බස් දුම්රිය වල තෙරපෙන විට අතවරයට ලක් වෙන අහිංසක පිරිමි

Bus harassments towards males

අපේ දේශපාලක උතුමන්ලා විසින් අප වෙත සෑම කලකදීම ඉතාම වෙහෙස මහන්සි වී වඩාත් ඉහල ප්‍රවාහන සේවාවක් දායාද කර දී ඇති නිසා පාසැල් ඇරෙන වේලාවට ඔෆිස් යන එන වේලාවට බස්රියක දුම්රියක බොහෝම ත්‍රාසජනක අත්දැකිමක් වෙලා . තවත් අයකුට කරදරයක් නොවී ඇගේ නොගැවී යන්න අපි ආස වුනත් තෙරපන තෙරපිල්ලට අපේ පිට අවයවයන් පමණක් නොවෙයි වෙලාවකට අභ්‍යන්තර ඉන්ද්‍රියත් එහා මෙහා වෙලා ආයෙත් හැදෙනවා කියාල දැනෙන වෙලාවල් තිබෙනවා.

බස් රිය වල යද්දි පිරිමින්ගෙන් කාන්තාවන්ට වෙන හිරිහැර ගැනත් ඒවායේ දී කාන්තාවන්ට වෙන අතවර ගැනත් අතවර කිරීමට පෙළඹෙන අය පවා මනා ලෙස දැනුවත්ව සිටිනවා. ඒත් කාන්තාවන් නිසා පුරුෂ පාර්ශවයට වෙන අතවර. පිරිමියාට සාපේක්ෂව කාන්තාව, අහිංසක, සියුමැලි, සුදුමෘදු බාවයෙන් වැඩි නිසාදොහෝ මේ කාන්තාවන් නිසා තෙරපෙන බස් වල යන පිරිමින්ට වෙන හිරිහැර ගැන කතාවෙනවා අඩුයි. අපි දැන් ඒ කීපයක් ගැන බලමු.

 

1. කේශ කල්‍යාණය මුහුණට ආවරණය සැපයීම

Bus harassments towards males

Source – pintarest.com / queenbeeing.com

පාන්දරම නාලා වැඩට යන කාන්තාවන් වගේම සති ගාණකින් ඔලුවට වතුර පොදක් දාපු නැති මාරම බිසී කාන්තාවනුත් අපිට බස්රියවලදී හමු වෙනවා. විවිධාකාර කොන්ඩා මෝස්තර දමාගෙන බස්රියට නැගී සිරවන ඔවුන්ගේ කොණ්ඩ මුහුණේ වැදීම නම් පිළිකුලක්. දිනපතා නාන පිරිසිදු කොණ්ඩා වලින් නම් ෂැම්පු සුවදක් වහනය වෙනවා. ඇතැම් සිංහල බේත් ගැල්වූ පැරණි පීනස් ඔළු නම් මූනට වදිද්දී තනිකර ආයුර්වේද ෆීලින් එකකින් මුසපත් වෙලා සිහි මූර්ජා තත්වයටම පිරිමින් පත්වෙන අවස්ථාද තිබෙනවා. කොණ්ඩයට හුලං අසුවී කොණ්ඩය අනෙකාගේ මූණේ වැදීමේදී කිසි ගානක් නැතිව සිටින යුවතියන්ද සිටිනවා. එහෙත් හොඳට  හැදුනු කාන්තාවක් නම් තමුන්ගේ කොන්ඩය අනුන්ට අවම කරදරයක් නොවන පරිදි බස් රිය ගමනේදී තබාගන්නට වගබලාගන්නවා.

 

2. ස්ථිති විද්‍යුතයෙන් පිළිසිඳගැනීම් සිදුවීම

Bus harassments towards males

Source – wikia.com

සත්‍ය වශයෙන්ම අපේ සමාජයේ ලිංගිකත්වයට තිබෙන සීමාවන් නිසා දෝ හෝ බස්රිය ගමනකදී හෝ ගැහැණියකට මදක් හේත්තුවී යෑම දකින්නට තිබෙනවා. ඒ නිසාම ඇතැම්විට කාන්තාවන් බස්රියේ නැගුන වහාම ආසන සොයද්දී පිරිමින් සොයන්නේ කාන්තාවක් වාඩිවුන ආසනයක ඊළග ආසනයයි. අධික ලෙස තෙරපෙන බස් රිය වලට නැගෙන ඇතැම් කාන්තාවන් මඳක් අත පය වැදීමක් වුවත් හැරී බලා රවා බලා ඇතැම්විට දෝෂාරෝපණය කරන්නට පවා පෙළඹෙනවා. කාන්තාවන්ගේ ඇගේ පිරිමින් හැපි ඇතිවන  වලි බස් රිය මාතරින් පටන් ගත්තොත් කඩින් කඩ මඳ ගිගුරුම් සහිතව විටින් විට වහිනවා වගේ කොළඹට එනකල්ම තියෙන වෙලාවල් තිබෙනවා. කොහොම වුනත් මඳක් අත වැදුන සැණින් තදින් කලබල වී රවමින් ගොරවමින් කුපිත වන කාන්තාවන් ස්ථිති විද්‍යුතයෙන් පිළිසිඳගැනීම් සිදුවේ දැයි බියෙන් පසුවන පිරිසක් ලෙසද සැලකිය හැකියි.

