සමාජ ජාලා වලින් සමාජයට ලැබුණු හොඳ දේවල් මෙන්න

Lankan use of social media and racism

පසුගිය දිනවල ඇතිවූ කලබලකාරී වාතාවරණයත් සමගම සෝශල් මීඩියා වලට එරෙහි ජනමතයක් සමාජයේ ඇතිවෙමින් පවතී. 1983,1989,1971 ආදී අඳුරු අතීතයක් ඇති අප රටේ ඒ පැරණි ගැටුම්කාරී වාතාවරණයන්ට සෝශල් මීඩියා භාවිතයක් තිබුණේ නැත. එකල විවිධ එකල පැවති සන්නිවේදන මාර්ග ඔස්සේ ඒ දැඩි මතදාරීහු සිය සිහින ලෝකය අවි බලයෙන් තනාගන්නට ගියෝය. එහි වූ ප්‍රතිවිපාක අදද විදින අප මෙතරම් තොරතුරු සුලභ කාලයකදී වුව අන්තගාමී මත වලට එකඟව ඒවා අතින් පයින් අවියෙන් ප්‍රචණ්ඩත්වයෙන් විසඳාගන්නට යෑම ඛේදනීය තත්ත්වයකි.

 

1. දේශපාලනික සන්නිවේදන අවස්ථා පැතිරීම

Lankan use of social media and racism

Source – facebook.com / twitter.com

මීට වසර 20කට ප්‍රථම ලංකාවේ තිබුණේ එකම ජාතික ගුවන්විදුලියක් රූපවාහිනියක් පමණි. පුවත්පත් ද රජයට පාලනය කළ හැකි මට්ටමක තිබුණි. එහෙත් අද වනවිට සමාජ සන්නිවේදනය කරළියට පැමිණ තිබේ. ඒ ඔස්සේ 2015 දී කෙතරම් ප්‍රබල මට්ටමක සිටියත් එවකට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව ෆේස්බුක් ආදී සමාජ ජාල ඔස්සේ ප්‍රබල ජනමතයක් සමාජගත විය. දේශපාලකයින් දකින්නට කැමති දේට පරිබාහිර විවිධ කෝණ ඔස්සේ සමාජය දැකීමට කැමති විද්වතුන්ට ද අද ෆේස්බුක් සමාජ ජාලය මනා වේදිකාවක් තනා තිබේ. පසුගිය දිනක පාර්ලිමේන්තුවේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවා ෆේස්බුක් හි පලවූ වීඩියෝ සහ අදහස් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනු දකින්නට ලැබුණි. මේ අප සමාජය පාලනය වන්නේ අප විසින් තෝරාපත්කරගත් මහජන නියෝජිතයින් මගිනි. ඔවුන්ට සැබැ උවමනාවක් තිබේනම් සිය කාර්යයන් කෙරෙහි රජය කෙරෙහි මහජන ප්‍රසාදය කෙතෙක්ද? රජයේ අඩුපාඩු කුමක්ද යන්න වටහා ගැනීමට සෝශල් මීඩියා හරහා සාර්ථක කවුළුවක් විවර කරගත හැකිය.

 

2. පරිසරය රැකීමට පෙලගැසීම

Lankan use of social media and racism

Source – facebook.com/ twitter.com / voiceofceylon.com

ශ්‍රීපාද මායිමේ හෝටලයක් තැනීම, විල්පත්තු වන විනාශය, සිංහරාජය හරහා පාරක් තැනීම, වෙරළ පරිසර අපවිත්‍ර කිරීම ආදී පාරිසරිකව සංවේදී වූ මාතෘකා රැසක් සමාජ ජාලා ඔස්සේ පසුගිය කාලයේ කතාබහට ලක් වුණි. ඒ හරහා විල්පත්තු වැනි ඇතැම් කාරණාවෝ කෙරෙහි රජයට නිශ්ශබ්දව සිටීමට නොහැකි තත්වයක් උදාවිය. මහා කාරණා මෙන්ම පරිසරය යම් තැනෙක විනාශ වෙන අවස්ථාවක් වෙත්නම් ඒ ගැන පිංතුර විඩියෝ ඔස්සේ සිය අවට ඇති තොරතුරු වාර්තා කිරීමටද සමාජ ජාලා නිසා ජනයාට අවකාශ ලැබුණි. උමාඔය ව්‍යාපාරයේ මහා කාන්දුවක් සිදුව ජනයා අසරණ වනවිට ඇතැම්විට මහා ධාරාවේ මාධ්‍යටත් කලින් සමාජ ජාලා හරහා ඒ තොරතුරු ජනයාට සමීප විය.

 

3. ඒ ඒ කාර්යයන් හි තොරතුරු හුවමාරු වීම

Lankan use of social media and racism

Source – facebook.com

ෆේස්බුක් හි ලක්ෂයකට අධික සාමාජික සංඛ්‍යාවකින් යුතු පොත් කියවන අය නැමැති ගෲපයකි. ඒ තුල සිංහල පොත පත ගැන හරවත් සමාජ කතිකාවත් ඇති වේ. ඇතැම් තැනෙක පොත ලියූ අයම ඒ අය ගේ අත්දැකීම් සිය පාඨකයින් සමග බෙදා හදා ගනී. මෑත කාලීනව කූඹියෝ නාට්‍යය හරහා ගොඩනැගුණු “කූඹි ගුල” හුදෙක් නාට්‍යය රසවින්දනයෙන් ඔබ්බට ගොස් ඒ හරහා විවිධ කෝණ ඔස්සේ නාට්‍යය විචාර ලබාදෙන්නට සමත් විය. සමාජ ජාලාවට සම්බන්ධ ප්‍රේක්ශකයින් අතර එය කෙතරම් එය රස වැටුනේද යත් කූඹියෝ බලා හමාරව වහා ගොස් කූඹි ගුල බැලීමට පිරිස් පෙළඹුනි. සුරතල් සතුන් ඇතිකරන්නන්ගේ සංගමය තුලින් සුරතල් සතුන් ගැන මනා දැනුමක් සාමාජිකයින්ට ලබා දේ. තමුන්ගේ සුරතල් සතාගේ ඇති විස්තර වරුණා අනෙක් සමාජයට ලබාදීමටද එතැන කදිම තැනකි.

Lankan use of social media and racism

Source – facebook.com

ගොවිතැන් කටයුතු ගෙවතු වගා ගැනද ගෲප් රැසකි. ඒ හරහාද අලුත් අලුත් ගොවිතැන් ක්‍රම අත්හදා බැලූ තැන්, ආදිය දැකබලා ගත හැකිය. දුම්රිය මගීන්ගේ ද මහා ගෲපියක් තිබේ. ඒ තුල ” අද බංගේ ප්‍රමාදයි.. සාගරිකා තාම වැල්ලවත්තේ ” ආදී ලෙසින් දුම්රිය ගැන එසැණ දැනුම්දීම් මෙන්ම දුම්රිය ලෝකයේ ඇති එන්ජින් සහ කාර්මික දේ සම්බන්ධව ද වාද විවාද ආදිය ඇති වේ. මෙවැනි වූ විවිධ ආකාරයේ තොරතුරු කව හරහා ඒ ඒ දේට ලැදි අයට තමුන්ගේ වැඩ අනික් අයට පෙන්වීමටත් අනික් අයගේ ප්‍රායෝගික දැනුම අදහස් ලබාගැනීමටත් පහසුවෙන්ම අවකාශ ලැබේ. එවැනි අත්දැකීම් ඔස්සේ ලබාගන්නා ඇතැම් දැනුම සහ අදහස් විටෙක පොත්පත් වලින්ද ලබාගත නොහැකි තරම් වටිනා ඒවා වේ.

 

4. චාරිකා සංචාරක අවස්ථා

Lankan use of social media and racism

Source – stepsineuphoria.com

විදේශිකයින් ලංකාවේ අසිරිය පෙන්වන සංචාරක වීඩියෝ බැලූ කල ඇතැම්විට මේ ලංකාවදැයි සිතෙන තරමට ආකර්ෂණීය බවක් අපිට පෙනේ. අද කොතැනක ගියත් ඒ සෑම තැනම පහසුවෙන් සේයාරූ ගත හැකිය. මීට දශකයකට එපිට ලංකාවේ තිබූ සංචාරක ස්ථාන කඳු, මුහුදු වෙරළ. වැලිතලා, ගංගා, වැව්, වනාන්තර ආදී සියල්ලට වඩා ඉතා වැඩි අලුත් සංචාරක ස්ථාන ප්‍රමාණයක් සමාජ ජාලා විසින් අද ලංකාවට හඳුන්වා දි තිබේ. මීමුරේ වැනි ඇතැම් තැන් වල විනාශයට යම් දායකත්වයක් සමාජ ජාලා මතින් ලැබුන බව සැබෑවකි. එහෙත් ඇතැම් ස්ථාන ආරක්ෂාවීමට සමාජ ජාලා හරහා ලැබෙන්නේ මනා පිටුවහලකි. උදාහරණ ලෙස උපන්දා සිට ඈත ගම වැසියන්ට පෙනෙන තමුන්ගේ ගම මැදින් අදෙන දිය ඇල්ල ගැමියන්ට ලොකු දෙයක් නොවේ. එය අවහිර කර විදුලි බලාගාරයක් ඉදිකිරීම ගැමියන්ට විශාල දෙයක් නොවිය හැක. එහෙත් එම ස්ථානය යම් සංචාරක ස්ථානයක් වුවොත් ඒ ගැන සමාජය තුල කතාබහක් ඇති වේ.ඒ තැන් ආරක්ෂාකරගැනීම ගැන නව අදහස් මතුවේ.

අලුත් අලුත් සංචාරක අත්දැකීම් ඇතිකිරීමටත්, තිබෙන සංචාරක ස්ථානවල විනෝද අවස්ථා වැඩිකිරිමටත් සමාජ ජාලා ඉවහල් වී තිබේ. මෙය රට තුල සංචාරක කර්මාන්තයට මෙන්ම විදෙස් සංචාරකයින් රට වෙත ඇදගැනිමටද මහත් පිටුවහලකි.

 

5. පාලනය සහ සමාජ ජාලා සමග ජීවත් වීම

Lankan use of social media and racism

Source – thenational.ae

පසුගිය කාලයේ ඇති වූ ජාතිවාදී කල කෝලහාල එක රැයකින් බිහි වූ මතවාද මත ඇති වූ ඒවා නොවේ. දෙපාර්ශවයේම අන්තවාදී අදහස් මෙන්ම සාධාරණ වැදගත් අදහස්ද ඒ ජාතිවාදී සංවාද තුල ගැබ්වී තිබුනි. එහෙත් පාලකයෝ ඒවා නෑසු කන්ව සිටියේ ” ඔය පුහු ෆේස්බුක් වීරයො නෙ ” යන සමච්චල් ස්වභාවයෙන් ඒවා නොසලකා හරිමිනි. ෆේස්බුක් සහ සමාජ ජාලාහි පලවන අදහස් නොසලකා හැරිම් උඩුදුවා ගොස් ඒවා මහා විරසක බවට පත් විය. කිසිදු පාලනයක් අදහස් වලට නොමැති වූ හෙයින් ඇතැම් පිරිස් රිසිසේ සිය වෛරී අදහස් සමාජ ජාලා හරහා පතුරුවන්නට විය.

තවමත් දියුණු වෙමින් පවතින රටක් වන අප වැනි රටවල ජනයා අකුරු කියවීමට ලිවීමට දත්තේ වුවද ඇතැම් විට ආකල්පීය අතින් වර්ධනය වී නොමැත. ගැටුම්කාරී අවස්ථාවේදී සමාජ ජාලා වල රැදී සිටි බුද්ධිමතුන්ගේ හැසිරීම පවා ගැටුම් මැඩපැවැත්වීමට වඩා ඒවා යළි යළිත් අවුලුවන ද්වේශ සහගත යෙදම් වලින් සමන්විත විය. මෙවැනි සමාජයකදී සියලු ද්වේශ අදහස් රිසි සේ ගලායෑම කිසිසේත්ම සුදුසු නොවේ. ඒවැනි දේ පාලනය කිරීමට ක්‍රමවේද තනාගත යුතුය. එසේම සමාජ ජාලාහි හුවමාරු වන අදහස් පාලකයෝද සලකා බැලිය යුතුය. හුදෙක් මැතිවරණ කාලයට කීයක් හෝ දී සිය පිංතුරය ෆේස්බුක් හි පලකරගන්නවාට අමතරව සිය සමාජ ජාලා ගිණුම් ඔස්සේ දිනකට පෑ බාගයක් තරම් වත් ජනයා සමග සන්නිවේදනය කිරීමට නූතන දේශපාලකයා සිතට ගත යුතුය.

තවදුරටත් සමාජ ජාලා යනු ජනයාගෙන් පිටත පවතින්නක් නොවේ. එය සමාජයේම කොටසකි. ඒ ගැන අවධානයෙන් කටයුතු කරන්නේ නැතිව සමාජ ජාලා වලට බැණ වැදීම ඒවා හිටි අඩියේම තහනම් කිරීම පැලැස්තරයක් මිස දීර්ඝකාලීනව ප්‍රශ්නවලට විසදුමක් නම් නොවේ. අනෙක් පසින් සමාජ ජාලා යනු නූතන තරුණ පරපුරේ සමාජය වේ. එහි ඇති හොඳ පැතිද තිබේ. අනාගතයේ දේශපාලනය තුල සමාජ ජාලය කෙරෙහි සැලකිලිමත් විය යුතුය. තවදුරටත් ෆේස්බුක් යනු ළමයින්ගේ සෙල්ලමක් නොවන බව පසුගියදා ඇතිවූ කලබලකාරී වාතාවරණය ඔස්සේ හෝ වැඩිහිටියන් තේරුම් ගත යුතුව තිබේ.

 
Cover Image Source – 123rf.com / pixels.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *