සියළු ජාතීන් ආගම් සමව සැලකිය යුතුයැයි දැක්වෙන සේයාරූ වල සිංහල, මුස්ලිම්, දෙමළ දරුවන් එකට ජාතික කොඩියක් රැගෙන සිටිනවා අපිට දකින්නට පුළුවන. එහෙත් සැබෑ ජීවිතයේදී එසේ දරුවන් එකිනෙකා හා මුසුවීම අපේ අධ්‍යාපන ක්‍රමය තුල තරමක් අඩුය. එසේම විවිධාකාර හේතුන් මත යාවත්කාලීන නොවූ අප රට අධ්‍යාපන ක්‍රමය තුල පුද්ගලයාගේ සංහිඳියාව සදමින් ආසන්න පුද්ගලයා කෙරහි සංවේදීව හැසිරෙන දියුණු ක්‍රමයක් නැත. ඇත්තේ විභාග තුලින් කෙසේ හෝ තමුන් ගොඩයන තරගකාරී අධ්‍යාපන රටාවකි. එවැනි වටපිටාවක් එකිනෙකා අතර තිබන විරසක තවත් වැඩිකරනවා විනා ඒවා සමනය කරන්නට රුකුල් ලබා දෙන්නේ නැත.
1. පාසල් බෙදීම
එකම නගරය සැලකූවද ලංකාවේ මුස්ලිම් පාසල්ය, දෙමල මාධ්‍ය පාසැල්ය, සිංහල මාධ පාසැල්ය ලෙස වර්ග කිහිපයක් තිබේ. ඇතැම් විට විවිධ ජාතින් උරෙනුර ගැටී වැඩකරන විශාල නගරවලද දෙමල මුස්ලිම් සිංහල ලෙස පාසල් වර්ග කිහිපයක් තිබේ. පංසල් කෝවිල් සහ පල්ලි ආශ්‍රිතව පැනනැගී පාසැල් ඉන් අනතුරුවද දිගටම ඒ ආභාෂය රැගෙන යෑම එවැනි බෙදිමක් ඇතිවන්නට හේතු විය හැකිය. එහෙත් එලෙස, මාධ්‍ය සහ ජාතින් ආගම් අනුව පාසැල් බෙදීම දරුවන් එකිනෙකා හා මුසුවිම අවම කරන්නකි.
විටෙක ජාතිවාදී අදහස් දරන්නන් විසින් මහත් කොට වෙනස් කම් ඉස්මතු කොට පෙන්වූවද අප සිටින්නේ එකම දේශයක් තුල එකම සංස්කෘතික වටපිටාවකට අනුගත වෙමිනි. ක්‍රිකට් තරගයකදි එදා සනත්, අද කුසල් ජනිත් ඉන්දියාවට, පාකිස්ථානයට හයේ ඒවා නෙලන විට සතුටු වන්නේ සිංහල මිනිහා පමණක් නොවේ. මුස්ලිම් දෙමළ ජනයාද මැලේ බර්ගර් ජනයාද මැච් එකකදි සිටින්නේ එකම කොඩියක් යටය. එපමණක් නොව යුද්ධ කාලයේ එල්.ටී.ටී.ඊ. ය පවා මැච් පවතින දිනවල සිය ප්‍රධාන මෙහෙයුම් වලට නොගිය බවට ප්‍රසිද්ධ මතයක් තිබේ. ආහාර, භාෂාව, මිනිසුන්ගේ සිතුම් පැතුම්, අපගේ ජීවන ඉලක්ක ආදි බොහෝ දේ ජාතින් සහ ආගම් අනුව වෙනසක් නැත. සරලවම කුඩා කුඩා ආගමික ඇදහීම් වෙනස්කම් තිබුණද අපි සියල්ලෝම එකම බෝට්ටුවේය.
එහෙත් අප පාසැල් පද්ධතිය මගින් අප එක බෝට්ටුවේ වුවත් එක් එක් ජාති ආගම් වලට බෙදා දරුවන් මෙහෙවන හෙයින් තමුන්ගේම වයසේ දෙමළ, මුස්ලිම් මිතුරන් සිංහල දරුවන්ට නැත. මුස්ලිම් අයටද සිය ආගමේ හරපද්ධතින් වඩාත් මූලික වන අධ්‍යාපන වටපිටාව තුල මුස්ලිම් දරුවනට සිංහල දරුවන් මුණගැසිමක් නැත. කලාතුරකින් එසේ මිශ්‍රව උගන්වන පාසැලක් තිබුනද ඒ වැනි අවස්ථා ලැබෙන්නේ සමස්ත ලාංකික රාජ්‍ය අධ්‍යාපනය විඳින සිසුන් අතරින් අතලොස්සකට පමණි.
