ගැමුණු කුමාරයා සැඟව සිට සේනා සංවිධානය කළ කොත්මලේ අඩවිය

A trip to Kothmale

කොත්මලේ ජලාශය සහ ඒ අවට තිබෙන කදුකර පරිසරය කලකදී බොහෝම ජනප්‍රිය වූ අඩවියකි. වර්තමානයේ තරමක් සංචාරක ආකර්ශණය අඩු වුවත් තවමත් තැන ගැන දන්නා සංචාරකයින් සොයා ඇදී යන කොත්මලේ කොළඹ සහ නුවර සිට පහසුවෙන්ම පිවිසෙන්න පුලුවන් ස්ථානයක්ද වෙනවා.

 

1. කොත්මලේට පිවිසීම

A trip to Kothmale

Source – Amila chathuranga

පාන්දරම කොළඹින් 05.55 පොඩි මැණිකේගේ ගොඩවෙලා ගියොත් ගම්පොලට උදේ 9.15 වෙද්දි ළඟාවෙන්න පුලුවනි. එතැනින් මාවෙල බස් එකේ නැගිලා කොත්මලේට පහසුවෙන්ම ලගඟවෙන්නත් හැකියි. කොත්මලේට පිවිසීම කියන්නෙත් අමුතුම අත්දැකීමක්. තමුන්ගේ වාහනයක යනවා නම් මහවැලි ගඟ සහ අවට කඳු යායේ සිරි නරඹන්නත් චිත්‍රපටියක මෙන් ඈත පේන ගඟ සහ කඳු යාය සමග භූමි දර්ශනය නෙතට හසුකරගන්නටත් කොත්මලේ යන ගමනේදී අවකාශ ලැබෙනවා. කොත්මලේ වේල්ලට පහලින් ඇති ගංගාවේ ඇතැම් තැන් ඇලි පරිදි සැකසී මනරම් දසුන් මවාපානවා. එහෙත් ඒ පෙරලෙන වතුරේ නෑමට යෑම නම් ඒ යාබද ගම් වල ජනයා පවා අනුමත නොකරන දෙයක්. “මහත්තයෝ මහ අරුම පුදුම මාලුවෙක් ඉන්නවලු ඔය ගඟේ. ඔන්න කට්ටිය මාලුව දැකලා හොයන්න යනවා නේ..එතකොට වලකට වැටිලා ආයේ ගොඩ ඒමක් නැතිවෙනවාලු.“ එසේ එක් ගැමියෙකු ගගේ ඇති බියකරු බව හා සබැදි කතාවක්ද කොත්මලේ බලන්නට ගිය අපිට කීවේය.

 

2. කඩදොර විහාරය

A trip to Kothmale

Source – Amila chathuranga

දිවංගත ගාමිණී දිසානායක ශ්‍රීමතානන් විසින් මැදිහත් වී ජල විදුලිය ලබාගැනීම පිණිස නිමවුණු කොත්මලේ ජලාශයට යටවුනු ගම් අතර කඩදොර යනු එක් ගමකි. එහි තිබූ විහාරය 1984 සිට වතුරට බිලි වුණා. මේ වතුරට යට වුණු විහාර බිමේ ඇති බුදුපිලිමය පායන කාලයට එනම් ඉඩෝර කාලයට මතු වෙනවා. ඒ බලන්නට මහ සෙනග පොදි බැඳගෙන කොත්මලේ කඩදොර වෙත ළගා වෙනවා. දැන් වසර 30කට අධික කාලයක් වුනත් ඇතැම් ගොඩනැගිලි කැඩී බිදී ගොස් තිබුනත් තවමත් මේ ජලාශයේ වතුර අඩු කාලයට ඒ බුදුපිළිම වහන්සේත් ඉතිරි විහාර අංගත් කොත්මලේ ජලාශයේ වතුර මට්ටම ආසන්නයේම දැකගන්නට හැකියි.

වර්තමානය වන විට ඒ විහාරයේ විහාර ගෙයි තිබූ අනෙකුත් පිළිම වහන්සේලා කැඩී බිදී ගොස් තිබුණත් බුදුපිලිම වහන්සේ තවමත් බොහෝදුරට ආරක්ෂා වී තිබෙන්නේ යම් ආශ්චර්යයකින් දෝ හෝ යි එය බලන්න යන අපිට සිතෙනවා. වර්ණාලේපිත කඩදොර විහාරස්ථ බුදුපිලිම වහන්සේ 1984 ට ප්‍රථම එතරම් ජන අවධානයක් දිනාගන්නේ නැතිව ඇති. එහෙත් කාලාන්තරයක් තිස්සේ රැල්ලට සහ ජලයට හසුව වර්ණ සේදී ගොස් දැන් සිමෙන්ති පැහැයෙන් තිබෙන මේ බුදුපිලිම වහන්සේ තුලින් වර්ණ රහිත වුවත් යම් ශාන්තිදායක නිරාමිශ ප්‍රීතියක් බෞද්ධ බැතිමතුන්ට ඇතිකරන්නට සමත්. වැඩිපුර ආටෝප සාටෝපවට වඩා පුරාණ බුදුපිලිම වලට  උරුම සරල එහෙත් ප්‍රබල පෙනුමක් මේ කඩදොර පිළිම වහන්සේ සහ ඒ අදාල පරිසරය මගින් අපිට මවා පානවා.

 

3. රණමුනේ පිහිල්ල

A trip to Kothmale

Source – Amila chathuranga

කොත්මලේ ජලාශයේ බැම්මේ සිට මාවෙල දෙසට කිලෝමීටර 5-6ක් ගිය තැන මනරම් කුඩා වෙල් යායක් අද්දර ඉහල කෙළවරේ රණමුනේ පිහිල්ල පිහිටා තිබෙනවා. අඩියක් පමණ පලල වතුර දහරක් හිසමතට කඩා වැටී මිනිස් සිරුරු පවිත්‍ර කරන මෙම රණමුනේ පිහිල්ල අහල ගම්මාන වල ජනයා වැල නොකැඩී නෑමට ඇදී එන පීල්ලක්. යාබදව පිහිටා ඇති අම්බලම වැනි ගොඩනැගිල්ල ඉතා පැරණි කාලයට අයත් පාදමක සලකුණු මත නිර්මාණය කළ එකක්. මෙම පිහිල්ල ගැමුණු කුමාරයා කොත්මලේ සිට සේනා සංවිධානය කල කාලය දක්වාම ඇදී යන ඉතිහාසයකට ඇතුලත් බව එගම ගැමියන් අප සමග පැවසුවා. උල්පත් ජලය කෙලින්ම හිස මතට වැටෙද්දී තරමක සිසිලකින් යුක්ත වුනත් ඒ වැනි පිහිල්ලකින් නා ගැනීම අමුතුම ජීවන අත්දැකීමකි.

 

4. කොත්මලේ ජලාශය

A trip to Kothmale

Source – Amila chathuranga

කොත්මලේ ජලාශයේ බැම්මත් ඒ යාබද පරිසරයත් දැකබලාගන්නට කොත්මලේ වේල්ල බාර ආයතන මගින් පහසුකම් සලස්වා තිබෙනවා. කුඩා රු 30ක ටිකට් පතක් ලබාගෙන වේල්ල තැනීමේ ඉතිහාසයත් පැරණි පින්තූරත් කොත්මලේ වේල්ලේ දැන් තිබෙන පියවි ස්වභාවයත් සංචාරකයින්ට දැකබලාගත හැකියි.

 

5. මහවැලි මහා සෑය

A trip to Kothmale

Source – Amila chathuranga

පෙර කී කඩදොර ආදී විහාරාරාම ගම්බිම් යටවීම හේතුවෙන් මහජනයාට වෙන විපතට යම් කිසි පිරවීමක් සිදුකිරීමේ උවමනාවෙන් කොත්මලේ මහවැලි මහා සෑය ඉදිකළ බව ඉතිහාසයේ දැක්වෙනවා. මෙම කොත්මලේ මහ සෑය රුවන්වැලි මහා සෑයට වඩා විශාල තනන්නට හැකි වුවත්  පැරණි රජ දරුවන්ට කෙරෙන ගෞරවයක් ලෙස සලකා මෙම කොත්මලා මහ සෑය රුවන්වැලි මහ සෑයට වඩා හිතමතාම ස්වල්ප උසක් අඩුවෙන් නිර්මාණය කොට තිබෙනවා.

කොන්ක්‍රීට් තාක්ෂණයෙන් මෙරට පමණක් නොව පිටරටද නාමය රැන්දූ මහා මැවිසිරු ඒ එන් එස් කුලසිංහ මහතා ගේ ඉංජිනේරුමය අදහසක් අනුව මෙම කොත්මලේ මහවැලි සෑය ඉදිවී තිබේ. එහි කළුතර චෛත්‍යයේ මෙන් ඇතුලත මහ විශාල කුහරයකි. ඒ කුහරය තුලට ඇතුළු වූ පසු සැලකිය යුතු වපසරියක මලුවක්ද සහිත ඇතුලත කුඩා චෛත්‍යයකි. 1980 ගණන්වලදී වැඩ ආරම්භ කලත් මේ සෑය වසර 30ක් තිස්සේ වැඩ ඇදි ඇදී ගොස් ඉතා මෑතකදී විවෘත කරන ලද්දකි. ඇතුල් ගර්භයේදී ඇතිවන දෝංකාරය මෙම සෑයටම විශේෂිත වූවකි. එනිසා බැතිමතුන් විශාල ශබ්ද නොනගා සිය පූජා කටයුතු කිරීමට වගබලාගත යුතුය.

මහා වාරිකර්මාන්ත දාගැබ් පිරි අනුරපුර ශිෂ්ඨාචාරය මෙන්ම මහ ගංගා හරස්කොට ජල විදුලිය නිපදවූ මහවැලි මහ සැය වැනි විශාල වෙහෙර කරමාන්ත තැනවූ නූතන ඉතිහාසයේ කොත්මලේ පලාතද මෑත කාලයේ අපේ රටේ දියුණුවේ එක් පැතිකඩක් පෙන්වන තැනකි.

 

6. දෙහදු කඩුල්ල

A trip to Kothmale

Source – Amila chathuranga

පුරාතනයේ තිබූ ගේට්ටුවක් හෝ කපොල්ලක් වැනි වූ මෙම දෙහදු කඩුල්ල දුටුගැමුණු රජතුමාගේ කාලය දක්වා දිවෙන ඉතිහාසයක් ඇති තැනක් බව සදහන වේ. දැනට පඩිපෙලක් සහ ශිලාමය ද්වාරයක් පමණක් ඉතිරිව ඇතත් පුරානයේ මෙය පලාත් දෙකක් වෙන් කළ එක් සන්ධිස්ථානයක් ලෙස ක්‍රියාත්මක වී ඇති බවටද මතයක් තිබේ.

 

7. කොත්මලේ තවත් බලන්නට ඇති තැන්

A trip to Kothmale

Source – amazinglanka.com

මොණර ගල ද කොත්මලේ ඇති තවත් විශේෂිත කඳු තරණයකි. එයට ගොස් අනෙක් පස ඇති නුවරඑළිය ප්‍රධාන මාර්ගයට පිවිසීමේ අවස්ථාවක්ද තිබේ. පුරාණ රජදවසට අයත් විහාරස්ථාන අම්බලම් ආදියද කොත්මලේ පලාතේ වේ. කොළඹ සිට පිවිස දිනකින් නරඹා විනෝද වී පැමිණිය හැකි කොත්මලේ අසිරිය අපේ ඇස් ගැටිය යුතුම තැනක් ලෙස දැක්විය හැකිය.

 
Cover Image Source – amila chathuranga
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *