙක් හැටියට ඒබ් රෙල්ස් ප්‍රසිද්ධයි. පුද්ගලයෙකුගේ කන පසාරු වන ආකාරයෙන් අයිස් පික් එකක් මගින් පහර දී මරා දැමීමට තමයි ඒබ් වඩාත් ප්‍රිය කරල තියනවයි කියන්නෙ.
මිනීමැරුම් දහස් ගණනක් සිදු කරපු සංවිධානයක ප්‍රධානම ඝාතකයා වුණත්, තමන්ටත් නීතියේ රැහැනින් ගැලවිල්ලක් නැති බව අවසානයේදී ඒබ් රෙල්ස් තේරුම් ගන්නවා. එවිට ඔහු කරන්නේ රජයේ ඔත්තුකරුවෙක් බවට පත්වෙලා දඬුවම් ලිහිල් කරගැනීමයි. තමන් එක්ක අපරාධ ලෝකයේ රජකරපු සගයො එකා දෙන්නා ගැන ඔත්තු සපයලා ඒ අය බොහෝමයකට පෝරකය උරුම කරවල දෙන්න ඒබ් රෙල්ස් වග බලාගන්නවා. එහෙම කළා කියලා ඒබ් රෙල්ස්ගේ ආයුෂ දිගු වන්නේත් නැහැ. උස් ගොඩනැගිල්ලක ජනේලයකින් පිටතට වැටිලා අභිරහස් අන්දමින් ඒබ් රෙල්ස් මිය පරලොව යනවා. ඒ වෙද්ද ඔහුගේ වයස අවුරුදු 35ක්.
3. බෙන්ජමින් සීගල්

Source – nationalcrimesyndicate.com
Murder Inc. නැමැති භයානක මිනීමරු සංවිධානයක් ගැන අපි කළින් සඳහන් කළානෙ. අන්න ඒ සංවිධානයේ නිර්මාතෘවරයෙක් වගේම නායකයෙක් තමයි බෙන්ජමින් සීගල් කියන්නේ. සීගල් කියන්නේ කඩවසම් පෙනුමකින් යුක්ත වූ පුද්ගලයෙක්. ඒ වගේම හොලිවුඩ් නළු නිළියන්ව ඉතාම සමීපව ඇසුරු කරපු අයෙක්. ඔහුව කොතරම් ජනප්‍රිය පුද්ගලයෙක් වෙලා හිටියද කියනවනම් අපරාධ ලෝකයේ තාරකාවක් හැටියටත් ඔහුව සමහරු හඳුන්වනවා. වෙනත් පාතාල නායකයො තමන්ගෙ සහචරයො ලවා මිනීමරවද්දී බෙන්ජමින් සීගල් තමන්ගේ ගොදුර තමන් විසින්ම දඩයම් කරපු විරළ ගණයේ අපරාධකරුවෙක් හැටියටයි සැළකෙන්නේ.
බොහොමයක් පාතාල නායකයො වගේම සීගලුත් ඉතාම කෙටි ආයුෂ ප්‍රමාණයක් තමයි භුක්ති විඳින්න අවකාශ ලබන්නෙ. 1947 වර්ෂයේ ජූනි 20 වැනිදා වෙඩි පහර 4කට ලක්වීමෙන් බෙන්ජමින් සීගල් මරුමුවට පත්වෙනවා. ඔහුගේ ඝාතනය අදටත් අභිරහසක් හැටියටයි සැළකෙන්නෙ.
4. හැරී ස්ට්රවුස්

Source – gettyimages.com
හැරී ස්ට්රවුස් විසින් සිදුකරල තියන ඝාතන ප්‍රමාණය 100-500ක් අතර වන බවට තමයි පැවසෙන්නේ. 1930 ගණන් වල අපරාධ ලෝකෙ හොල්ලපු හැරීගෙ විශේෂත්වය තමයි කුළී ඝාතනයක් සිදු කරන්න යද්දි නිරායුධව යන එක. ඝාතනය සැලසුම් කරන ස්ථානය කල් තියා අධ්‍යයනය කරන හැරී මිනීමැරුමට සුදුසු ආයුධයක් හොයාගන්නේ ඒ ස්ථානය අවටින්මයි. අසල තියෙන ලණු කැබැල්ලක හෝ යොදාගෙන සාර්ථකව තමන්ගේ ඉලක්කය සපුරාගැනීමේ සමත් දක්ෂ අපරාධකරුවෙක් තමයි හැරී ස්ට්රවුස්. බොහෝ කුළී මිනීමරුවන් ආර්ථික හෝ වෙනයම් වාසි බලාපොරොත්තුව මිනිස් දඩයමේ යෙදුනත් හැරී ස්ට්රවුස් විනෝදාංශය උදෙසා නොමිලේ වුවත් ඝාතනයන් කරන්නට භාරගන්නා තැනැත්තෙක් බව පැවසෙනවා.
අපේ ලැයිස්තුවේ කළින් සඳහන් කරපු ඒබ් රෙලස් රජයේ ඔත්තුකරුවෙක් බවට පත්වීමත් එක්ක තමයි හැරී ස්ට්‍රවුස්ගේ අපරාධ ජීවිතයට කණකොකා හඬන්නට පටන් ගන්නේ. 1941 වසරේ ජූනි මාසයේදී හැරී ස්ට්රවුස්ව විදුලි පුටුව මගින් මරණීය දණ්ඩනයට ලක්කරනු ලබනවා.
5. ගුසෙප්පි ග්‍රෙකෝ

Source – nationalcrimesyndicate.com
සිසිලියානු මාෆියා නායකයෙක් වුණ ගුසෙප්පි ග්‍රෙකෝ කුළී ඝාතනයන්ට අමතරව මිනීමැරීම විනෝදාංශයක්ද කරගත්ත දරුණු පුද්ගලයෙක්. කුඩා කලදී ඉගෙනීමෙන් දස්කම් දැක්වුවත් පවුලේ උරුවට අපරාධ ලෝකය ඔහු තම අනාගත වාසස්ථානය කරගන්නවා. ග්‍රෙකෝ විසින් සිදුකර ඇති ඝාතනයන් සංඛ්‍යාව 58ක් හැටියට සඳහන් වුවත් එය 300ක් පමණ ඉහල අගයක් විය හැකියැයිද පැවසෙනවා. එකකට එකක් වෙනස් ඝාතන ක්‍රම යොදාගනිමින් කුළී ඝාතනයන් සිදුකල ග්රෙකෝගේ ප්‍රියතම අවිය වන්නේ ඒ. කේ 47 වර්ගයේ ගිනි අවියක්. ඝාතනයට ලක්වූ අයගේ මළසිරුරු ඇසිඩ් බැරලවල දැමීමට හෝ ඌරන්ට ආහාර පිණිස දැමීමට ග්‍රෙකෝ කැමැත්තක් දක්වල තියනවා. 1985 දී ග්‍රෙකෝ තමන්ගේම සගයින් දෙදෙනෙක් අතින් වෙඩි පහර ලැබ ජීවිතක්ෂයට පත්වෙනවා.
6. ඇලෙක්සැන්ඩර් සොලොනික් – Super Killer

Source – russiabeyond.com
නම රැන්දූ රුසියානු කුළී ඝාතකයෙක් වන ඇලෙක්සැන්ඩර් සෙලොනික්ව හඳුන්වන්නේ සුපිරි ඝාතකයා (Super Killer) නම් අනවරත නාමයෙන්. අපරාධ ලෝකයේ ප්‍රබලයන් රැසකගේම ඝාතකයා සොලොනික් වීමත්, ඝාතනයක් සිදු කිරීමේදී ඔහු දක්වන කාර්යක්ෂමතාවයත් තමයි ඒ නම පටබැඳීමට හේතුව වෙලා තියෙන්නේ. අත් දෙකින්ම එක හා සමාන නිරවද්‍යතාවයකින් වෙඩි තැබීමට සොලොනික්ට හැකියාව තිබිල තියනවා.1990 ගණන් වලදී රුසියාව හෙල්ලූ මේ ඝාතකයාගේ මළසිරුර 1997 දී ග්‍රීසියේ ඇත්න්ස් නුවර අසළදී හමුවූ වගට ප්රවෘත්ති වාර්තා වනවා. එසේ වුවත් අදටත් ඔහු සුපුරුදු අපරාධ වල නිරත වෙමින් සැඟවිල්ලේ දිවි ගෙවන වගටත් කටකතා පවතිනවා.
7. ජියෝවානි බෘස්කා

Source – therichlist.com
ජියෝවානි බෘස්කා කියන්නේ සිසිලියේ මාෆියා නායකයෙක්. ඔහු කොතරම් මිලේච්ඡ ඝාතකයෙක්ද කියනවානම් තමන් විසින් මිය පරලොව යැවූ මිනිසුන් සංඛ්‍යාවවත් ඔහුට මතක නැහැ. බෘස්කා විසින් සිදුකරන ලද ඝාතනයන් සංඛ්‍යාව 100-200 අතර ප්‍රමාණයක් වන බවටයි සැක කෙරෙන්නේ. අපේ මේ ලැයිස්තුවට ඇතුළත් කර ඇති කුළී ඝාතකයන් අතරින් අදටත් ජීවතුන් අතර සිටින එකම පුද්ගලයා වන්නේත් ජියෝවානි බෘස්කායි. 1996 දී නීතියේ රැහැනට හසුවන මොහු මේ වනවිට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් විඳිමින් පසුවනවා.
Cover Image Source – defentandcarry.com / artsfon.com / youtube.com
Leave a Reply