2. අධ්‍යාපනය නවීකරණය නොවීම
- කුඩා අවකාශයකට දරුවන් 40-50ක් කොටුකොට දේශනා මූලික අධ්‍යාපනයක් පවත්වාගෙන යෑම .
- දරුවන්ට දැඩි දඩුවම් විනය නීති පනවා ඒ ඔස්සේ දරුවන් හික්මවීමට තැනීම.
- විභාග ආදිය තුලින් දරුවන්ගෙ දැනුම නිරත්නරයෙන් මැන බලා ඔවුන්ව අධ්‍යාපනයට යොමුකිරීම.
- පාසල වෙනමම උසස් වූ තැනක් ලෙස සලකා එයට ගෞරවණීය තත්වයක් ආරෝපණය කිරීම
වැනි ගතිලක්ෂණ සැලකූ කල අප තවමත් සිටින්නේ වික්ටෝරියානු අධ්‍යාපන ක්‍රමය තුල බව මැනවින් පෙනේ. වික්ටෝරියා සමයේ පාසල් නොඑන සිසුන්ට තැලීමට හෙඩ් මාස්ටර් සැරසී සිටියේය. එකල දරුවන්ට දැඩි දඬුවම් එංගලන්තයේ පවා පාසල් තුලින් ලැබුනි.
දියුණු රටවල විශේෂයෙන් ස්කැන්ඩිනේවියානු රටවල අලුත් අධ්‍යාපන ක්‍රම සිසුවා මූලික කොට ක්‍රියාත්මකවේ. එහිදී සිසුවා පාසැලට යන්නේ, නෑමට අකමැති බල්ලකු නාන්නට එක්කරං යනවා හා වැනිව බාහිර බලයකින් නොවේ. පාසල යනු සිසුවාට කෙලි මඬලකි. අධ්‍යාපනය යනු තවත් එක් ක්‍රියාකාරකමකි. විභාග ගැන විශාල අවධානයක් නොමැති ඒ රටවල දරුවාට පුළුල් සමාජ අවබෝධයක්ද පාසැලින් ලබා දේ. බාහිරින් කරන පහරදීම් බැණවැදීම් තරවටුකිරීම් වලින් තොරව දරුවන් හැදිය නොහැකි යැයි මහත් විශ්වාසයකින් සිටින අප රටවල ජනයා ඇතැම්විට ස්කැන්ඩිනේවියානු ස්විස්, ෆින්ලන්ත, ස්විඩන්, ඩෙන්මාර්ක වැනි රටවල පාසල් වලට ගියොත් ඒවායේ ඉගැන්වෙන සහ දරුවන් හික්මි ඇති ආකාරය දැක පුදුම වෙනු නිසැකය.
3. මිනිසුන් ගැන සංවේදී සිසුන් තැනීම
පොත පතෙහි ඇති විෂය කරුණු කඩපාඩම් කරගෙන ඒවා විභාග වලට ලියන මේ ලාංකික අධ්‍යාපන ක්‍රම තුලදී අවට සමාජය ගැන හැදෑරිමක් සිසුවාට නැත. දියුණු රටවල අධ්‍යාපනයේදී ආහාර ගැනීම, බස්රිය දුම්රිය වල චාරිකාවක් යෑම, දෙමාපියන්ට ඉවුම් පිහුම් වලට සහාය විම, ගෙවතු වැඩ ආදියේ නිරත වීම, ස්වභාවික පරිසරය විඳීම. පරිසර හිතකාමී ලෙස ජීවත් වීම අනෙකාට ගරු කිරීම ආදී දේ පාසල මගින් විෂය කරුණු ලෙස නොව ප්‍රායෝගිකවම සිසුනට හුරු කරනු ලැබේ. උදාහරණ ලෙස පොදු ප්‍රවාහනය භාවිතා කිරීම ස්විට්සර්ලන්තයේ දරුවන්ට කුඩා කලදී පාසල මගින්ම කියාදෙන්නේ දරුවන් රැගෙන පොදු ප්‍රවාහන මාධ්‍යයක කුඩා චාරිකාවල නිරත වීමෙනි. එතැනින් දරුවන්ට ඒ පොදු ප්‍රවාහනයත් එහි සිදුවෙන දේත් එහිදී හැසිරිය යුතු අයුරු ගැනත්, මනාව වැටහීමක් ලැබේ. පරිසරය අධ්‍යයනය යනු ඒ රටවල තවත් එක පාඩමක් නොවේ. විඩියෝ මාධ්‍යයෙන් හෝ නැතිනම් පරිසරයට ගොස් අවට ඇති දේ මගින් ඉගනීමට පහසුකම් ඒ රටවල දරුවාට ලැබේ.
