ඇත්තටම ඔබව බය කරන චිත්‍රපට

Best horror movies yet on screen

අද්භූත චිත්‍රපට එහෙමත් නැත්නම් Horror Films කියන්නේ බැලුවම බය හිතෙන සිනමාපටනේ. ඒත් ගොඩක් අද්භූත චිත්‍රපට කියලා හඳුන්වන සිනමා පට වලට බය හිතෙන්නෑ කියන එක ගොඩක් නරඹන්නන්ගෙන් එන මැසිවිල්ලක්. ඉතින් ඒ මැසිවිල්ලට උත්තරයක් අරගෙන තමයි අපි මේ ලිපිය ලියන්නේ. පහතින් තියෙන්නේ මෑත කාලීනව එළිදක්වපු බැලුවම ඇත්තටම බය හිතුන බවට ගොඩක් අය කියපු චිත්‍රපට පෙළක්.

 

1. Let Me In

 

2010 අවුරුද්දේ නිකුත් වුණ මේ සිනමා පටය කථාංගමය සහ අද්භුතජනක සිද්ධියක් ආශ්‍රයෙන් නිපැයුණු සිනෙමා පටයක්. හුදෙකලා වුණ 12 හැවිරිදි ඕවන් නම් පිරිමි ළමයෙක් ඉන්නවා. රාත්‍රියට ඔහු කරන්නේ ඔහුගේ නවාතැනේ සිට අනෙක් නිවෙස් දෙස බලාගෙන ඉන්න එක. එක්තරා දවසක ඔහුට මිතුරියක් මුණ ගැහෙනවා. ඇගේ නම ඇබී. ඇබී තරමක් ගුප්ත චරිතයක්. ඇය ඕවන්ට දකින්න ලැබෙන්නේ රැයට පමණයි. ඕවන් කාලයක් යද්දී තීරණය කරනවා ඇබී සතුව ඉතා විශාල රහසක් ඇති නිසා ඇය ගුප්ත ලෙස හැසිරෙන බව. ඇබී කියන්නේ කවුද..? ඇයගේ රහස මොකක්ද..? මේ ප්‍රශ්න වලට පිළිතුරු ඕනෑනම් ඔබට Let Me In බලන්නම වෙනවා. මෙම සිනමා පටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ මැට් රීවුස් විසිනුයි. ක්ලෝ ග්‍රේට් මොරෙස්, කොඩි ස්මිත් සහ රිචර්ඩ් ඩෙන්කින්ස් වැනි නළු නිලියන් මෙහි රංගනයෙන් දායක වනවා.

 

2. The Woman in Black

 

සිය බිරිඳගේ වියෝවෙන් පසු නීතිඥයෙක් වුණු ආතර් කිප්ස් හට රාජකාරි කටයුත්තකට පිටිසරබද ගමකට යාමට සිදුවනවා. ගමේ සියලු දෙනා සඟවන යමක් ඇති බව සුළු මොහොතකින්ම ඔහුට වැටහෙනවා. ගමේ ළමයින් ශාපයකට ගොදුරු වූවාක් මෙන් එකිනෙකා මියයන අතරේ ඔහු ඔහුගේ රාජකාරිමය කටයුත්ත සඳහා ගමේ එක් අන්තයක පිහිටි පාලු මන්දිරයක් වෙත යනවා. කතාව මෙතැන් සිට නැරඹීම ඔබට භාරකරන්නම්. සිනමා පටයේ සංගීතය, ආලෝකය ආදී සියල්ල බිය රසය අප සිත තුල ජනිත කිරීම සඳහා මනාව හසුරුවා තිබෙන බව කිව යුතුමයි. අපි කවුරුත් ආදරය කරන හැරී පොටර් චරිතයට පණ පෙවූ ඩැනියෙල් රැඩ්ක්ලිෆ් මෙහි ප්‍රධාන චරිතයට පණ පොවනවා. අධ්‍යක්ෂණය ජේම්ස් වැට්කින්ස් ගෙන්.

 

3. It Follows

 

තමන්ගේ පෙම්වතා සමග පළමු වරට යහන්ගත වන ජේ හට නොසිතු විරූ අත්දැකීම් කිහිපයකට ඉන් අනතුරුව මුහුණ දීමට සිදුවනවා. ලිංගිකව එක් වීමෙන් පැතිරෙන මරණිය ශාපයකට ඇය හසුවීම තමයි මේ සියල්ලටම හේතුව වෙන්නේ. මේ කතාව ජේ ගේ මිතුරියන් විශ්වාස කරන්නේ නෑ. නමුත් සිදුවන සිදුවීම් සමග ඔවුන්ටත් එය විශ්වාස කරන තැනකට එන්න සිදු වනවා. වෙනස්ම ගණයේ ගුප්ත කතාවක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. මයිකා මොන්රෝ, කීර් ගිල්ක්‍රිස්ට් වැනි නළු නිලියන් රංගනයෙන් දායක වන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ ඩේවිඩ් රොබට් මිචෙල් විසිනුයි. ඒ 2014 වසරේදී.

 

4. The Conjuring 2

 

අද්භූත සිදුවීම් ගැන පරීක්ෂණ පවත්වන්නන් දෙදෙනෙක් උතුරු ලන්ඩනයේ වෙසෙන එවැනි අද්භූත සිදුවීම් හා සම්බන්ධයයි කියන පවුලකට අයත් අය පිලිබඳ පරීක්ෂණයක් කිරීමට එහි යනවා. පවුලේ ඉන්නේ අම්මා කෙනෙක් සහ දරුවන් සිවු දෙනෙක්. ඔවුන් කියනවා ඒ නිවස තුල යක්ෂයන් සිටින බව. ඇත්තටම එවැනි සිදුවීම් වන බව මේ යුවල නිරීක්ෂණය කරනවා. ඔවුන් ඒ සියල්ල කැමරා කාච වල සහ හඬ පටිගත කරන යන්ත්‍ර වල පටිගත කරගන්නවා. ඉදිරියට සිදුවන දේ නැරඹීම ඔබට බාරයි. මේ චිත්‍රපටය අතිශය බියජනය චිත්‍රපටයක් ලෙසයි හැඳින්වෙන්නේ. ඒ වගේමයි විශේෂත්වය තමයි මෙය සත්‍ය සිදුවීමක් පාදක කොට නිපදවුණු සිනමා පටයක් වීම. මෙය අධ්‍යක්ෂණය කලේ ජේම්ස් වෑන් විසිනුයි.

 

5. Insidious: Chapter 3

 

මියගිය අම්මා සමග කතා කරන්නට අවශ්‍ය බව කියමින් තරුණියක් අත්භූත දේවල් හා සම්බන්ධ ක්‍රියාවන් සිදු කරන බව කියන කාන්තාවක් හමුවීමට යනවා. මුලින් එවැනි ක්‍රියාවන් දැන් සිදු නොකරන බව කියන ඒ තැනැත්තිය පසුව ඉතා කුඩා කාලයකට පමණක් එයට එකඟ වනවා. බලාපොරොත්තු ප්‍රථිපල නොලැබුනත් අවසානයේ වෙනත් මියගිය පුද්ගලයන්ගේ බලපෑම් මේ යුවතියට එල්ල වන්නට පටන් ගන්නේ ඉන් අනතුරුවයි. අවසානයේ මෙය විශාල කරදරයක් බවට පත්වන අතරේ විවිධ පුද්ගලයන් මේවා වැලක්වීමට හැකි බව කියමින් ඔවුන්ගේ නිවසට පැමිණෙනවා. අවසානයේ සිදු වන දේ ඔබම බලන ලෙසට ආරාධනා කරනවා. ඉන්සිඩියස් කතා මාලාවේ තුන් වැනි කොටස ලෙස 2015 නිකුත් වූ මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ ලී වැනෙල් විසිනුයි.

 

6. Veronica

 

ඇස් පියාගෙන භූතයෝ කාසි වලට ගෙන්නන්න කියල අපි කුඩා කාලයේදී කරන සෙල්ලම ඔබට මතකද..? අන්න ඒ සෙල්ලම මේ චිත්‍රපටයේ ගැහැණු ළමුන් කිහිපදෙනෙක් විසින් සිදු කරනවා. නමුත් ඊට පසුව මේ ගැහැණු ළමුන් අතර සිටින එක් දැරියකට අත්භූත සිදුවීම් රැසකට මුහුණ දෙන්නට සිදුවනවා. යම් අධිමානසික තත්වයක් විසින් මෙය සිදු කරන බවයි ඇය විශ්වාස කරන්නේ. කොහොම නමුත් මෙයත් සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙන් නිර්මාණය කරනු ලැබූ චිත්‍රපටයක්. NETFLIX සිනමා බෙදාහැරීමේ ආයතනය මෙය හඳුන්වන්නේ ලෝකයේ භයානකම සිනමා පටය ලෙසයි. මෙය ස්පාඤ්ඤ චිත්‍රපටයක් වීම තවත් විශේෂත්වයක්. මෙහි අධ්‍යක්ෂණය පාකෝ ප්ලාසා විසිනුයි.

 

7. The Autopsy of Jane Doe

 

2016 අවුරුද්දෙ ආපු නියමම හොල්මන් චිත්‍රපටයක් මේක. මරණ පරීක්ෂකයින් දෙන්නෙක් වන පියෙක් සහ පුතෙක්ට පැවරෙනවා එක්තරා කාන්තා මළසිරුරක මරණ පරීක්ෂණය සිදු කරන්න. මේ කාන්තාව මියගිය ආකාරය එළිදරවු කරගන්න මේ දෙන්නා උත්සාහ කළත්, මේ පරීක්ෂණය එන්න එන්නම පඹ ගාලක පැටලෙන්න පටන් ගන්නවා. ඒ අතරම ඉතාම අද්භූත සිද්ධි රැසකුත් ඔවුන් වටා ක්‍රියාත්මක වෙන බව ඔවුනට දැනෙනවා. කවුද මේ අද්භූත කාන්තාව? මොකක්ද ඇගේ සිරුර සඟවාගෙන සිටින මරණයේ අභිරහස? මේ දේවල් දැනගන්නට නම් භීතියෙන් පිරුණු මේ චිත්‍රපටය ඔබට නරඹන්නටම වෙනවා.

අනිත් අයටත් බලාගන්න SHARE කරන්න අමතක කරන්න එපා.

 
Cover Image Source – horrorfreaknews.com/ mubi.com/ brockpress.com/ youtube.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *