වැඩක් කරන්න ගියාම හිත රට සේරම දුවනවා නම් ඒකෙන් වැඩ කල් ගිහින් අපි අමාරුවෙ වැටෙනවා. අඩු තරමේ හොඳ නින්දක් දාන්නවත් හිත එක තැනක නොතිබුණොත් අමාරුයි. අපි වැඩක් කරන්න කියලා පටන් ගන්නවා. ඊට පස්සේ ඒකේ පොඩි වචනයක් ගැන වැඩිපුර හොයන්න හිතිලා ෆෝන් එක අතට ගන්නවා. අපි හිතමු විකිපීඩියා ආටිකල් එකක් කියවන්න ගත්තා කියලා. ඔන්න විනාඩි දහයකින් විතර අපි ආයෙ බලද්දි අපි යූටියුබ් එකෙන් බලාගෙන තුන්වන ලෝක යුද්ධය ප්ලෑන් කරලා, ඒක ෆේස්බුක් එකේ දාලා, ඊබේ එකෙන් ආයුධ ටිකත් ඕඩර් කරලා ඉවරයි. මෙහෙම ගියාම අන්තිමට කරන්න ගිය වැඩේ අපිට මතකත් නෑ, වෙලාවත් ගිහින් ඉවරයි. පාඩම් කරන අයට නම් විශේෂයෙන් මේ උපදෙස් වැදගත් වේවි.
1. වැඩ බදාගන්න එපා
වැඩ ටික හිර වුණාම ඒකත් කරන්න ඕන, මේකත් කරන්න ඕන කියලා හිතට හැම තිස්සෙම වධ දෙනවා. ඉතින් එක වැඩක් කරන්න ගියාම අනිත් එකේ අමාරු තැන් ගැන හිතට එනවා. ඒකෙන් වෙන්නේ කරන වැඩේත් හරියට කරගන්න බැරුව මුළු දවසෙම කල්පනා කර කර ඉන්න එක විතරයි. හැබැයි ඒ වෙනුවට අපිට කරන්න තියෙන වැඩ ටික හදිස්සියේ පිළිවෙලට (deadline එක අනුව) හෝ ලේසි ඒවා මුලට සහ අමාරු ඒවා අවසානයට එන විධියට පොඩි ලිස්ට් එකක් හදාගෙන, එකින් එක ඉවර කරලා ඒවා කපලා දාන්න පුරුදු වුණොත් කාලයත් කළමනාකරණය කරගෙන වැඩ ටිකත් ටිකින් ටික ඉවර කරගන්න හැකි වෙනවා.
2. ෆෝන් එක පැත්තකින් තියමු?
අද කාලේ හිත දුවන ප්‍රධාන දේ තමයි ෆෝන් එක කියන්නේ. ෆෝන් එකට notification එකක් ආපු ගමන් අපි අතට ගන්නවා. ඊට පස්සේ ටිකක් ඉඳිද්දි ඇයි notification එකක් ආවේ නැත්තේ කියලා බලන්න ෆෝන් එක අතට ගන්නවා. මෙහෙම ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රෑම්, SMS, Calls ආදී එකී නොකී හැම එකකටම අපි ප්‍රතිචාර දක්වලා ආයෙ වැඩට බහිද්දී අස්සයා පැනලා ගිහින් ඉවරයි. ඒ නිසා focus කරලා වැඩක් කරන් ඕන වුණ ගමන් මුලින්ම ෆෝන් එකේ ඩේටා ඕෆ් කරන්න, නැත්නම් Airplane mode හෝ සම්පූර්ණයෙන්ම ෆෝන් එක ඕෆ් කරලා දාලා වැඩේට හිත යොදන්න. මුලදි මේක ටිකක් අපහසු වේවි. ඉබේම අත ෆෝන් එකට යාවි. ඒත් ටික ටික පුරුදු වෙන්න. කොහොමටත් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් වල විවිධ මාතෘකා වලින් යුතු පෝස්ට් දකිද්දී හිත විසිරෙනවා වැඩියි. මුලින් කපල් එකක්, ඊට පස්සේ කෑමක්, ඊළඟට දේශපාලන බැණිල්ලක්. මෙහෙම දේවල් ඔළුවට එද්දි අපි වැඩක් කරන්න ගියාමත් එක් දෙයකට හිත සීමා කරගන්න තියෙන පුරුද්ද ඉබේම අහිමි වෙලා යනවා.
3. පරණ දේවල් ගැන හිත හිත ඉන්න එපා
අපි කරන ලොකුම වැරැද්දක් තමයි පරණ දේවල් ගැන හිත හිත ඉන්න එක. ඊට පස්සේ ඒක නිසා හෙට මොනා වෙයිද කියලා හිතනවා. වැඩේත් එතනමයි, අපේ ජීවිතෙත් එතනමයි. අතීතය කියන්නේ ගෙවිලා ඉවර වුණු දෙයක්. අනාගතය තවම ඇවිල්ලා නැහැ. ඒත් මේ මොහොත තියෙන්නේ අපේ අතේ. ඉතින් මේ මොහොතෙත් අපි කරන්නේ කල්පනා කර කර ඉන්න එක නම් අනාගතයේ එන්නට තියෙන මොහොතත් විනාශ වෙලා යනවා. මේ ගැන හැම තිස්සෙම හිතන්න. මම මේ ගත වෙන තත්පරයේ උපරිම ප්‍රයෝජනය අරගෙන ඒක අතීතයට එකතු කරනවා කියලා අධිෂ්ඨාන කරගන්න. එතකොට දුර ගමනක් යන්න පුළුවන්.
4. වැඩේ මතක් වෙන්න ක්‍රමයක් තියාගන්න වෙනවා
හිත නිතර විසිරෙද්දී අපි කර කර හිටියේ මොකක්ද, ඒක අදම ඉවර කරන්න ඕන කියන එක මතක් වෙන්න මොනවා හරි කරන්න වෙනවා. එතකොට කල්පනා කර කර ඉඳිද්දි වුණත් ඒක දැක්ක ගමන් ආයෙ හිත එකතු කරගන්න හැකියාව ලැබෙනවා. මේක නම් ඔබට ගැලපෙන ක්‍රමය ඔබටම හොයාගන්න වෙනවා. ඔබ පරිගණකයෙන් වැඩ කරන කෙනෙක් නම් අපි උදාහරණයක් විධියට කියමුකො කොළේක ලියලා කම්පියුටර් ස්ක්‍රීන් එකේ පැත්තක දැනට කරන වැඩේ නම, deadline එක ලියපු කොළයක් අලවනවා කියලා. පාඩම් කරන කෙනෙක්ට නම් තමන්ගේ හීනය කෙටියෙන් ලියලා බිත්තියේ ගහගන්න පුළුවන් නම් වඩාත් වටිනවා. තමන්ගේ target එක දකින්න දකින්න තමයි ඒකට යන්න උනන්දුව ඇති වෙන්නේ.
5. හෙට දවස ප්ලෑන් කරන්න
දවස ඉවර වුණාට පස්සේ කරපු වැඩ ටික ගැන හිතන්නම වෙනවා. අපි උඩ කරුණක් විධියට අතීතය ගැන හිතන්න එපා කිව්වේ වැඩ කරන අතරතුරේදීයි. දවස අවසානයේදී නම් අනිවාර්යයෙන්ම ඔබේ වැඩ ගැන, වැඩේ කරන්න ගතවන කාලය ගැන විශ්ලේෂණය කරලා හෙට දවස කොහොම වෙන්න ඕනද කියන එක හරියට ප්ලෑන් කරගන්න එක අත්‍යාවශ්‍ය වෙනවා. මේක කොළයක ලියලා තියන තරමට හොඳයි. නැත්නම් නින්දෙදි පේන හීන වගේ ඕකත් උදේට අමතක වෙලා යනවා. පස්සෙන්දාට ඒක බලලා, යන්න ඕන target එක ගැන හිතලා, හොඳ හුස්මක් අරගෙන වැඩට බහින්න. ඔබට හොඳට focus කරගෙන දවස ගොඩදාන්න පුළුවන් වේවි.
Cover Image Source – cnn.com / rd.com
Leave a Reply