යම් ආගමික වාක්‍ය හෝ ආදර්ශ ආදිය කටපාඩම් කිරිමෙන් දරුවන් යහමගට ගැනීම අද කාලයේ සැලකෙන්නේ පැරණි යුගයට අයත් දෙයක් ලෙසය. දරුවන්ට කුඩා කල සිටම ප්‍රායෝගික යෙදිම් ඔස්සේම නීතිගරුකව, අනෙකාට ගරු කරමින්, සාධාරණ පුරවැසියෙක් පරිදි හැසිරෙන්නට උවමනා වටපිටාව පාසැල වෙතින් සකස් කිරීම කළ යුතුව ඇත.
ඒ ආකාරයට සමාජය ගැන, අවට පරිසරය ගැන සංවේදී ව ඉගෙනගන්නා දරුවන් පසුකලෙක සුළු මුදල් වාසි වෙනුවෙන් අපරාධ වලට යොමු වන්නේ නැත. අනෙකාව පහත් කොට සැලකීම නුහුරු එම සමාජයේ පුද්ගලයෙක් යනු කවර තරාතිරමක වුවත් සමාන තත්වයෙන් සැලකෙන අයෙකි. එවැනි අධ්‍යාපන ක්‍රමයක ප්‍රතිඵල එම දියුණු රටවල් දැනුදු භුක්ති විඳී. ලොව අඩුම අපරාධ වාර්තා වෙන රටවල් ගෙන බැලුවහොත් ඔවුනගේ අධ්‍යාපනය තුලින් සෘජුවම දරුවන්ගේ ආකල්ප වල වර්ධනයක් වී ඇති බැව් පැහැදිලිවම දැකගන්නට හැකියාව ලැබේ.
4. අතීතයෙන් ඉගෙන ගැනීම
1983, 1989, 1971 ආදී අපකීර්තිමත් ඉතිහාසගත වර්ෂ අපි නිදහසින් පසු භුක්ති වින්දෙමු. අද නූතන සමාජ ජාලා හරහා සිදුවන වෛරී ජාතිවාදී වැපිරීම් ඔස්සේ පෙනී යන්නේ අප තවමත් එම තත්වයෙන් ඈත් වී නොමැති බවකි. අප තවමත් ගැටළු විසඳා ගැනීමට සාකච්ඡා මාර්ගයට වඩා අත පය පමණක් නොව අවිආයුධ සහිත ප්‍රචණ්ඩත්වය යොදාගැනිමට සමාජයක් ලෙස සුළු කොටසක් හෝ සැදී පැහැදී සිටී. දඬුවම් දී පාලනය කළ හැකි වන්නේ එක්තරා සුලු පිරිසක් පමණි. දඬුවමින් සුළු පිරිසක් හික්මවීමට වඩා පුළුල් විශාල සමාජ පරිවර්තනයක් අපිට අවශ්‍යය. අපේ බලුපොරයක් වන් එකිනෙකා හඹායන, සමාජ හරපද්ධතින් තඹේකට මායිම් නොකරන අධ්‍යාපන ක්‍රමය වෙනුවට වෙනත් උසස් මට්ටමේ අධ්‍යාපන ක්‍රමයක් රටට අවශ්‍යය. සාගරයේ රැලි පරිද ඇති වී නැතිවි යන ප් ප්‍රචණ්ඩ ක්‍රියා, රැලි අවසානයේ ඒවා කාලයේ වැලි තලාවෙන් වැසී යැම අප දූපතේ සෑම කාලයකදීම සිදු වූ දෙයකි.
කැරළි කෝලහාල කාලයත් සමග වියැකි ගියත් ඒවා නැවත ඇති නොවීමට සමාජ ප්‍රතිසංස්කරණ කිරීම වඩාත් දියුණු සමාජයක වගකීමක් වේ. ඒ තුල අධ්‍යාපනය යනු අනාගත පරපුරේ ආකල්ප වඩාත් ඉදිරිගාමී කිරීමට යොදාගත හැකි මාහැගි මෙවලමකි.
Cover Image Source – projects-abroad.org / thesundayleader.lk
Leave a Reply