 

3. මාල ගිරවියේ මාල ගිරවියේ

Bus harassments towards males

Source – youtube.com

මට ඔබත් එක්ක අපේ ගමට පියාඹන්න ආසයි කියලා කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාට හිතුණාට බස් රියේ යද්දි නම් කන ගාවම සෙට් වෙන මාලගිරවියන් නම් පිරිමි කනට ටික වේලාවක් යද්දී ටකරමකට ගල් ගහනවාක් වැනි සොදුරු අත්දැකිමක් ලබා දෙනවා. කාන්තාවන් දෙදෙනකුට වැඩි ගණනක් එකතු වූ තැන සෙමෙන් පටන්ගන්නා මේ කියවිම දුම්රිය තදය, සෙනග බොහෝය, අනික් අයට ද කන් තිබේය ආදි කිසිදු දෙයක් ගැන සැලකිමක් නැතිව දිගටම කරගෙන යෑමට කාන්තාවෝ සමත් වෙති.

 

4. මල්ල අරං පොලේ යන නැන්දාවරු

Bus harassments towards males

Source – youtube.com

කාන්තා බෑගයට ඉස්සර නයි මල්ල ලෙසින් හැදින්වූයේ එහි එවන් ස්වරූපයක් තිබූ නිසා. ඒත් දැන් දැන් ගෑනු ලමෝ එල්ලාගෙන යන විශාල මලු වල කුඩා නයි පෙට්ටියක් පමණක් නොව අවශ්‍ය නම් පිඹුරෙකු වුවද බස්සාගෙන යා හැකි තරම් විශාල තර ඒවා වෙනවා. නිවිහැනහිල්ලේ බැලුවොත් ඒ මල්ල ඇතුලේ ඒ තරම් විසාල අවකාශයක මොනවා දාගෙන යනවාදැයි සැකයක් මතු වුනත් තද වෙච්ච බස් එකකට මේ වගේ විශාල මලු එක්ක ගෑණු ළමෝ සෙට් එකක් නගිනවා කියන්නේ බෑග් අතේ පයේ කටේ කනේ වද්දාගන්නට ඒ රියේ පිරිමින්ට ලැබෙන මහගු අවස්ථාවක්.

 

5. ෆෝන් එක අතේ, නංගි යයි කරේ

Bus harassments towards males

Source – wikipedia.org

ෆෝන් එක අරගෙන මෙලෝ සිහියක් නැතුව මැසේජ් කරන ගේම් ගහන කාන්තා රත්න අද වනවිට බස් දුම්රිය වල බොහොම සුලබ දසුනක්. විටෙක මේ අය ඒ තුලම දැහැන්ගතවී සමවැදී සිටින නිසා අවට සිදුවන බොහෝ දේ ගැන ඔවුන්ට වැඩි අවධානයක් නැහැ. ඔවුන් මේ ෆෝන් එක සමග යාන්තම් එක් අතකින් අල්ලාගෙන හෝ නොගෙන කරන විකාරය නිසා ඒ අවට සිටින පිරිමි අය වගේම අනික් අයත් අපහසුතාවයට පත් වෙන අවස්ථා ද තිබෙනවා.

පොදු ප්‍රවාහන මාධ්‍යයක ගමන් පහසුව සලසාගන්නේ නම් කාන්තාවන්ගේ හිරිහැර වලට වරක් වත් ලක්වි නොමැති පුරුෂයෙකු සොයැගැනීම නොමල ගේකින් අබ සොයාගැනීමටත් වඩා අපහසුයි. ඒ ගැන ඔයාලටත් කියන්න දේවල් තියේනම් කමෙන්ට් එකක් විදියට අපිට කියලාම යන්න අමතක කරන්න එපා.

 
Cover Image Source – pintarest.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *